සියඹලා ගසේත් “දිව්‍යමය අගයක්” තිබේ

කතරගම දෙවිඳුන්ගේ අප්‍රකට වාස භවනයක් සේ සැලකෙන යාල අභය භූමියේ පස් වැනි කොටසට අයත් මහ වන මැද පිහිටි කැබිලිත්තේ දේවාලය මෑතක සිට ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ හාස්කම් පුදබිමක් ලෙසිනි.

එහෙත් එය අතීතයේ “සියඹලා දේවාලය” නමින් ප්‍රසිද්ධව තිබූ බව පැවසෙයි. ඊට හේතුව එම දේවාලය පැරණි සියඹලා ගසක් කේන්ද්‍රගතව පිහිටා තිබීම ය.ඒ අනුව බලන විට අප බොහෝ දනකු නොදන්නා මුත් සියඹලා ගස හා සම්බන්ධ දිව්‍ය සහව්‍යතාවක් තිබේ.

සියඹලා යනු දකුණු ඉන්දියාවට පමණක් ආවේණික වෘක්ෂයකි. ඉන්දියාව, පාකිස්තානය, මියන්මාරය, බෙංගාලය යන රටවල දක්නට ලැබෙන මෙය ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමින් මීටර් දහස තෙක් උසින් යුතු පහත රට තෙත් කලාපයේත්, වියළි කලාපයේත් සරුවට වැඩෙයි.Tamarindus indica යන උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන වැඩුණු සියඹලා ගසක උස අඩි අසූවේ සිට සියය දක්වා පමණ වන බව පැවසෙයි. සෙවණ සඳහා උපයෝගි කර ගන්නා ශාකයකට අමතරව ආහාර සහ ඖෂධ සඳහා යොදා ගන්නා කරල්, දලු, කොළ, පොතු ආදී වශයෙන් යුතු මෙම සියඹලා වෘක්ෂය හා සම්බන්ධ කිසියම් අධ්‍යාත්මික පසුබිමක් ද තිබේ. ඊට හේතුව මෙම සියඹලා වෘක්ෂය වෘක්ෂ දේවතාවුන්ගේ වාස භවනයක් ලෙසට ජන විශ්වාසයක් පැවතීම ය.

පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන් විසින් 1966 වසරේ ලියා පළ කරන ලද ‘ඌවේ ඉතිහාසය’ නම් කෘතියෙහි මොනරාගල, වත්තේගම විහාරය අද්දර ඇති සියඹලා රුක් දෙවොල නම් පුදබිමක් පිළිබඳ සඳහන් වෙයි. එහි ඇති පැරණි සියඹලා වෘක්ෂයට අධිගෘහිත දෙවියකු මුල් කොටගත් විශ්වාසය මත පදනම්ව අතීතයේ එම දෙවොල ඉදිවන්නට ඇතැයි පැවසේ. එනිසාම ඒ අවට වන ගහනය “දෙවියන්ගේ කැළය” ලෙසත් ඒ සමීපයේ ඇති ගම්මානය ‘සියඹලාව’ නමින් හැඳින්වෙන බවත් එහි සඳහන් ය.

ciyabala

මීට අමතරව සියඹලා ගස් මුල් කොට නම්වර ලැබුණු ගම් ප්‍රදේශ කිහිපයක් අප රටේ තිබේ. මහසෙන් රජතුමා තම රාජකීය ඔරුවෙන් යෝධ ඇළ ඔස්සේ යාත්‍රා කරන අතරේ එම ඔරුව බැඳ තිබූ සියඹලා වෘක්ෂය මුල්කොට ගත් ‘ඔරු බැඳි සියඹලාව’ නම් ගම්වරය නාඋල – ගිරිතලේ මාර්ගයේ සිට කිලෝමීටර් හතරක් දුරින් පිහිටා තිබේ. ඉතා පැරණි ඉතිහාසයක් සහිත මේ වෘක්ෂය සම්බන්ධයෙන් ඇලෙක්ස් යංග් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ද 1857 වසරේ දී සටහනක් තබා ඇතැයි කියනු ලැබේ.

එමෙන්ම මෙම වෘක්ෂය මහසෙන් දෙවියන්ගේ දේවත්වාරෝපණය වන මින්නේරි දෙවියන්ගේ ඇල්ම බැල්ම සහිත ස්ථානයක් බව ද පැවසෙයි. එමෙන්ම මෙම මින්නේරි දෙවියන් සම්බන්ධ පැරණි යාදිනිවල දී ඇලහැර කුඩා මින්නේරි දේවාලය, ගල් ළිඳ දේවාලය යන දේවාලවලට අමතරව සියඹලාව දේවාලය පිළිබඳව ද පැවසීම විශේෂත්වයකි. ඉනුදු තහවුරු වනුයේ ද සියඹලා වෘක්ෂය කිනම් හෝ දිව්‍යමය සබඳතාවක් ඇති වෘක්ෂයක් බව ය.

මීට අමතරව කන්ද උඩරට නාථ දෙවියන් සම්බන්ධ පුරාවෘත්ත රාශියක් ඇති මහනුවර, කුණ්ඩසාලේ, පිලවල පිහිටි ඓතිහාසික සියඹලා වෘක්ෂය ද මෙහි දී සිහිපත් කළ යුතු ය. සියවස් තුන හතරක් පැරණි මෙම සියඹලාව නාථ දෙවියන් දුම්බර මිටියාවතට බැල්ම හෙළන අවස්ථාවේ තම වාසභවනය කර ගත් බවට ජනප්‍රවාදයක් තිබේ. නමුදු විවිධ මානව ක්‍රියාකාරකම් නිසා අද වන විට එම සියඹලා වෘක්ෂයට හානි පැමිණීම මුල් කොට එය සංරක්ෂණය කිරී‍මේ යෝජනා විවිධ පාර්ශ්ව මගින් ඉදිරිපත්ව තිබේ.

