අප අද ඔබ කැඳවාගෙන යන්නේ පත්තිනි දේවිය වැඩ හිඳින බවට පිළිගැනීමක් ඇති පත්තිනි දේවාල අතරින් එක් දේවාලයක් වෙතයි.
අවිස්සාවේල්ල නගරයෙන් තල්දූව හරහාත්, කිරිඳිවැල නගරයෙන් අමිතිරිගල හරහාත්, දොම්පේ ප්‍රදේශයෙන් මීතිරිගල නිස්සරණ වනය හරහාත් ළඟාවිය හැකි මෙය මැදගොඩ පත්තිනි දේවාලයයි.
සීතාවක රාජසිංහ රජතුමා සීතාවක ගඟ, කැලණි ගඟ වැනි ගංගා දිගේ රාජකීය අඟුලෙන් ගමන් බිමන් ගිය බව සඳහන් ය. එක්තරා අවස්ථාවක රජු මෙම අඟුලෙන් කැලණි ගඟ ඔස්සේ රුවන්වැල්ල තෙක් ඉහළට යනවිට කිසිදු හේතුවක් නොමැතිව එක්වරම ගඟ මැද අඟුල නතර වී ඇත. ඉන්පසු කුමන ආකාරයකටවත් අඟුල එතැනින් ඔබ්බට ගෙන යාමට නොහැකි වී තිබේ. රජතුමාගේ පිරිස අඟුලෙන් බැස වටපිට විපරම් කර බලද්දී කන්ද උඩ පිහිටි නා වදුලක පැරණි දේවාලයක් තිබෙන බව දැක රජුට ඒ බව දැනුම් දුන්හ. ඉන්පසු රජතුමා දේවාලය දකින්නට පැමිණ තිබේ.
” දේවයන් වහන්ස මේක බොහොම අනුහස් ඇති දේවාලයක්. නමුත් කලකින් ප්‍රතිසංස්කරණය කරල නෑ ”
ගැමියන් එලෙස පැවසූ පසු සීතාවක රාජසිංහ රජතුමා මේ දෙවොල ප්‍රතිසංස්කරණය කර පත්තිනි දේවියට කැප කිරීමට බාර වී යළි රාජකීය අඟුලට නැගුණේය. ඉන්පසු නිරුපද්‍රිතව උඩුගම් බලා යාත්‍රා කිරීමට රජතුමාට හැකියාව ලැබිණි. රජතුමා විසින් එම බාරය ඉටු කරනු පිණිස මැදගොඩ පත්තිනි දේවාලය තනවන ලද බව සඳහන් ය.
සිංහල බෞද්ධයන්ගේ ඇදහීමට ලක්ව ඇති ඉන්දීය සම්භවයකින් යුතු දෙවිවරුන් අතර පත්තිනි දෙවියන්ට ප්රමුඛස්ථානයක් හිමි වෙයි. පත්තිනි ඇදහීම සම්බන්ධ ඉන්දීය මූලාශ්රයන් විමසීමේ දී පැහැදිලි වන්නේ මෙම පත්තිනි ඇදහීම ආරම්භ වන ලද්දේ ක්‍රි. ව. 112 – 124 රජකම් කළ පළවෙනි ගජබාහු රජතුමාගේ කාලයේ බවයි. සිලප්පදිකාරම් නමැති ඉන්දියානු ද්‍රවිඩ ග්‍රන්ථයෙන් සහ එහි සන්නස් මගින් ද මෙය තවදුරටත් පැහැදිලි වේ.
එලෙස පළවෙනි ගජබාහු රජුගේ කාලයේ ආරම්භ වුවද එය එකල එතරම් මෙරට ව්‍යාප්ත වී තිබූ බවට සාක්ෂි හමු නොවේ. නමුත් සීතාවක රාජසිංහ රජු (සම්මත වර්ෂ 1521- 1592) පත්තිනි දේවිය පිළිබඳව කෙතරම් භක්තිමත් වූයේදැයි කිවහොත් තම රාජධානිය තුළත්, ඉන් පිටතත් පත්තිනි දේවාල ගණනාවක් ඉදි කොට ඇත. මේ අතර පැරණි පත්තිනි දේවාල නවීකරණය කිරීම ද සිදු විණි. කඩුවෙල, නවගමුව, කන්නන්තොට, කබලුමුල්ල පත්තිනි දේවාල ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. අප අද කතා කරන මැදගොඩ පත්තිනි දේවාලය ඉන් සුවිශේෂ වේ.
ඉහත සඳහන් කළ පරිදි මෙම මැදගොඩ පත්තිනි දේවාලය සීතාවක රාජසිංහ රජු විසින් කරවූ බවට සහ එම රජතුමා විසින් ඒ දේවාලයට මැදගොඩ ගම සහ තවත් නොයෙකුත් පුද පිදවිලි ලබාදුන් බවටද ඓතිහාසික ලියවිල්ලක් අදටත් සුරක්ෂිතව තිබේ. සීතාවක රාජසිංහ රජු විසින් එළිදක්වන ලද එම පනත මගින් දේවාලය සතු විය යුතු ගොඩ මඩ ඉඩම් ආදිය පිළිබඳ පැහැදිලි විස්තරයක් දැක්වෙයි. එහි දිනය වශයෙන් සඳහන් වී ඇත්තේ ශක වර්ෂ 1499 දුරුතු පුර විසේනිය ලත් ශනි දින ලෙසිනි. ඒ අනුව මෙම දේවාලය සම්මත වර්ෂ 1557 ජනවාරි මාසයේ කරවන ලද්දක් බව ඓතිහාසිකව තහවුරු වේ.එය වැදගත් පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ද වෙයි.
