රට තුළ ජල භීතිකා එන්නත (මානව) හිඟවීම මත එම රෝගය ව්‍යාප්ත වීම් වළකාලීමේ එක් පියවරක් ලෙස රට පුරා නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහණය අඩු කරවීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන්වල අවධානය යොමුව තිබේ. එහෙත් මෙය ශ්‍රී ලංකාවේ සුනඛ ගහණය අඩු කිරීම පිණිස එතෙක් ක්‍රියාත්මක වූ සුනඛයන් ඝාතනය කිරීමේ කෲර ක්‍රියාවලියට එරෙහිව 2005 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන නොමැරිය යුතුය යන රාජ්‍ය ප්‍රතිපත්තිය ද අමු අමුවේ උල්ලංඝනය කරන්නකි.
තත්වය එසේ තිබිය දී සුනඛයන් ඝාතනය කිරීම් මුල් කොට ගත් ශ්‍රී ලාංකීය ජන විඥානය තුළ ස්ථාපිත වී ඇති කරුණු ස්වල්පයක් ඔබ හමුවට ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාව කර ගනිමි.
ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ පොදු පිළිගැනීම අනුව මේ ලෝකයේ ජීවත් වන අවාසනාවන්තම සතුන් දෙකොටසක් වෙති. ඒ සුනඛයා සහ කපුටාය. ඒ බව සනාථ කෙරෙන හොඳම නිදසුන් වනුයේ සාංඝික දේපොල පරිහරණය කිරීමෙන් නැතහොත් සඟ සතු දේ කෑමෙන් බලු කපුටු වී ඉපදෙන බවට ජන සම්මතයක් පැවැතීමය. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි සාක්ෂි ලෙස මධ්‍ය කාලීන යුගයෙන් පසු බෞද්ධ විහාරාරාම ආශ්‍රිත ශිලා පුවරුව කොට ඇති සුනඛයන් ගේ හා කපුටන් ගේ රූප සටහන් දැක්විය හැක.
නිරාහාර බව මුල් කොට ගත් දුක්ඛිත තත්වයේ සංකේතය කපුටා වන අතර සුනඛයා ගෙන් සංකේතනය වනුයේ දීන බවය. සුනඛයා දීන බවේ සංකේතය ලෙස යොදා ගැනීම භාරතීය හින්දු ධර්ම ශාස්ත්‍රවල ද එලෙසින්ම සිදු වී තිබේ. ඒ අනුව ඉහත සඳහන් ශිලා පුවරුවල කොටා ඇති සුනඛයන් ගේ රූප සටහන් මගින් තහවුරු වනුයේ සඟ සතු දේ කෑමෙන් බලු කපුටන් වී ඉපදෙන බවය.
මේ සාම්ප්‍රදායික චින්තනය නිසාම පාරමී පිරූ බෝසතුන් සියළු අත්භවයන් හි ඉපිද ඇතත් සුනඛ අත් භවයක ඉපිද නැතැයි යන ජන විශ්වාසයක් අප සමාජයේ පවතී. එහෙත් එය මුලුමනින්ම අසත්‍යයකි. පන්සිය පනස් ජාතකයට අයත් කුක්කුර ජාතකයට අනුව බෝසතුන් අමු සොහොනක ජීවත් වන සුනඛ රැලක නායක සුනඛයාය.
තත්වය එසේ තිබිය දී සුනඛයා යනු මානව ශිෂ්ටාචාරයේ පහත්ම අඩිය හැඳින්වීම පිණිස යොදා ගන්නා සත්වයා ද වෙයි. අපගේ ජනවහරේ දී අශිෂ්ට ප්‍රකාශ සහ ක්‍රියාවන් හැඳින්වීම පිණිස බලු කතා සහ බලු වැඩ යන යෙදුම් ඒ සඳහා වන නිදසුන් සේ දැක්විය හැක. එසේ සුනඛයන් ඇතුළු තිරිසනුන් තුළ මිනිසුන් තුළ පවත්නා ශිෂ්ටාචාර ලක්ෂණ පිහිටා නොමැත්තේ ඒ සඳහා වන ඓන්ද්‍රීය ව්‍යුහයන් ඔවුන් ගේ මොළය තුළ ස්වභාවිකවම පිහිටා නොමැති වීම නිසා මිස ඔවුන් තුළ පවත්නා වරදක් අඩුපාඩුවක් නිසා නොවන බව මේ වන විට අනාවරණය වී තිබේ.
