සුදු හැඳ සිහිනෙන් පෙනී සිටින දෙවි වරුන් බලෙන් මුණ ගැහෙන්න හදන්න එපා!

sudu-ada

සිහින පෙනීම සම්බන්ධයෙන් ලොව ප්‍රචලිතම අර්ථ නිරූපණය සිග්මන්ඩ් ප්‍රොයිඩ් ගේ සිහින විනිශ්චයයි. එහෙත්, ඔහු සිහින සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ ඇතැම් අර්ථ දැක්වීම් සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. නමුදු සිහින යනු හුදෙක් විවිධ මානසික, කායික සේම ඇතැම් පාරිසරික හේතූන් මත ඇස්, කන්, නාසා ආදී ඉන්ද්‍රිය සංවේදීතාවන් නොමැති අවස්ථාවල මනසේ පෙළ ගැසෙන නොවිධිමත්,අසංවිධිත චිත්ත රූප පමණක් බව පවසන්නෝ ද සිටිති. එහෙත් සිහිනෙන් දෙවිවරුන් දැකීම සම්බන්ධ මෙම සමාජමය සංසිද්ධි විග්‍රහයේ දී ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම අවශ්‍ය නැතැයි මට සිතේ.

මීට විසි වසරකට පමණ පෙර විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධි නිබන්ධනයකට කරුණු සෙවීමේ නියුතු රාජ්‍ය නිලධාරිනියක් මා සොයා ආවා ය. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේත්, කොළඹ දිස්ත්‍රික්කයේත්, හේවාගම් කෝරලයේත් පාරම්පරික වැසියන්ගේ ගෞරව බහුමානයට ලක් වන රන්වල දේව ඇදහීම ඇගේ නිබන්ධනයේ මාතෘකාව වී තිබූ බැවිනි. ඒ අනුව මම මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ප්‍රාදේශීය දෙවියා ලෙස හැඳින්විය හැකි රන්වල දෙවියන් ඇදහීම සම්බන්ධ සුවිශේෂත්වයන් රැසක් ඇය හමුවේ අනාවරණය කළෙමි. එහි දී අප ජන සම්මත බොහෝ දෙවිවරුන් සම්බන්ධ වාර්ෂික නානුමුර මංගල්‍යය, පෙරහර ආදී වත් පිළිවෙත්, අභිචාර විධි රන්වල දෙවියන් සම්බන්ධයෙන් නොමැති බව කී මම කොටින්ම රන්වල දෙවියන්ට සෙසු දෙවිවරුන්ට මෙන් වාහනයක්වත් නොමැති බව ද සිනාසෙමින් ඇය හමුවේ කියා සිටියෙමි. මා කී ඒ සියලු කරුණු සටහන් කර ගත් ඇය රන්වල දේව ඇදහීම සම්බන්ධ වැඩිදුරටත් කරුණු විමසනු පිණිස ඊට පසු දිනෙක යළි මා හමුවට පැමිණියා ය.

‘ඊයේ හරි වැඩක්නේ වුණේ.. කවුද මන්දා සුදු පාට ඇඳගත්තු තාපස පෙනුමක් තියෙන මනුස්සයෙක් මට හීනෙන් පෙනුණා. ඒ මනුස්සයා මට තරමක් සැරෙන් වගේ කියනවා උඹලා දන්නේ නැතුවට මගේ වාහනේ තමයි පහුර, මේ වැඩේ කරනවා නම් හරියට කරපන්. නැත්නම් නිකං හිටපන් කියලා.’ ඇය මා හට කීයේ අවට සිටි කිසිවකුටත් නොඇසෙන අන්දමට බරපතළ රහසක් හෙළි කරන්නාක් මෙනි.‘අනික ඔබතුමා රන්වල දෙවියන්ට වාහනයක්වත් නෑ කිව්වේ හිනාවෙලා සමච්චලයට වගේ නේද?’ ඒ සමගම ඇය අසා සිටියාය.
නමුත් මා එසේ කීයේ භාරතයෙන් අප රටට පැමිණි හින්දු දෙවිවරුන්ට සේම සමන් වැනි දේශීය දෙවිවරුන්ට ද විවිධ සත්ත්ව වාහන තිබුණ ද රන්වල දෙවියන්ට නොමැති බව ඇයට ඒත්තු ගැන්වීම පිණිස ය.