කෝට්ටේ යුගයෙන් පසු අපේ රටේ පත්තිනි දේවාල විශාල වශයෙන් ඉදි වී ඇත. 1954 දී පූජ්‍ය මාපොටේ චන්දජෝති සහ ගොඩගම විපුලසාර යන හිමිවරුන් විසින් ලියන ලද ” ශ්‍රී ලාංකික දෙවිවරු” නම් ග්‍රන්ථයේ ශ්‍රී ලංකාවේ ඇති පත්තිනි දේවාල 593 ක් පිළිබඳව සඳහන් වේ. ඉංග්‍රීසි යටත් විජිත සමයෙහි නිකුත් කරන ලද ලෝරිගේ වාර්තාවේ දැක්වෙන පරිදි උඩරට රාජධානියේ පමණක් පත්තිනි දේවාල 22 ක් තිබූ බව සඳහන් ය.
නමුත් එම පැරණි පත්තිනි දේවාල සහ සීතාවක රාජසිංහ රජු විසින් ඉදිකරවන ලද පත්තිනි දේවාල අතර යම් වෙනස්කමක් පවතී. රජු විසින් ඉදිකරන ලද පත්තිනි දේවාලයන් හි පූජා චාරිත්‍ර රජුගේ යුද උපදේශකයකු වන අරිට්ඨ කී වෙන්ඩුගේ නියමය පරිදි ඉන්දියානු ක්‍රමයට සිදුවිය. ඒ අනුව ඉන්දීය කෝවිල් සම්ප්‍රදායන්ට අනුකූලව පත්තිනි දෙවියන් සඳහා ගායන වාදන රංගනය ආදිය ද එකල සිදුවී තිබේ. අදත් සබරගමුවේ සහ පහතරට දේවාලවල දික්ගේ නමින් හැඳින්වුණු පූජා චාරිත්‍ර පිණිස වූ ගොඩනැගිල්ලක් පවතින අතර එය අතීතයේ දෙවියන් සඳහා විවිධ රැඟුම් ඉදිරිපත් කරන ලද ස්ථානයකි. ඒවා ඉදිරිපත් කරන ලද්දේ කාන්තාවන් ය. ඔවුන් එහිදී ඉටු කරනු ලැබුවේ දේවදාසියන්ගේ භූමිකාවයි. මේ කතුන් කුල පරම්පරාවන් අනුව තේරී පත්වුණු අතර එම නැටුම හඳුන්වන ලද්දේ “දික්ගේ නැටුම” ලෙසිනි. ඒ අනුව අතීතයේ කැලණි නදිය අසබඩ පිහිටි මෙම මැදගොඩ පත්තිනි දේවාලයෙ හි දික්ගේ නැටුම් තිබූ බව පැහැදිලිය.
සීතාවක යුගයෙන් පසු මෙම රමණීය පුද බිම් ප්‍රදේශය පෘතුගීසි ආක්රමණවලට ලක්වීමත්, ගඟේ ඉවුරු ඛාදනය වීම ආදී පාරිසරික වෙනස්කම්වලට ලක් වීමත් නිසා එකල පැවති ශ්‍රී විභූතිය යම් පරිහානියකට ලක්ව ගොස් තිබේ. නමුත් දේවාලයට හානි කරන ලද්දවුන්ට බරපතළ හානි සිදු වූ බවට මුඛ පරම්පරාගත කතා ඇත. කෙසේ වුවද සීතාවක රාජසිංහයන් විසින් කරවන ලද මුල් දේවාලයේ ශිලා ස්තම්භ ආදිය අදත් නිරුපද්‍රිතව පවතී.
තෙරුවන් සරණ යන බෞද්ධයන් මේ දේවාලයේ දී පත්තිනි දෙවියන්ට බාර හාර වී පින්පෙත් පමුණුවා පුද පඬුරු දුන් පසු ධන සම්පත් , දරු සම්පත් ආදිය ලැබිය හැකි බවට විශ්වාසයක් ඇත. ඒ නිසාම අදත් දුර බැහැරින් පවා බැතිමත්තු මෙහි පැමිණෙති. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක උරුමයක් වන මැදගොඩ පත්තිනි දේවාලය රැකගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන ධුරන්දර ආර්. එම්. ඩිංගිරි බණ්ඩා කපුරාළහාමි ඇතුළු ඔහුගේ පරපුර විශාල කැපවීමකින් කටයුතු කරති.
ඒ අනුව බැතිමතුන්ට සේම අප රටේ පැරණි ඓතිහාසික සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක උරුමයන් කෙරෙහි උනන්දු වන සැමට ද මෙම චාරිකාව ඉතා වැදගත් වනු ඇතැයි සිතමු.
ඉන්දු පෙරේරා
ඡායාරූප අන්තර්ජාලයෙනි.