නමුත් අප සමාජයේ සුනඛයා සම්බන්ධ අර්ථ නිරූපණයන් හිදී ඔහුට යම් අගැයුමක් ද ලබා දී ඇති බවක් පෙනෙයි. ඒ සුනඛයා යනු බහිරවයා ගේ ආරක්ෂකයා ය යන විශ්වාසයයි. බහිරව යනු ඔහු දේවත්ව සංකල්පයකි. සරල වශයෙන් ගත හොත් භූමියට අධිපති යන්න ඉන් අරුත් ගැන්වෙයි. බහිරව යනු උප දේවතා කොට්ඨාශයක් වන අතර බහිරවයෝ කට්ටු හෙවත් කණ්ඩායම් ලෙස ද ගණන් ගැනෙති. මහනුවර යුගයේ ලේඛන මූලාශ්‍රවලට අනුව බහිරවයෝ දෙකොටසක් සිටිති.
පාතාල බහිරව සහ ආකාල බහිරව යනුවෙනි. පාතාල බහිර යනු භූ ගර්භයේ ඇති සම්පත්වලට අධිගෘහිත දේවතාවා වන අතර ආනාල බහිරව යනු පොළව මතු පිට ඇති සම්පත්වලට අධිගෘහිත දේවතාව ය. පාතාල බහිරව ගේ ආරක්ෂක සත්වයා නාගයා වන අතර ආනාල බහිරවයා ගේ ආරක්ෂක සත්වයා සුනඛයා ය. මහනුවර රාජධානි සමයේ පැවැති ආගමික පුද පිළිවෙත් අතර බහිරව පූජාවට විශේෂ තැනක් හිමි වූ අතර බහිරව දේවතා වෙත කරනු ලබන පුද සැළකිල්ලක් ලෙස සුනඛ දානය ද ව්‍යාප්ත ව තිබූ බවට සාධක බොහෝ ය. අදත් ජනවහරෙහි එන සංඝ රාජ හාමුදුරුවන් ගේ බලු දානේ වගේ යන මහනුවර යුගයේ අප රටේ ශාසන ප්‍රතිෂ්ඨාපනයේ නියමුවාණන් වූ වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජ හිමියන් සම්බන්ධ උපහාස ප්‍රබන්ධයකි.
නිවාස අහිමිව මඟ තොට ජීවත් වන සුනඛයන්ට ආහාර ලබා දීමෙන් තමන් සතු ගේ දෙර ඉඩකඩම් වතු පිටි ආදියට බහිරව ආරක්ෂාව ලැබෙන බවටත් එමෙන්ම ඒ සතුන්ට හිංසා පීඩා කිරීමෙන් මිනිසුන්ට නොයෙකුත් විපත් කරදර අත් වන බවටත් වන ජන විශ්වාසයක් අදත් අප ගැමි සමාජය තුළ තිබේ.
මේ සියලු තත්වයන් යටතේ එළැඹ ඇති ආර්ථික, දේශපාලන” සමාජ අර්බුදය උදෙසා අසරණ සුනඛයන්ට වන්දි ගෙවීමට සිදුවීම සමාජමය වශයෙන් මහත් නස්පැත්තියකට තුඩු දෙන්නක් බව විශේෂයෙන් කිව යුතුය. එමෙන්ම අප රටේ සුනඛ ගහණයෙන් 70% කට ජල භීතිකා එන්නත ලබා දීමෙන් මුලු රටින්ම ජල භීතිකාව තුරන් කොට වටිනා මිනිස් සේම සුනඛ ජීවිත රැක ගැනීමට තිබූ අවස්ථාව අහිමි කරගන්නේ කවුරුන් ද යන්න ද සිතා බැලිය යුතුය.
ඒ අනුව දැන් වහ වහා කළ යුත්තේ සෞඛ්‍ය සහ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රට පුරා සුනඛයන් එන්නත් කිරීමේ ජාතික වැඩ පිළිවෙලකට අවතීර්ණ වීම පමණි. ඒ සඳහා අවශ්‍ය ජලභීතිකා සුනඛ එන්නත් මේ වන විට ද අප සතුව ඇති අතර සිදුකළ යුත්තේ ඒ සඳහා විධිමත් යාන්ත්‍රණයක් සැකසීම පමණි.
සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
දයා අමරසේකර