“සීනි හිඟයට අදාල බලධාරීන් වග කිව යුතුයි”සිල්ලර වෙළෙන්ඳෝ කියති

දැනට රට පුරා පවත්නා සීනි හිඟයට අදාල බලධාරීන් සෘජුවම වග කිව යුතු බව රට පුරා සිල්ලර වෙළෙන්ඳෝ පවසති.මේ අතර රට පුරා තවදුරටත් සීනි හා සහල් හිඟයක් පැවතීම හේතුවෙන් සීනි මිලදී ගැනීමට වෙළෙඳපොළට යෑමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවට ද ඇතැම් වෙළෙඳුන් සහල් හා සීනි සඟවා තබාගෙන අධික මිල ගණන්වලට අලෙවි කරන බවට ද පාරිභෝගිකයෝ චෝදනා කරති.මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය නිසි ලෙස සොයා නොබැලීම පිළිබඳව ජනතාව දැඩි අප්‍රසාදය පළ කරති.ආනයනික සීනි කිලෝවක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමට රජය පසුගියදා පියවර ගත් අතර බදු වැඩි කිරීමත් සමග බොහෝ වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමීම නිසා සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජයට සිදුවිය.ඒ අනුව සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 275ක් ද දුඹුරු සීනි කිලෝවක් සඳහා රුපියල් 330ක් ද ලෙස පාලන මිලක් පනවා තිබේ.නමුදු සිල්ලර වෙළෙඳුන් පවසනුයේ වර්තමාන සීනි තොග මිල අනුව සීනි සම්බන්ධයෙන් නියම කොට ඇති උපරිම සිල්ලර මිලට සීනි අලෙවි කිරීමෙන් එක් සීනි කිලෝවක් සඳහා රුපියල් දහයකට වැඩි පාඩුවක් විඳීමට සිදුවන බවකි.

කාලීන පුවත්