‘එහෙම නම් ඉතින් රන්වල දෙවියන්ගේ වාහනේ පහුර කියලා දාන්න. හැබැයි ඉතින් ඒ සම්බන්ධ මූලාශ්‍රය හැටියට සුදු ඇඳගත්තු කෙනෙක් හීනෙන් ඇවිත් කිව්වා කියලා දානවද? කියන එක ගැන නම් දෙතුන් සැරයක් හිතන්න වෙයි. මොකද ඕක ශාස්ත්‍රීය නිබන්ධනයක් හින්දා.’ මම යළි සිනාසී කීවෙමි.

ම’විසින් එදා මෙදා තුර රන්වල දේව ඇදහීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී එතුමන්ගේ වාහනය ‘පහුර’ බව සනාථ කෙරෙන කිසිදු මූලාශ්‍රයක් හමු වී නැත. සාමාන්‍යයෙන් දේව කන්නලව්වල එම දෙවිවරුන්ගේ වාහන පිළිබඳව අනිවාර්ය වශයෙන් සඳහන් වන මුත් රන්වල දේව කන්නලව්වල පවා එවැන්නක් පිළිබඳ සඳහන් නොවේ.ඒ අනුව ඇය දුටු සිහිනය රන්වල දෙවියන් රන්වල මුත්තා නමින් මිනිස් භවයේ සිටි සමයේ පහුරකින් කැලණි යාම පුරුද්දක් කර ගෙන සිටි බවට මා ඇය හමුවේ කළ ප්‍රකාශය මත පදනම් වූ ස්වප්නමය පරිකල්පනයක්ද?නමුදු පැපිලියවල, අනුරාගොඩ ශ්‍රී සුමංගලාරාම පුරාණ විහාරාධිපති පූජ්‍ය කනම්පැල්ලේ ධම්මසිරි හිමිපාණන් විසින් ප්‍රබන්ධය කරන ලදුව පසුව ප්‍රදේශවාසීන් අතරේ මහත් සේ ප්‍රචලිත වූ ‘රන්වල දෙව් වරුණ’ නම් පද්‍යාවලියේ එන මෙම කවි දෙක මගින් එවැන්නක් පිළිබඳ ඉඟියක් ලැබේ.

පෝය දිනට පෙර දවසේ

බඳවා පහුරක් සොඳ සේ

රන්වල තොටුපළ පෙදෙසේ

පාවෙන දිය මත රිසි සේ

පෝයක් නෑරම මෙලෙසේ

කැලණිය වෙත යන රිසි සේ

දෙටු තනතුරු ලැබ රිසි සේ

කටයුතු සැලසුණි රිසිසේ

සුදු පැහැති ඇඳුමින් සැරසී රාත්‍රියට සිහිනයෙන් පෙනී සිටින දෙවිවරුන් අතුරින් රන්වල දෙවියන්ට ප්‍රමුඛත්වයක් හිමි වන බව ඇස්වත්ත, කනම්පැල්ල, මානකඩ, රන්වල, මීතිරිගල, හිස්වැල්ල, ගනිගම, පැපිලියවල, පූගොඩ, අනුරාගොඩ, කිරිඳිවැල, කපුගොඩ, බොල්ලතාව, හංවැල්ල ආදී රංවල දේව ඇදහීම වැඩිපුරම ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ගැමියෝ කියති.

රන්වල දෙවියන් මිනිස් භවයේ දී ජීවත් වූ ස්ථානය ආසන්නයේ පිහිටි රන්වල ශෛලාසනාරාම පුරාණ විහාරයේ දායකයකු වූ රන්වල ඒ.ආර්.ඩී. විජේසුන්දර හෙවත් ‘විදානේ මහත්තයා’ මෙබඳු අත්දැකීම් කිහිපයකට හිමිකම් කියන්නෙකි.1960 දශකයේ පමණ රන්වල ශෛලාසනාරාමයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් නොමැතිව සිටිය දී එක්තරා රාත්‍රියක සිහිනෙන් පෙනුණු සුදු හැඳගත් අද්භූත පුද්ගලයකු ‘වැඩ ටිකත් නතර වුණා නේද?’ යනුවෙන් අසා එක් වරම අතුරුදන් වූ බවත් ඊට පසුදාම කොළඹ-අවිස්සාවේල්ල පාරේ හිඟුරල රන්වල දේවාලයෙන් විහාරස්ථානයේ අභිවෘද්ධිය තකා රුපියල් පන්සියයක මුදලක් ලැබුණු බවත් විජේසුන්දර විදානේ මහතා කියා තිබේ. එවක එය සිමෙන්ති කොට්ට හතළිහක් පනහක් මිලට ගැනීමට ප්‍රමාණවත් මුදලක් බවත් කියනු ලැබේ.