අප රටේ වියළි කලාපයේ සියඹලා වෘක්ෂ බොහොමයක් දැකිය හැකි අතර ඒවා අතර වසර සිය ගණනක් පැරණි වෘක්ෂ ද දක්නට ලැබේ. විශේෂයෙන් වත්මන් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් හත්කෝරලය සහ වන්නි හත්පත්තුව යන ප්‍රදේශවල මෙලෙස ඉපැරණි සියඹලා ගස් දැකිය හැක.

මේවා සම්බන්ධ විශේෂිත පුද පූජා සහ ඇදහිලි ක්‍රම නැතත් මෙම සියඹලා ගස් කිනම් හෝ අයුරකින් දේවත්වයන් හා සම්බන්ධ බවට ජන විශ්වාසයක් එම ප්‍රදේශවල පැරණි ගැමියන් තුළ තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ආශ්‍රිත පුරාණ පලුගොල්ල දේවාලය අවට ඇති එම සියඹලා ගස්වල කිසියම් සුවිශේෂ බලයක් ඇති බවත් ඒවාට හානි පැමිණවීමෙන් යම් යම් විපත් අත්විය හැකි බවටත් වන පැරණි විශ්වාසයක් අද වන විටත් යම් තරමකින් හෝ ශේෂ වී තිබේ.

එම ප්‍රදේශවල ගැමියන්ගේ පාරම්පරික විශ්වාසයනට අනුව කඩවර, කම්බිලි ආදී යක්ෂ සම්භවයේ දේවතාවෝ එම සියඹලා ගස් ආශ්‍රිතව වැඩ වාසය කිරීම ප්‍රිය කරති. විශේෂයෙන් එම ප්‍රදේශවල වැව් ආශ්‍රිතව වැඩී ඇති පැරණි සියඹලා ගස් කැපීමෙන් එම ප්‍රදේශවලට කිසියම් නපුරක් අයහපතක් සිදු වන බවට ද එම ප්‍රදේශවල පැරැන්නන් අතර අදටත් යම් විශ්වාසයක් පවතී.

අනුරාධපුර, බුලන්කුලම වැව අද්දරින් වැටී ඇති බණ්ඩාර බුලන්කුලම මාර්ගය පුළුල් කිරී‍මේ දී එසේ වසර සිය ගණනක් පැරණි සියඹලා ගසක් කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට සිදු විය.

නමුදු එහි දී ද බණ්ඩාරබුලන්කුලම පාරම්පරික වැසියන් ඒ සම්බන්ධයෙන් මහත් පසුබෑමක් පළ කළ බව කී එම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරියකු වැඩිදුරටත් මා හා කියා සිටියේ අප ජන සමාජයේ පූජනීයත්වයෙන් නොසැලකෙන සියඹලා ගසක් කැපීම සම්බන්ධයෙන් ගැමියන් තුළ එලෙස බියක් සැකක් ජනිත වීමට හේතුව තමන් නොදන්නා බවය.

එහෙත් එවක මෙම සියඹලා ගස් හා සම්බන්ධ ආධ්‍යාත්මික සංකල්ප සම්බන්ධයෙන් එතරම් අධ්‍යයනයක් කර නොතිබූ මම එවක අපගේ ජන සමාජයේ තිබූ වියපත් වූවන්ට සහ පැරණි ගස්වලට එක සේ ගරු කළ යුතුය යන ජන සම්මතය සම්බන්ධයෙන් පමණක් ඔහු දැනුවත් කළෙමි.

කතරගම කැබිලිත්ත සියඹලා දේවාලය මුල් කොට ම’විසින් සිදු කරන ලද මෙම සියඹලා වෘක්ෂයන් හා සම්බන්ධ ගුප්ත විශ්වාස පද්ධතිය විමැසීමේ දී මෙම විශ්වාස හා ඉන්දියාවේ වෛදික හින්දු ආගමික මූලයන් අතර සබැඳියාවක් සොයා ගත නොහැකි විය.

නමුත් මල්වර වූ යුවතියන්ගේ සිට ආර්ථවහරණයට පත්වන වයසේ කාන්තාවන් සම්බන්ධයෙන් යම් යම් සාධනීය තත්ත්වයන් උදා කර දෙන්නට මෙම සියඹලා ගස් සමත් වන බවට විශ්වාසයක් ඉන්දියාවේ තිබේ.අප ජන සමාජයේ ද ගැබිණි කතුන්ගේ දොළ දුක් කෑම අතරින් අමු සියඹලා ප්‍රධාන තැනක් ගනී.

තාන්සෙන් යනු ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍ය සමයේ ඉන්දියාවේ විසූ මහා ගාන්ධර්වයෙකි. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ග්වාලියර් නම් ස්ථානයේ ඇති තාන්සෙන් ගේ සොහොන අද්දර දැවැන්ත සියඹලා ගසක් ඇති බවත් එහි පත්‍ර පවා පැණි රසයෙන් යුක්ත බවත් ඒවා සපා යුෂ පානය කළ විට කටහඬ මිහිරි වන බවටත් ජන විශ්වාසයක් අදටත් එම ප්‍රදේශයේ වැසියන් තුළ තිබේ.

මේ සියලු ජන විශ්වාස ඒක රාශී කළ විට අපට ලබා ගත හැකි මානව විද්‍යාත්මක පණිවිඩයක් තිබේ.එනම් අප ජීවත් වන පරිසරයේ ඇති සියළු වෘක්ෂ ලතා කෙරෙහි සහනශීලී ලෙස බැලිය යුතු බවකි.

තිලක් සේනාසිංහ

අරුමැසි පුවත්