නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබෙන වන රක්ෂිතවලින් එකක් තමයි කඳපොල – සීතාඑලිය රක්ෂිතය. මෙය ලංකාවේ තිබෙන පැරණිම වන රක්ෂිත අතරින් එකක් ලෙසද සැලකෙනවා.
වන ආඥා පනත යටතේ මෙය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේ 1892 මැයි 20 දායි. එනම් ඉංග්‍රීසි ආණ්ඩුව පැවති සමයේදී යි. මෙහි ප්‍රමාණය හෙක්ටයාර් 2721ක් වෙනවා.මේ සමගම තවත් රක්ෂිතයක් තිබෙන අතර එය ප්‍රමාණයෙන් හෙක්ටයාර් 110ක් විශාල යි.
කඳපොල සීතාඑලිය රක්ෂිතය වඩාත් ජනප්‍රිය වී තිබේ තිබෙන්නේ බෝමුරු ඇල්ල, බෝමුරු ඔය සහ බෝමුරු ඇල්ල ජලාශය නිසායි. මේ තුනම පිහිටා තිබෙන්නේ රක්ෂිතය ඇතුලේ යි.
මෙම වනපෙත සම්බන්ධ පුරාවෘත්ත සහ ජනප්‍රවාද බොහොමයි. රාවණා රජතුමා සීතා දේවිය සඟවා තබා ඇත්තේ මේ වනපෙත තුළ
බවට ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් තිබෙනවා.
දැන් අපි මේ රක්ෂිතයට යන්නේ කොහොමද කියා සොයා බලමු.
නුවරඑළිය රාගල පාරේ ඉස්පිරිතාල හන්දියට ගොස් එතනින් පීඩෲ බාලදක්ෂ කඳවුර මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරක් යන විට මේ රක්ෂිතය හමු වෙනවා. නමුත් බෝමුරු ඇල්ල තිබෙන්නේ වනාන්තරයේ කෙළවරක. ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ආශ්රිත ප්‍රදේශයේ යි. බෝමුරු ඇල්ලට යන්න නම් වැලිමඩට ගිහින් වැලිමඩින් පේරවැල්ලට යා යුතුයි. මේ ප්‍රදේශයේ බහුලවම කූඩැල්ලන් ගැවසෙනවා. අඩි 308ක් උස බෝමුරු ඇල්ල ලංකාවේ තිබෙන ලස්සනම දිය ඇලි වලින් එකක්.
මේ වනාන්තරය අයත් වන්නේ මධ්‍ය කඳුකරයේ රම්බොඩ නුවරඑළිය වෘක්ෂ ලතා කලාපයටයි.
කඳපොල – සීතාඑලිය රක්ෂිතය සමඟ ඒ හා ඇති යෝජිත රක්ෂිතය සහ හග්ගල දැඩි රක්ෂිතය ද බැඳී පවතිනවා. මේ වනාන්තර පද්ධතියම එකම වනාන්තරයක් ලෙසටයි විහිදී තිබෙන්නේ.
කඳුකර වනාන්තරවල දැක ගත හැකි කුරුල්ලන් සහ උරග ආදී වෙනත් සතුන් රාශියක් මෙම වනාන්තර පද්ධතිය තුළ වාසය කරනවා. එයින් අපේ රටට ආවේණික ගුරු කොණ්ඩයා, කඳුකර මල් කුරුල්ලා, දෙමලිච්චා, මයිලගොයා, වලිකුකුළා, අඳුරු නිල්මැසිමාරා වැනි පක්ෂීන්, මධ්‍ය කඳුකරයේ පමණක් ජීවත් වන රයිනෝ අඟ කටුස්සා, ලංකාවට ආවේණික කටකළු කටුස්සා වැනි උරගයන්ද මෙහි බහුලව ම ජීවත් වෙනවා.
උඩවැඩියා සහ මීවන වර්ගද මෙහි ඉතාමත් ම සුලබ යි. කඳුකර වනාන්තරවල දක්නට ලැබෙන දඹ, කීන, ගල් වෙරළු වැනි ශාක ද මෙහි බහුලව දකින්න පුළුවන්. ඒ කෙසේ වුණත් මෙම වනාන්තර පද්ධතියෙහි ජෛව විවිධත්වය පිළිබඳව විශාල වශයෙන් තවම අධ්‍යයනයක් සිදුවී නෑ.
මෙම වනාන්තරයට තිබෙන විශාලම තර්ජනය වන්නේ තේ සහ එළවළු වගාව වෙනුවෙන් මිනිසුන් විශාල වශයෙන් වනය එළිපෙහෙළි කිරීමයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නුවරඑළිය අඩවි වන කාර්යාලයෙන් අවසරයක් ලබාගෙන ඔබටත් මේ වනාන්තරයට පිවිසිය හැකියි.
ඉන්දු පෙරේරා