එමෙන්ම එම ශෛලාසනාරාම විහාරය ගොඩනගන කාලයේ විහාරයේ බුදු පිළිමයේ දැවටෙමින් සිටි සුදු නාගයකු වැලි ගසා පළවා හැරි විහාරස්ථානයේ සාමණේර හිමිනමක ඉදිරියේ එදින රාත්‍රියේ සිහිනයෙන් පෙනී සිටි සුදු හැඳගත් පුද්ගලයකු අවවාද කිරීමේ පුවතක් ආර්.ඒ. පියදාස මහතා විසින් රචිත ‘රංවල දෙවියෝ’ කෘතියේ සඳහන් වෙයි. ඒ අනුව පෙනී යන්නේ රාත්‍රියේ සිහිනයෙන් පෙනී සිටින එම සුදු හැඳගත් පුද්ගලයා සම්බන්ධ ඒකීයත්වයක් නොමැති බවකි.මෙහි දී මා රන්වල දෙවියන් සම්බන්ධ කතා ප්‍රවෘත්තීන් පිළිබඳව පමණක් සඳහන් කළ ද සිහිනයෙන් පෙනී සිටින සුදු ඇඳගත් පුද්ගලයා මෙරට ජන විඥානයට අමුත්තෙක් නොවේ.එසේ පැමිණෙනුයේ සමන් දෙවියන් බව සබරගමුවේ ජනතාව විශ්වාස කරන අතර අයියනායක දේව ඇදහීම බහුල ප්‍රදේශ වල ජනයා පවසනුයේ එසේ සුදු වතින් සැරසී සිහිනයෙන් පෙනී සිටිනුයේ අයියනායක දෙවියන් බවකි.නමුත් බොහෝ ප්‍රදේශ වල මෙම සුදු වතින් සැරසී රාත්‍රී කාලයට සිහිනයෙන් පෙනී සිටින දෙවියා ගම්බාර දෙවියන් සේ සලකනු ලැබේ.

සිහින සම්බන්ධ පෙරදිග විග්‍රහයන් බොහොමයක තම ඉටු දෙවිවරුන් හෝ මියගිය ඥාතීන් සිහිනයෙන් පෙනී සිට විවිධ දැනුම් දීම්, සිහි කැඳවීම් සේම අනතුරු සංඥා කිරීම් පිළිබඳව ද සඳහන් කෙරේ. අපගේ ජන සංස්කෘතික පිළිගැනීම අනුව එසේ සිහිනයෙන් පෙනී සිටිනුයේ ප්‍රධාන දෙවිවරුන් නොවන දේවතා කොට්ඨාසයක් බව ද පෙනී යයි. එමෙන්ම රූපකාය වශයෙන් යම් අද්භූත බවක් පළ කරමින් එසේ පෙනී සිටින දේවතාවන් තම අනන්‍යතාව හෙළි නොකරන බව ද ජන සම්මතයකි.

