සියළුම තරාතිරම් වල පොලිස් නිලධාරින් වෙත සිදු කෙරෙන ගෞරවනීය ආමන්ත්‍රණයයි

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු ආර්ථික ආගාධයේ තරම ඔබ සැම හොඳින් වටහා ගෙන සිටිනු ඇතැයි සිතමි.
එසේම මෙරට ජනගහනයෙන් ඉතා අතලොස්සක් වූ කොටසක් හැර ඔබ මම අප සැවොම මේ වන විට මෙම දරුණු ආර්ථික අවපාතයේ ගොදුරු බවට පත්ව සිටින බව ද සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙම දරුණු ආර්ථික අවපාතයට අපේ සුන්දර මාතෘ භූමිය ඉබේ ඇද වැටුණා නොව කිසිදු සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය හැසිරවූ වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් චේතනාන්විතව ම ඇද දැමුවායැයි කීවොත් වඩාත් නිවැරදිය.නිසි සැලසුමකින් තොරව ක්‍රියාත්මක කරන ලද කාබනික පොහොර ප්‍රතිපත්තිය,අවශ්‍යම අවස්ථාවල විනිමය අනුපාතය නිවැරදි කළමනාකරණයට ලක් නොකර බොරු බේගල් දත්තයන් ඉදිරිපත් කරමින් රටේ ඩොලර් සංචිතය විනාශ කිරීම,ආර්ථික ආගාදය පෙනි පෙනී මහජනතාවට එම තත්ත්වය වසන් කරමින් ලෝක බැංකු ආධාර ලබා ගැනීම ප්‍රමාද කිරීම,ගජ මිතුරු ධන කුවේරයන්ට ලබා දී තිබූ අසීමාන්තික බදු සහන,අසීමිත ලෙස සිදුකරන ලද ජාතික ධනය කොල්ලකෑම වැනි කටයුතු හේතුවෙන් අපේ මාතෘභූමිය මෙවැනි අවාසනාවන්ත ඉරණමකට අද මුහුණ දී සිටින බව අප හොඳින් තේරුම් ගත යුතු ය.

මේ වන විට අහිංසක ජනතාව දිවා රෑ අවු වැසි මැද ඉන්ධන සහ ගෑස් පෝලිම් වලට ගාල් වී සිටින අතර අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ නොමැතිකම අහස උසට නැග තිබෙන පාරිභෝගික ද්‍රව්‍ය වල මිල ඔවුනට දරාගත නොහැකි වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි මානසික පීඩනයකට මෙන්ම ඉච්ඡාභංගත්වයකටද පත්ව සිටින බව අප විසින් සැලකිල්ලට ගත යුතු කරුණකි.මෙම තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනතාව මේ වන විට මෙම ආර්ථික උද්ධමනයට අපේ මාතෘභූමිය ඇද දැමූ වර්තමාන පාලකයන්ට එරෙහිව සිය විරෝධය දක්වන තත්ත්වයක් නිරීක්ෂණය වන අතර බොහෝවිට ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම සඳහා දිවා රෑ ගාල් වී සිටින ජනතාව අතරින් මෙම විරෝධය වඩාත් උත්සන්න ලෙස ප්‍රදර්ශනය වන බව අප විසින් සැලකිල්ලට ගත යුතු කරුණකි.

තත්ත්වය මෙසේ තිබියදී වර්තමාන රජය ඒ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොදෙමින් ආර්ථික උද්ධමනය දරාගත නොහැකි වීම හේතුවෙන් රට මේ තත්වයට පත්කරන ලද දුර්දාන්ත පාලනයට එරෙහිව හඬ නඟින පුරවැසියන් මෙල්ල කිරීමේ අවියක් ලෙස පොලිසිය සහ හමුදාව යොදා ගැනීමෙන් නින්දිත උත්සාහයක නිරතව සිටී.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිවිල් මහජනතාව සහ පොලිස් නිළධාරීන් අතර ඇතිවු අනපේක්ෂිත ගැටුම් මෙම තත්ත්වයට හොඳම සාක්ෂි වන අතර එබැවින් වර්තමානයේ සිවිල් පුරවැසියන් මුහුණ දී සිටින දැඩි ආර්ථික අමාරුකම් හේතුවෙන් ඔවුන් තුළ ගොඩනැගෙන ආතතිය පිට කිරීමේ පියවරක් ලෙස මෙම තත්ත්වයට රට ඇද දැමූ වර්තමාන පාලනයට එරෙහිව තම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අනුව විරෝධය පෑම ස්වභාවික තත්ත්වයක් ලෙස අප විසින් සැලකිල්ලට ගත යුතුය.

එබැවින් මහජන සාමය ආරක්ෂා කිරීමේ ප්‍රධානම වගකීම දරන පොලිස් නිලධරයන් වන ඔබ සැම මෙම තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන සිවිල් පුරවැසියන් සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වලට එරෙහි නොවී වර්තමාන පාලනයට එරෙහිව සමස්ත රට වැසි ජනතාව එක්ව නගන විරෝධයට අවි බලයෙන් පිළිතුරු දීමෙන් වැලකී ඔවුන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන ලෙස ඔබ සැමගෙන් ගෞරවනීය ලෙස ඉල්ලා සිටීමි

තවද වර්තමාන පාලකයන් මේ ගෙවමින් සිටින්නේ ඔවුන්ගේ දේශපාලන දිවියේ එකොළොස්වන පැය බවත් ඔවුන් ගයමින් සිටින්නේ තම දේශපාලන දිවිය තුළ ගැයෙන “හංස ගීතය” බවත් ඔබ සැමට වැඩි දුරටත් සිහිපත් කර දීමටද කැමැත්තෙමි.

ප්‍රියන්ත ජයකොඩි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)

එතෙර - මෙතෙර