ශිම්ලා යන සුරතල් හුරුබුහුටි නමින් හැඳින්වෙන නගරයක් ඉන්දියාවේ ඇත. අප හිමාල අඩවිය නමින් හඳුන්වන හිමාචල් ප්‍රාන්තයේ අගනුවර වන එය මුහුදු මට්ටමින් මීටර් 2276ක් හෙවත් අඩි 7467ක් උසකින් යුතු ශිතාධික දේශගුණයකින් යුත් පුරවරයකි.
අතීතයේ අන්ත පිටිසර ග්‍රාමීය පරිසරයකින් යුතු එය නගරයක් වශයෙන් නිර්මාණය කොට ඇත්තේ 1864 වසරේ ය. ඒ එවකට ඉන්දියාව පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන් විසිනි. එවක ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධාරීන්ට සේම විනිසුරුවරුන්, වතු පාලකයන් ආදී ප්‍රභූන්ට ඉන්දියාවේ ගිම්හාන සමය එතරම් ඔරොත්තු නොදුන් බැවින් ඔව්හු ඉන්දියාවේ උස් භූමි භාගයක් තෝරා එහි ‘පුංචි එංගලන්තයක්’ නිර්මාණය කරගත්හ. එය හරියට අප රට පාලනය කළ ඉංග්‍රීසීන් විසින් නිර්මාණය කර ගත් නුවරඑළිය නගරය මෙනි. එහෙත්, ලංකාවේ නුවරඑළියට සාපේක්ෂව ඉන්දියාවේ ශිම්ලාව ශීතලෙන් වැඩිය. වාර්ෂිකව එහි හිමපතනයක් ද සිදු වෙයි.දෙසැම්බරයේ සිට පෙබරවාරිය තෙක් එළඹෙන ශීත සෘතුවේ ශිම්ලාවේ උෂ්ණත්වය සෙල්සියෙස් සෘණ අගයක් තෙක් පහත බසී. බ්‍රිතාන්‍ය යුගයේ තනන ලද විවිධාකාර ගොඩනැගිලි මනාව සංරක්ෂණය වීම නිසා ශිම්ලා අදත් සංචාරක පරාදීසයක් බවට පත්ව තිබේ.සාමාන්‍යයෙන් ඉන්දියාවට පැමිණෙන විදේශ සංචාරකයෝ එහි ප්‍රධාන නගර වල පිරිසිදුකම ගැන සෑහීමකට පත් නොවෙති.එහෙත්,මෙම ශිම්ලාව සම්බන්ධයෙන් කීමට ඇත්තේ ඊට ඉඳුරාම වෙනස් කතාවකි.එහි ඉන්දියානුවකු නොවිධිමත් ලෙස හෙළන ලද කෙළ පිඬක් තබා නොවිධිමත් ලෙස බැහැර කළ ගිනි කූරක් වත් දක්නට නැත.ඒ අනුව එය වඩාත් ළං වනුයේ ඉන්දියාවේ නගරයකට නොව ස්කොට්ලන්තයේ නගරයකට යැයි බොහෝ දෙනා කියති.
එහෙත්, අපගේ මාතෘකාව ඇරඹෙන්නේ එතැනින් නොවේ. මෙම ශිම්ලා නගරය අතීතයේ අප රටේ පවා අතිශය ජනප්‍රිය කාලි මෑණියන්ගේ බලය පැතිරගත් පුරයක් ලෙස ප්‍රචලිතව තිබීමෙනි. ඒ සඳහා අනෙකුත් හේතු සාධක පසෙක තිබිය දී එයට යොදා ඇති ‘ශිම්ලා’ යන හුරුබුහුටි නමම කදිම නිදසුනකි. ශිම්ලා යන්න ශ්‍යාමලා යන්නෙන් බිඳී ආ ඉංග්‍රීසීන්ට පහසුවෙන් උච්චාරණය කළ හැකි වදනකි. ශ්‍යාමලා යනු කාලි මාතාවගේ චණ්ඩ ස්වරූපයක් ගත් අවතාරයකි. අප ජන සංස්කෘතියට අනුව කාලි දෙවඟන අවතාර කිහිපයකින් යුතු වන අතර ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල ද කාලි දෙවඟන විවිධ අවතාර ලෙසින් පෙනී සිටින බව පැවසෙයි. එහෙත් ඒ අවතාර අතර සමානකම් සේම විෂමතා ද බොහොමයකි. එබැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කිරීමට යාමෙන් මෙම ලිපියේ මාතෘකාව වෙනතකට යොමු විය හැක.