නමුදු යමකු හමුවේ සිහිනෙන් පෙනී සිටින සෑම අද්භූත රූපයක්ම දේවතාවකු හෝ වෙනයම් අමනුෂ්‍යයකු ලෙස අතීත ගැමියෝ පිළි නොගත්හ. ඊට හේතුව තුන්දොස් කිපීම වැනි හේතූන් මුල් කොට මනස තුළින් ඇතිවන ව්‍යාජ පරිකල්පනයන් ඔස්සේ දකින සිහින ද දේවතාවුන් දර්ශනය වීම් වශයෙන් ඉදිරිපත් විය හැකි බැවිනි. නමුදු ඒ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට ඒමට නොහැකි වූ පැරැන්නෝ එම සිහිනය දුටු දිනය සහ වේලාව ආසන්න වශයෙන් එම සිහිනයෙන් දුටු දෙය සහ දුටු ආකාරය පිළිබඳව ද යම් අනුමානයකට එළැඹීම පිණිස දැනට අප සතු පාරම්පරික ස්වප්න විනිශ්චය ශාස්ත්‍රයන් උපයෝගී කර ගත්හ. මහනුවර යුගයේ දී පමණ රචනා වූ බව පැවසෙන එබඳු ස්වප්න විනිශ්චය සම්බන්ධ පැරණි ලේඛන කිහිපයක් අප සමාජයේ තිබේ. නුගේගොඩ තිබූ පොත් සමාගමක් විසින් එම ලේඛන මුද්‍රණයෙන් නිකුත් කොට තිබුණ ද දැන් ඒ මුද්‍රණයන් තබා එම සමාගමවත් තිබේ දැයි නොදනිමි.

මේ අතර මෙම සිහින මගින් දෙවිවරුන් දැකීම පිළිබඳ බරපතළ තත්ත්වයක් ද මෙහි දී අනාවරණය කළ යුතුය. එනම් ඇතැමුන් එලෙස තමන්ගේ ඉටු දෙවිවරුන් සිහිනයෙන් දර්ශනය කරවා ගැනීම පිණිස නොයෙක් ක්‍රියාවන්හි යෙදීමය.

තමන්ට හිතෙන හිතෙන හැටියට දෙවිවරුන් සිහිනයෙන් දර්ශනය කරවා ගෙන තම සිතැඟි සපුරාගත හැකි ක්‍රම පිළිබඳව ද සාම්ප්‍රදායික ගුප්ත විද්‍යාවේ කිසිදු තැනක නැත. මේ සියල්ල පසුකාලීනව විවිධ පුද්ගලයන් ගුප්ත ශාස්ත්‍ර මුල් කොට ගෙන සිදු කළ අනේකවිධ ප්‍රෝඩාකාරී ඇස්බැන්දුම්ය. මගේ පෞද්ගලික විශ්වාසයට අනුව මෙම ප්‍රෝඩාකාරී ඇස්බැන්දුම් කලාවට යටත් විජිත යුගයට වඩා අතීතයට දිව යන ඉතිහාසයක් නැත. යමක් පැරණි පුස්කොළ පොතක තිබූ බව පැවසූ පමණින් එය දේව භාවිතයක් සේ සැලකීමට සමහරෙක් පුරුදුව සිටිති. එහෙත් යම් පුස්කොළ පොතක් පැරණි වූ පමණින් එහි විශ්වසනීයත්වය තහවුරු වන්නේ නැත.මක් නිසා ද යත් වර්තමානයේ ජීවත් වන සොරුන්ට නොදෙවෙනි සොරුන් අතීත සමාජයේ ද ජීවත් වූ බවට මානව විද්‍යාත්මක සාක්ෂි නොඅඩුවම ලැබෙන බැවිනි.

හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂවරයකු වන ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සූරීන් පෙන්වා දෙන අන්දමට මහනුවර යුගයේ දී ලියැවුණු ඇතැම් පුස්කොළ පොත්වල ද ඉතා අශාස්ත්‍රීය හා අවිධිමත් සේම සාවද්‍ය කරුණු ගැබ්ව තිබේ. විශේෂයෙන් යටත් විජිත සමයේ අප රටේ මුහුදුබඩ පළාත්වල පැතිර ගිය ශාස්ත්‍රීය උන්නතිය හමුවේ ඇතැම් කූට පුද්ගලයන් විසින් ඉපැරණි ගුප්ත ශාස්ත්‍රයන් අවභාවිත කරමින් ලියූ විවිධ ලේඛන මේ වන විටත් රට පුරා ශේෂව පවතී. එහෙත් ඒවායේ අඩංගු කරුණුවල සත්‍යතාව කෙසේ වෙතත් ඒවායේ ඇති කෞතුකමය අගය සඳහා සමකාලීන සිතුම් පැතුම් වටහා ගැනීමට ඇති අවකාශය අනුව එම ලේඛනයන්හි වටිනාකමක් නොමැති යැයි කීමට කෙසේවත් නොපුළුවන. ඒවා මුද්‍රණයෙන් එළිදැක්වීමේ ද දොසක් නැත. එහෙත් ඒවායේ සත්‍යාසත්‍යතාව පාඨකයන් දත යුතුය.

