අද වන විට ශ්‍රීපාද වන්දනාව සමාජයේ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත්ව තිබේ. ගත වූ වසර කිහිපයට සාපේක්ෂව මෙවර ශ්‍රීපාද චාරිකාවේ යෙදෙන පිරිස් වාර්තාගත අන්දමින් ඉහළ නැංවෙන බවට ද තොරතුරු ලැබේ. නමුදු මේ වන විට අතීත ශ්‍රීපාද වන්දනාවේ තිබූ සම්ප්‍රදායික චාරිත්‍ර ඉවත්ව එම වන්දනා ගමන හුදු ‘ට්‍රිප්’ එකක් පමණක් බවට පත්ව ඇති ආකාරයක් ද මනා සේ නිරීක්ෂණය වනු ඇත. ඒ අතුරින් ප්‍රධානතම වෙනස වනුයේ අතීතයේ ශ්‍රීපාද වන්දනාව හා සබැඳි සමන් දෙවියන් පිළිබඳ විශ්වාසය අද වන විට ශ්‍රී ලාංකේය ජන සමාජයෙන් ශීඝ්‍රයෙන් ගිලිහී තිබීම ය.ඒ සඳහා හේතු පාදක කරුණු මෙවැනි කෙටි සටහනකින් කෙසේවත් අනාවරණය කළ නොහැක. එහෙත්, අද වන විට ශ්‍රීපාද වන්දනාව සඳහා සැලසී ඇති ප්‍රවාහන, සෞඛ්‍ය, ආහාරපාන ඇතුළු යටිතල පහසුකම් මත ඒ වන්දනා ගමනේ ඇති බැරෑරුම් සහගත බව ශ්‍රී ලාංකේය ජන මනැසින් සැලකිය යුතු ලෙස ඉවත් වීම ද ඒ සඳහා යම් පමණකට හෝ හේතු වන්නට ඇත.
අතීත සමාජයේ ශ්‍රීපාද වන්දනාවේ අරමුණ වූයේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය මතට හිස තබා උන්වහන්සේගේ සිරිපා නමැදීම ය. එහෙත්, එම වන්දනා ගමනේ ප්‍රධානතම ආරක්ෂකයෙක් ද විය. ඒ ශ්රීපාදස්ථානයට අධිගෘහිත සමන් සුරිඳුන් ය. රත්නපුර මහ සමන් දේවාලය, බළන්ගොඩ බොල්තුඹේ සමන් දේවාලය, දැරණියගල සමන් දේවාලය සහ මහියංගණ අලුත් නුවර සමන් දේවාලය යන සතර දේවාලයන්ට අධිගෘහිතව වැඩ වෙසෙන සමන් දෙවියන් සමස්ත සබරගමුවට සේම ඊට යාබද ඌව සහ දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයක් ද නතු කර ගත් ප්‍රබල දෙවියා ය.අද මෙන් ප්‍රායෝගික රක්ෂණාවරණ නොතිබූ ඒ යුගයේ සමන් දේව කරුණාව ශ්‍රී පාද වන්දනාවේ එකම “රක්ෂණාවරණය” සේ සළකන ලදී.ශ්‍රී පාද වන්දනාව හා සමන් දෙවිඳුන් අතර පවතින මෙම විශ්වාසය දඹදෙණි රාජධානි සමයේ( ක්‍රි.ව1220-1345) සිට ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වූ බවට තොරතුරු තිබේ.
අතීත ජනතාව ශ්‍රීපාද වන්දනා ගමන් සිදු කරන ලද්දේ කණ්ඩායම් වශයෙනි. ඔවුන් මෙම කණ්ඩායම් හඳුන්වන ලද්දේ ‘නඩ’ යනුවෙනි. දෙමළ භාෂාවෙන් ‘නඩ’ යන්න පා ගමන හඳුන්වන වදනක් වන අතර එය සිංහලයේ වන්දනා කණ්ඩායම සඳහා යෙදී තිබේ.
