මිනිසුන් සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්ත්වයක් වන මුඛයෙන් දුගඳක් වහනය වීම සුනඛ සහ බළල් සුරතලුන් අතරද බොහෝ විට දැකිය හැකියි. ඒ අයුරින් සතුන්ගේ මුඛයෙන් දුගඳය වහනය වීමට බලපාන හේතු කිහිපයක් තිබෙනවා.
ප්‍රධානම හේතුව සතුන්ගේ දත් සහ විදුරු මස් ආශ්‍රිතව පවතින ගැටලුකාරී තත්ත්වයන් ය. මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ද විදුරු මස් ආශ්රිත රෝග, දත් මුල් දියවීම, දත් ආශ්රිත රෝග තත්ත්වයන් මුඛයෙන් දුගඳ වහනය වීමට ප්‍රධාන හේතුවක් වෙයි.
මුඛය හා නාසය ආශ්‍රිතව සිදුවන ආසාදන සහ ඒ හේතුවෙන් හටගන්නා ප්‍රදාහ තත්ත්වයන් මේ සඳහා හේතු වන අතර අපි ඒ මොනවාදැයි සොයා බලමු.
* අවශෝෂණය වීම අපහසු ආහාර ගැනීම හේතුවෙන් එම ආහාර වැඩි වේලාවක් ආහාර මාර්ගයේ රැඳී පැවතීම
* වැරදි ආහාර රටා
* මුඛය ආශ්‍රිතව හටගන්නා පිළිකා
* ඇතැම් සුනඛයන් අසූචි කැලි කසල වැනි අපද්‍රව්‍ය ආහාර ගැනීමට පුරුදු වී සිටීම ( මෙවැනි සුනඛයන්ගේ මුඛයෙන් නිරන්තරයෙන් දුගඳක් වහනය විය හැකියි.)
* රුධිරයේ සීනි මට්ටම ඉහළ අගයක පැවතීම හෝ දියවැඩියා රෝගී තත්ත්වයෙන් පසු වීම ( මෙවැනි රෝග තත්ත්වයක් ඇති සතුන්ගේ මුඛයෙන් පලතුරු සුවඳකට සමාන ගන්ධයක් වහනය වන්න පුළුවන් )
* තදබල වකුගඩු රෝගී තත්ත්වයන්
* අක්මා රෝග ( අක්මා රෝග ලක්ෂණ වන විදුරු මස් කහ පැහැ ගැනීම, වමනය වැනි ලක්ෂණ සමඟ මුඛයෙන් දුගඳක්ද වහනය වනවා. එවැනි ලක්ෂණ ඇති විට එය අක්මාවේ රෝගී තත්ත්වයක් හේතුවෙන් හට ගත් බව අවබෝධ කරගත හැකියි.)
මුඛයෙන් දුගඳ හැමීම වළක්වා ගන්නේ කොහොමද?
එක පියවරක් තමයි සතුන්ගේ දත් මැද්දවීම
සුනඛයන්ට සැපීම සඳහා නිපදවා ඇති මස් කටු වැනි භාණ්ඩ දීම මගින් දත්වල ඇති මැලියම්, බැක්ටීරියා ආදිය ඉවත් වීම සිදුවෙනවා. සතුන්ගේ මුඛයේ මැලියම් එකතු වී ඝන බවට පත්වීම පශුවෛද්යවරයකු විසින් සතුන් නිර්වින්දනය කර ඉවත් කිරීමට සිදුවන කරදරකාරී තත්ත්වයක්. එහෙත් මෙකී සැපීමට ඇති භාණ්ඩ සතුන් නිතර සපන විටදී දත්වල බැඳී ඇති මැලියම් ඉවත්වීම නිරායාසයෙන් සිදුවෙනවා. අවශෝෂණය වීම අපහසු සහ වෙනත් අපද්‍රව්‍ය සුනඛයන් විසින් ආහාරයට ගැනීම වැළැක්වීමෙන්ද මුඛයෙන් දුගඳ වහනය වීම වළකිනවා. දත් සහ විදුරුමස් ආශ්‍රිතව යම් ආසාදිත තත්ත්වයක් ඇත්නම් ඒ සඳහා ගැල්විය හැකි ක්‍රීම් වර්ග ආලේපන ආදිය වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීම මගින් එවැනි ආසාදනයක් පහසුවෙන් සුව කරගත හැකියි.
අපි දැන් මෙලෙස මුඛයෙන් දුගඳ හමන එක්තරා රෝගී තත්ත්වයක් පිළිබඳව විස්තර කතා කරමු.
මෙහි ඉතා ප්‍රකට ස්වභාවයක් වන්නේ සුනඛයන් සහ බළලුන් අතක් මුව තුළට බහා ගැනීමයි.