කාලි දෙවඟනගේ උප්පත්ති කතා ද සිය ගණනකි. ඇතැම් විට දහස් ගණනක් වීමට ද පුළුවන. දඹදෙණි යුගයේ ලියැවුණූ සද්ධර්ම රත්නාවලියේ ද කාලි යකින්නගේ කතා වස්තුව නම් බෞද්ධ ඌරුවේ කතා පුවතක් එයි. ‘නහි වේරෙන වේරානි’ (වෛරයෙන් වෛරය නොසන්සිඳේ) යන ධම්මපද පාඨය මත පදනම් වූ එම කතා ප්‍රවෘත්තිය අනුව කාලි යකින්න පසුව සෝවාන් ඵලයට පත් බෞද්ධ උපාසිකාවකි.
එහෙත්, ඉන්දීය එක්තරා ප්‍රවාදයකට අනුව අතීතයේ කාලි දෙවඟන අරක් ගත් පුරයක් ඉන්දියාවේ තිබී ඇත. එය හැඳින්වෙනුයේ කාලි දෙවඟන සංස්කෘත නමින් හැඳින්වෙන ‘කාලිකා’ යන නමිනි. එහි සිට හාත්පස ජනපද බලය විහිදුවලූ ඇය ඇගේ විවිධ ශක්ති ප්‍රභවයන් හාත්පස ප්‍රදේශවලට විහිදුවා තිබේ. අතීතයේ කාලි දෙවඟනගේ නමින් ‘කාලිකා’ යනුවෙන් හැඳින්වුණු මෙම ප්‍රදේශය අද ද හැඳින්වෙනුයේ ‘කල්කා’ නමිනි.වර්තමාන කල්කා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයට හා පංචකූල දිස්ත්‍රික්කයට අයත් හිමාචල් ප්‍රාන්තය මායිමේ පිහිටි නගරයකි. ශිම්ලා තරම් උස් ප්‍රදේශයක් හෝ සීත දේශගුණ සහිත ප්‍රදේශයක් නොවන කල්කා හි උස මුහුදු මට්ටමේ සිට මීටර් 656ක් හෙවත් අඩි 2152කි. එහි දේශගුණය ද සම සීතෝෂ්ණ බවින් යුතු ය.අතීතයේ කල්කාවට අරක් ගත් කාලි දෙවඟන තම චණ්ඩ බලය ශිම්ලා තෙක් පතුරුවා ඇත.
නමුත් අද වන විට ජන වර්ග සහ කුල වශයෙන් විවිධාකාර බෙදීම්වලට ලක්ව ඇති හින්දු ජන ප්‍රජාව තුළ කාලි දෙවඟනගේ ජන්ම භූමිය මෙම ‘කල්කා’ නගරය බවට පොදු පිළිගැනීමක් නැත. එහෙත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කරන ඉන්දීය මානව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දුරාතීතයේ ඉන්දියාවේ ‘කල්කා’ සිට බලය කේන්ද්‍ර කරගත් කාලි දෙවඟන ප්‍රත්‍යන්ත ජනපද වෙත ද තම බලය, ආධිපත්‍යය පතුරුවා හැරි බවට පැවැති ජන විශ්වාස බොහොමයක් අද වන විට තුරන් වී ඇති බවකි. නමුදු කාලි දෙවඟනගේ ශ්‍යාමලා අවතාරයේ බලය විහිදුවාලූ ශිම්ලා හි නාමය පවා ශ්‍යාමලා යන්නට අනුරූප වීම මත තවදුරටත් ඒ සම්බන්ධ මානව විද්‍යාත්මක සාක්ෂි ගොනුකර ගත හැකි බව ද ඔව්හු වැඩිදුරටත් පෙන්වා දෙති.