පසුගිය කාලය තුළ විවිධ මුද්‍රිත සේම සමාජ ජාලවලින් තම අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීම පිණිස දෙවියන් සිහිනෙන් සම්මුඛ විය හැකි ආකාරයන් දක්වා තිබේ. ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත්, පිළිපැදිය යුතු කරුණු ආදිය ද ඒවායේ දක්වා තිබේ. එහෙත් පැරණි ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ සාම්ප්‍රදායික දැනුම් අවබෝධයක් ඇත්තවුන් පවසනුයේ එය ගින්දර සමග සෙල්ලම් කිරීමක් බවය. එහෙත් තම තමන්ගේ අභිමතාර්ථයන් උදෙසා සිහිනයෙන් දෙවිවරුන් මුණගැසීම අෂ්ටාංග ආයුර්වේදයට අයත් භූත විද්‍යා තන්ත්‍ර නම් විෂය පථයට ඉඳුරාම පටහැනි බව ඒ සම්බන්ධ විද්වත්හු කියති.ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය දර්ශන අංශයේ හිටපු මහාචාර්ය ගුණපාල ධර්මසිරි සූරීන් ප්‍රකාශ කරනුයේ ආයුර්වේදයේ එන මෙම විෂය පථය සම්බන්ධ ප්‍රමාණවත් ලේඛන අප සතුව නැතත් ඉන්දියානු මූලාශ්‍ර වලින් ඒ හා සම්බන්ධ ප්‍රායෝගික වැදගත් කරුණු රැසක් උකහා ගත හැකි බවය.

පසුගිය කාලයේ ජනමාධ්‍යවලින් එළිදැක්වුණු සිහින මගින් දේවතාවුන් මුණ ගැසීමේ ක්‍රමවලට එක් වනුයේ පැරණි ගුප්ත කර්මයේ සිහි මුලා කරවීම් නම් විෂය පථයට අයත් ‘මෝහන’ නම් වන විෂයට අයත් කරුණු බව ඒ සම්බන්ධ විධිමත් ලෙස විමැසීමේ දී පෙනී යයි.
ඒ සම්බන්ධයෙන් මීට කලකට ඉහත අප හා අදහස් පළ කළ සාම්ප්‍රදායික ගුප්ත ශාස්ත්‍ර හා සම්බන්ධ පරපුරකට අයත් ගණේමුල්ල, තිබ්බටුගොඩ විසූ පියදාස විද්‍යාරත්න මහතා කියා සිටියේ මෙවැනි කෘත්‍රිම ක්‍රම මගින් සිහිනයෙන් දේවතාවන් හමුවීමට වෙර දැරීම තුළින් ඒ සිහින මාර්ගයෙන් මළ ප්‍රේතයන්, පිසාචයන් වැනි පහත් පෙළේ අමනුෂ්‍යයන් පැමිණිය හැකි බවය. එමගින් තමන් කිසිසේත් අපේක්ෂා නොකළ විපත් අනතුරු මෙන්ම ඇතැම් විට දිවි ඇති තුරා උන්මාදයට පත්වීම් ද සිදුවිය හැකි බවත් එබඳු සිද්ධීන් සම්බන්ධ අත්දැකීම් තම පුරපුර සතුව තිබෙන බවත් ඔහු කියා තිබේ.ඒ කෙසේ හෝ මනැස තුළට යථාර්ථය ඉක්මවන බරපතල මානසික ඇනවුම් පිවිසුවා ගැනීම මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කෙසේ වත් යහපත් තත්වයක් නොවන බව නම් කිව යුතුම ය.ඊට හේතුව දේව විශ්වාස ඇතුළු සකල විධ ගුප්ත විශ්වාස හුදෙක් පුද්ගල,ප්‍රජා සහ සමාජමය මනෝමය සිද්ධාන්ත මත පැන නඟින ඒවා මිස පාරලෞකික ඇතුළු කිසිදු ආකාරයක බාහිර බලපෑම් මත ඇති වන ඒවා නොවීම ය.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය