වර්ණගල යන නම අපගේ ජන හදවත් හා බැඳී පවතින්නේ කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ සිරි පා කරුණාවේ දී ගිමන් හැරිය හැකි අම්බලමක් පිහිටි ස්ථානයක් ලෙසිනි.
කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟේ මුල් කොට ඒ අද්දරින් ඇද හැලෙන වර්ණගල ඇල්ල සිරි පා කරුණා කරන සැදැහැවතුන් ගේ සිත ගත සුවපත් කරන සිසිල් දියවරකි.
එහෙත්,වර්ණගල යනු සිරි පා හිමයට අයත් මහා වන රජ දහනේ සැළකිය යුතු කොටසක් සේ ගත හැකි නිකැළැල් වන පාරාදීසයකි.මේ දිනවල වර්ණගල පිළිබඳව යළි පරිසර ලෝලීන්ගේ කතා බහට ලක් වී තිබේ.
ඒ වර්ණගල වන රක්ෂිතය සංරක්ෂිත පාරිසරික කලාපයක් ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යාංශයේ ජාතික පරිසර සභාව තීරණය කිරීමත් සමඟිනි.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික පරිසර සභාව ඉකුත් 20 වන දා රැස් වූ අතර එහිදී පරිසර සංරක්ෂණයට අදාල කරුණු රැසක් සම්බන්ධව සාකච්ඡා වී තිබේ.
ඒ අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජනය වී ඇත්තේ පහතරට නිවර්තන වැසි වනාන්තරයක් වන වර්ණගල වන සංරක්ෂිතය ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළ සම්බන්ධවයි.
මින් පෙර ද පරිසරවේදීන් අවස්ථා ගණනාවක් දී වර්ණගල රක්ෂිතය සංරක්ෂිත පාරිසරික කලාපයක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කොට ඇත ඒ අනුව වර්ණගල රක්ෂිතයේ ආරක්ෂාව සම්බන්ධව සුදුසු පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජාතික පරිසර සභාවට උපදෙස් දී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි වර්ණගල වන රක්ෂිතය පහතරට තෙත් සදාහරිත වෘක්ෂලතාදියෙන් සමන්විත ජෛව විවිධත්වයෙන් ඉහළ වටිනාකමක් සහිත පරිසර පද්ධතියකි.
සත්ව විශේෂ 219 ක් සහ සපුෂ්පිත ශාක 164 කින් සමන්විත ශාක හා සත්ව විශේෂ 383 ක් මෙම වන රක්ෂිතය තුළ පවතින බව වාර්තා වී ඇත.
අප රටට ආවේණික උඩවැඩියා විශේෂයක් වන Podochilus warnagalensis විශේෂය ද මෙම රක්ෂිතය තුළින් වාර්තා වී තිබීම විශේෂත්වයකි.
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ එකොළහක් සහ ශාක තුනක් ඇතුළුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ දහහතරක් සහ වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ රැසක් ද වර්ණගල රක්ෂිතය තුළ ඇති බව තහවුරු වී තිබේ.
එමෙන්ම අප රටට ආවේණික Webless Shrub Frog (Pseudophilautus hypomelas) පඳුරු මැඩි විශේෂය ද මෙම රක්ෂිතයෙන් වාර්තා වේ.
එමෙන්ම ඊට අමතරව කළු ගඟ ඇතුළු ජල මූලාශ රාශියකට දියවර සපයන සහ පාරිසරික උෂ්ණත්වය සැළකිය යුතු ලෙසින් පහත හෙළන කුරුවිට ඇතුළු තදාසන්න ප්‍රදේශවල වායු දූෂණය සැළකිය යුතු ලෙසින් අවම කරන වර්ණගල වනාන්තර සංකීර්ණය සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජාතික පරිසර සභාව විසින් තීරණය කිරීම මගින් මෙහි ඇති සුවිශේෂී ජෛව විවිධත්වය ද සංරක්ෂණය අනු ඇත.
නමුදු අද වන විට මෙම වන පෙත ආශ්‍රිතව බිං කොහොඹ වැනි දුර්ලභ ශාක ජාවාරම් ද බහුලව සිදු වන අතර ඒවා මැඬලීමට ද බලධාරීන් මීට වඩා උත්සුක විය යුතු ය.
දමයන්ති ගමගේ