කල්කා සිට දුර්ග මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් අනූවක පමණ දුරක් ගෙවා පැමිණිය යුතු ශිම්ලා වෙත ගමන් පහසුව සැලසීම පිණිස දහ නව වැනි සියවසේ අග භාගයේ ඉංග්‍රීසීන් ඇරඹූ “පුංචි කෝච්චි සේවය’ අද ද එපරිද්දෙන්ම ක්‍රියාත්මක වේ. නමුත් පසුකාලීනව කල්කා සිට ශිම්ලා තෙක් වන මහා මාර්ගය ඉතා මැනවින් සකස් වූ පසුබිමක වුව ඉබි ගමනින් ගිය පුංචි කෝච්චිය අප රටේ මෙන් ඉවත නොදැමූ ඉන්දියානුවෝ අද එය සංචාරක කර්මාන්තය සඳහා වන සුපිරි මෙවලමක් ලෙස යොදා ගෙන තිබේ. කල්කා සිට හිම්ලා තෙක් වන දුර්ග මාර්ගයේ ගමන් කිරීමට පැය හතරකුත් විනාඩි විස්සක් ගත වුව ද හාත්පස පිහිටි මන මෝහනීය පාරිසරික අගය මත එම කාලය ‘අසුරු සැණක්’ සේ දැනෙන බව එම පුංචි කෝච්චියේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයෝ කියති.
මීට සියවස් එක හමාරකට පෙර ඉංග්‍රීසි ජාතිකයන් විසින් බටහිර ගෘහ නිර්මාණ ශිල්ප ආදිය යොදා නිර්මාණය කළ ශිම්ලා පුරවරය අද වන විට මතුපිටින් පුංචි එංගලන්තයක් මෙන් බැලූ බැල්මට දිස් වෙයි. නමුදු විස්මයට කරුණක් වනුයේ එම තත්ත්වය තුළ පවා එහි කාලි දෙවඟනගේ අවතාරයක් වන ශ්‍යාමලා දෙවඟනගේ බලය මුළුමනින්ම සිඳී බිඳී නොයාම ය.
ශිම්ලාහි උස් කඳු මුදුන් හතෙන් එකක් වන බැන්ටනි හිල් කන්දෙහි පිහිටා ඇති ශ්‍යාමලා දේවිය සඳහා වෙන් කළ කලිබරී (කාලි බාරී) කෝවිල අදටත් ඉන්දියානුවන් බොහොමයකගේ වැඳුම් පිදුම්වලට ලක් වන්නකි. ඉන්දීය මානව විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට මෙය දුරාතීතයේ මෙහි තිබූ ශ්‍යාමලා දේවි දෙවොල වීමට සේම නොවීමට ද පුළුවන.1845 වසරේ දී රාම්චරන් බහ්මචාරී නම් බෙංගාලි බ්‍රාහ්මණයකු ජකූ හිල් නම් කඳුගැටයේ නිර්මාණය කළ මෙම කෝවිල පසුව ඉංග්‍රීසි පාලකයන් විසින් වත්මන් බැන්ටනි හිල් වෙතට ගෙනවුත් තිබේ. බැන්ටනි හිල් යනු ශිම්ලාවේ විසූ බ්‍රිතාන්‍ය ජාතික සාමිවරයකු සිහිපත් කිරීම සඳහා නම් කරන ලද කඳු මුදුනක් වන මුත් එහි අදටත් ශ්‍යාමලා දේවිය යහතින් වැඩ සිටීම සතුටට කරුණකි.
තිලක් සේනාසිංහ