පැරණි ශ්‍රීපාද වන්දනාව පවා වන්දනාව යන වදන වෙනුවට ‘කරුණාව’ යන නමින් හැඳින්වීම ද විශේෂත්වයක් වන අතර කරුණා කිරීම යනුවෙන් හැඳින්වෙන එකම වන්දනා ගමන ද ශ්‍රී පාද වන්දනාව ය. අප රටේ අදහනු ලබන සියලු දෙවිවරුන් අතුරින් ‘කරුණාව’ යන අති උතුම් ආදර්ශය හා ඍජුවම බද්ධ වූ දෙවියන් ද සමන් දෙවියන්ම ය. මෙම සමන් දේව ඇදහීම අති පැරණි ‘යම’ ඇදහීමේ විකාශනයක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන් සූරීන් මීට කලකට ඉහත පෙන්වා දී තිබිණ. එහෙත්, අපගේ සංස්කෘතියට අනුව ‘යම’ යන්න හුදු අසත්පුරුෂවාචී වදනක් බැවින් එවක බොහෝ භික්ෂූන් වහන්සේලා ඊට එරෙහිව පුවත්පත්වලට පවා ලිපි ලියූ අන්දම අපට මතක ය.නමුදු සංස්කෘත සාහිත්‍යයේ එන ‘යම’ එවැනි අසත්පුරුෂයෙක් නොවේ. ලෝකයේ මරණයට පත් මුල්ම මිනිසා වන ‘යම’ ඉන් පසු මියයන සෑම මිනිසකුගේම පරලොව පිළිබඳ විනිසකරු බව සංස්කෘත සාහිත්‍යයේ සඳහන් වේ. එමෙන්ම මෙලොවින් පරලොවට යන සෑම මිනිසකු පිළිබඳවම යමගේ විනිශ්චය ලැබෙනුයේ හුදෙක් යුක්ති ධර්මය මත පදනම්ව බව යම සම්බන්ධ භාරතීය ජන විශ්වාසයයි. මහලු මිනිසකුගේ නැතහොත් සන්යාසිවරයකුගේ පෙනුම සහිත ඉවසිලිවන්ත තැනැත්තකු බව පැවසෙන ‘යම’ කෝප වනුයේ ද යුක්ති ධර්මීය පදනමක් මත බවත් එසේ නොමැති සෑම විටෙකම ඔහු අතිශය කරුණාවන්ත පුද්ගලයකු බවත් පැවසෙයි. ඒ අනුව ශ්‍රීපාද වන්දනා ගමන්වල දී හුදෙක් ‘කරුණාව’ යන සංකල්පය මස්තකප්රාප්ත වී ඇත්තේ සමන් දේව ඇදහීම ‘යම’ විශ්වාසයේ පරිණාමයක් නිසා බව පරණවිතාන සූරීන්ගේ මතය වී තිබේ. ඔහුගේ එම ප්‍රකාශයේ ඇති දාර්ශනික අදහස කෙසේවත් පිටුදැකිය නොහැක.
අතීත සිරිපා කරුණාව යනු හුදෙක් ශ්‍රීපාදය තෙක් සිදු කෙරෙන පා ගමනක් පමණක් නොවේ. එහි සමාරම්භය වනුයේ එසේ ශ්‍රීපාද කරුණාවේ යෙදීමට අපේක්ෂා කරන පිරිස ඊට මාසයකට (පොහොය සතරකට) හෝ අඩුම තරමින් සති දෙකකට (දෙපෝයකට) පෙර ගමේ විහාරස්ථානයට ගොස් බුදුන් වැඳ, මල් පහන් පුදා දෙවියන්ට පින් පෙත් දී එම සිරිපා කරුණාව සම්බන්ධයෙන් සමන් දෙවියන්ට පඬුරු ගැට ගසා බාරයක් වීම ය. ඉන් පසුව එම සිරිපා කරුණාව දක්වා වන කාලය ‘පේවීමේ’ කාලය ලෙස අතීත ගම්මු සැලකූහ. මෙහි ‘පෙහෙ’ යන්නෙන් කැපවීම යන අරුත පළවන අතර අප ජන ව්‍යවහාරයේ එන පෙහෙවස් යන වදනේ අරුත ද ‘කැප වී විසීම’ යන්නය. මෙම සිරිපා කරුණාව සම්බන්ධ සමස්ත ක්‍රියාවලියම ඒ සම්බන්ධ මනා දැනුමක් පළපුරුද්දක් හා අත්දැකීම් සහිත වැඩිහිටියකුගේ උපදේශකත්වය, අධීක්ෂණය සහ නියාමනය යටතේ සිදු වූ අතර ඔහු හඳුන්වන ලද්දේ ‘නඩේ ගුරා’ යනුවෙනි.මෙම පේ වීම ඇරඹුණු දිනයේ සිට සිරි පා කරුණාව නිමවන තෙක් වන්දනා නඩයට ආහාර වට්ටෝරුව පවා නිර්දේශ කරන ලද්දේ නඩේ ගුරා විසිනි.එමෙන්ම මුළු සිරි පා කරුණාව පුරාවටම එම වන්දනා ගමනේ සොඳුරු ආඥා දායකයා වූයේ ද නඩේ ගුරාමය.සිරි පා කරුණාව අතරේ දී ඔහු තම නඩය හසුරුවන ලද්දේ “හොඳයි” යන සාධනීය වදන ද පෙරදැරි කර ගෙන ය.”නඩේ දැන් ඉතින් ආයිමත් කරුණා කරන්න බැලුවා නම් හොඳයි”යන්න සිරි පා හිමයේ අම්බලම්වල විවේක ගත් නඩ වලට නඩේ ගුරුන් ගෙන් නිතර ලැබුණු සොඳුරු ආඥාවකි.
මෙම සිරිපා කරුණාවේ දී පිළිපැදිය යුතු අංග අතුරින් වැදගත්ම අංගය ලෙස සමන් දේව කරුණාව හිමිකර ගැනීම සැලකුණි. ඒ අනුව සිතින්, කයින්, වචනයෙන් සමන් දෙවියන් නොසතුටු වන කිසිවක් සිදු කිරීමට වන්දනාකරුවෝ බිය වූහ.සිරිපා කරුණාවේ දී සිත, කය සේම වචනය ද සංවර කර ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් වූ අතර එසේ ඒ ගමනේ දී වදනින් වැරදි සිදු කර ගැනීම හඳුන්වන ලද්දේ ‘කට වැරදීම’ වශයෙනි. සිරිපා කරුණාව අතරතුර යමකු වෙතින් එසේ කට වැරදීමක් සිදු වුවහොත් සිරිපා හිමයට පිවිසීමට පෙර සමන් දෙවියන් වෙනුවෙන් තනවා ඇති දේවාලයක් හෝ සංහිඳක් වෙත ගොස් දෙවියන්ගෙන් සමාව අයැද සිටීමේ සිරිතක් අතීත සමාජයේ විය. එමෙන්ම බොහෝ විට මෙසේ කට වැරදීම් සිදුවන ලද්දේ ‘කිරි කෝඩු’ නමින් හැඳින්වුණු මුල් වරට සිරිපා චාරිකාවේ යෙදෙන්නවුන්ගෙන් බව ද දැනගන්නට ඇත.
මුල් වරට සිරිපා කරුණාවේ යෙදෙන කුඩා දරුවන් ‘කිරි කෝඩු’ යන නමින් ද වැඩිහිටියන් ‘කිරි’ යන වචනය නොමැතිව ‘කෝඩු’ යන නමින් ද හැඳින්වුණු බව සබරගමු ජනශ්රැතිවල දැක්වෙයි. වැඩිහිටියන් ‘කිරි’ යන වචනය වෙනුවට ‘ දඬු කෝඩු’ යන නමින් ද හැඳින්වුණු බව පැවසුණ ද සබරගමු ගැමියන් පවසනුයේ එය ඇතැම් ප්‍රදේශවල පැවැති හැඳින්වීමක් වුව ද කිසිවකු මුල් වරට සිරිපා චාරිකාවේ යෙදෙන වැඩිහිටියන් හට දඬුකෝඩු ලෙස ආමන්ත්‍රණය නොකළ බවකි.සිරි පා කරුණාවට නවකයන් වන කෝඩු කාරයන් කෙරෙහි නඩේ ගුරාගේ විශේෂ අවධානය සේම ආරක්ෂාව ද හිමි විය.ඒ අතරේ ඔවුන් සරදමට ලක් කොට නඩය විනෝදමත් කිරීම ද බොහෝ විට නඩේ ගුරා විසින් කරන ලදී .ශ්‍රී පාද හිමයේ ඉහළ කොටසේ හමුවන ඇහැල කනුවේ වන්දනා කරුවන් තවරා ඇති හුණු සූරා ඉන් ස්වල්පයක් ඇඟිල්ලකට ගෙන තම නළලතේ ගා ගැනීම කෝඩු කාරයන් විසින් කළ යුතු සාම්ප්‍රදායික චාරිත්රයකි.නමුදු බොහෝ නඩේ ගුරන් එම ඇහැල කනුව සමීපයේ දී “දැන් නඩේ කෝඩුලා ඔය ඇහැල කනුවේ නළල අතුල්ලා ගන්නවා හොඳයි”යනුවෙන් පවසන ලද්දේ නඩයේ සෙස්සන්ට සැහැල්ලු විනෝදයක් ගෙන දෙමිනි.නමුදු එම කාලයේ සිරි පා කරුණාවේ පැවැති විනය වත් බව ශාන්ත බව හා සංවරය අද වන විට ශීඝ්‍රයෙන් අතුරුදන් ව තිබේ.අතීත සිරි පා කරුණාවේ පැවැති සමන් දේව විශ්වාසය මේ වන විට ශීඝ්‍රයෙන් අව ප්‍රමාණ වීම ඊට මූලික හේතුව බව අපගේ වැටහීම ය.
තිලක් සේනාසිංහ