මෙවැනි චර්යාවක් ඔබත් ඔබේ සුනඛ සහ බළල් සුරතලුන් වෙතින් දැක ඇති. එය දකින කාට වුවත් සිතෙන්නේ සුරතලාගේ මුඛය තුළ දත්වල හෝ උගුරේ යමක් සිරවී ඇති බවයි. ඒ නිසා සතා අත මුඛය තුළට දමා ගනිමින් එය ඉවත් කර ගැනීමට වෙහෙස වන බව ඔබ සිතන්නට පුළුවන්. සතා එසේ කරද්දී මුඛයෙන් කෙළ වෑස්සීම මෙන්ම සතාට ආහාර අරුචිය ඇතිවීම, කැස්ස, වමනය දැමීමට උත්සාහ කිරීම සහ මුඛයෙන් දුගඳක් වහනය වීම වැනි ලක්ෂණ ද හට ගැනීම නිසා සතාගේ මුඛයෙහි කුමක් හෝ සිර වී ඇතැයි යන සැකය ඔබට තවදුරටත් තහවුරු විය හැකියි.
සතා පශුවෛද්යවරයකු වෙත රැගෙන ගොස් මුඛය සහ උගුර පරීක්ෂා කළ විට එවැනි කිසිවක් සිරවී නැති බව තහවුරු කර ගත හැකියි.
එසේ නම් සුනඛ සහ බළල් සුරතලුන් මෙසේ කරන්නේ ඇයි?
ඊට හේතු කිහිපයක් තිබෙනවා.
තොල්වල මුඛයේ දාර ආශ්‍රිතව ඇතිවන බැක්ටීරියා ආසාදන, අසාත්මිකතාවයන් සහ තමන්ගේම දත් වලට සැපීම වැනි හේතු නිසා තුවාල හටගත හැකියි. එම තුවාල නිසා හටගන්නා වේදනාව හෝ අපහසුතා නිසා සතුන් තම දෑත් වලින් මුඛය ස්පර්ශ කරමින් පෙරකී ආකාරයට සිදුකරනවා.
සතුන්ගේ මුඛයේ ඇතුළු බිත්තියේ මෙන්ම තොල් සහ නාසය ආශ්‍රිතවත් පිළිකාමය තත්ත්වයන් හටගන්න පුළුවන්. එවැනි රෝග තත්ත්වයන් පවතින විටත් සතුන් තමාගේ මුඛය තුළට අත දැමීම සහ මුඛය අවට ස්පර්ශ කිරීම සිදුකරනවා.
සතුන්ගේ උඩුතල්ල දෙකට බෙදුණු ආකාරයේ දුර්ලභ උපත් ආබාධ පවතින විටදී ආහාර ගිලීමේ අපහසුතා හටගත හැකියි. එවැනි අවස්ථාවලදී ද සතෙකු තම අත මුඛය තුළ රුවාගෙන හිඳින අවස්ථා තිබෙනවා.
වෛරස් ආසාදන නිසා ද සතුන්ගේ උගුර මෙන්ම දිව ආශ්‍රිතව ද ප්‍රදාහ තත්ත්වයන් හට ගැනීම සුලභව සිදුවෙනවා. එවැනි ප්‍රදාහ තත්ත්වයන් නිසා මෙන්ම නොයෙක් අපද්‍රව්‍ය රසායන ද්‍රව්‍ය ආදිය මුඛය තුළට යාම නිසා ද සතුන් මුඛය තුළට අත දැමීමට උත්සාහ කරන අවස්ථා තිබෙනවා.
සතුන්ගේ දන්තාබාධ, දත් මුල් දියවීම, විදුරුමස් රෝග ආදිය පවතින විටදී ද පෙරකී චර්යාවන් අනුගමනය කරනු දැකිය හැකියි.
සුනඛයන් ජලභීතිකා රෝගයට ගොදුරු වූ විටදී ද උගුරේ ප්‍රදාහ තත්ත්වයන් හටගන්නවා. උගුර ඉදිමීම, ගිලීමේ අපහසුව වැනි ලක්ෂණ ද ඒ සමගම ඇතිවෙනවා. එවැනි බරපතල රෝගී තත්ත්වයන් වැළඳුණු විටදීද සතුන් අත මුඛයෙහි රුවාගෙන ඉන්න පුළුවන්.
මේ ආකාරයට නොයෙකුත් හේතු සාධක සහ රෝගී තත්ත්වයන් හේතුවෙන් සතුන් මුඛය ඇතුළට අත දමා ගන්නා චර්යාවන් පෙන්විය හැකි නිසා එම අවස්ථාවල දී සතාගේ උගුරේ යමක් සිරවී ඇතැයි සිතා අපරීක්ෂාකාරීව සහ සෞඛ්යාරක්ෂිත නොවන අන්දමින් ඔබ සතාගේ මුඛය පරීක්ෂා කිරීමට උත්සාහ කිරීම අනුවණ ක්‍රියාවක් බව පැවසිය යුතුයි.
පශුවෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
සැකසුම – ඉන්දු පෙරේරා