සුනඛයන් තරමටම නැතත් බළල්ලුත් නුවණක්කාරයෝ සුරතලයට ඇති කරන සතුන් අතරින් සුනඛයන්ට වගේම ප්රමුඛස්ථානයක් බළලුන්ටත් හිමි වෙනවා.
පිරිමදිනවිට මහත් සුවයක් දැනෙන සිනිඳු ලොම්, අමුතුම ලතාවකින් යුතු ගමන, දඟකාර හැසිරීම් ආදිය නිසා කුඩා දරුවන්ගේ සිට සතුන්ව ප්‍රිය කරන වැඩිමහල්ලන් දක්වාම බළලුන්ට බොහෝ සේ ආදරය කරනවා.නමුත්,කුඩා දරුවන් නිතරම බළලුන්ගේ සැපීම් සහ සීරීම් වලට ලක් වන බවට නම් බොහෝ දෙනෙකු පැමිණිලි කරනවා.
ක්ෂණයකින් හැසිරීම් වෙනස් කර ගැනීමත් ඉක්මනින්ම කෝප ගැන්වීමත් බළලුන්ටම ආවේණික චරිත ලක්ෂණ අතුරින් එකක්.
සුනඛයන්ට තරමටම බුද්ධියක් නැති වුණත් බළලුන්ටත් අප කරන කියන යම් යම් දේවල් වටහා ගන්න පුළුවන්. එකම වයසේ බළලුන් කිහිප දෙනෙකු ඇතිකරන නිවසක ඒ බළලුන්ට වෙන් වෙන්ව නම් යෙදූ විට කලක් ගත වෙද්දී තමන්ගේ නම හඳුනාගන්න බළලාට හැකියාව තිබෙනවා. ඒ වගේම බළලා අකමැති දෙයක් අපි ඌට කළොත් ඒකත් මතක තියාගන්නවා.
උදාහරණයක් විදිහට බළලාට අසනීප වූ විටකදී දින කිහිපයක් එක දිගට බෙහෙත් විදින්න පශු වෛද්‍යවරයා නියම කළොත් පළමුවෙනි දෙවැනි දවස් දෙකේ ඔබට ඌව රැගෙන යන්නට හැකි වේවි. තුන්වෙනි දවසේ ඒ වෙලාවට බළලා ආගිය අතක් සොයා ගන්න බැරි වන්නේ මේ වෙලාවේ තමන්ගේ ශරීරයට වේදනා දෙන දෙයක් සිදුවන බව බළලාට මතක තියෙන නිසයි.
ඒ වගේම ඔබ ඒ ගමන යන විට බළලාව දමා ගෙන බෑගය ඌට මාස ගණනකට පසුව වුවත් හොඳ හැටි මතක හිටිනවා. ඒ අනුව ඒ බෑගය වෙන වුවමනාවකට අතට ගත්තත් බළලා ඔබව මග හැර පැන දුවන්නට පුළුවන්.
ඒ වගේම ඔබ බළලාට කෑම බීම දෙන රටාවත් ඌට හොඳට මතකයි. නිදසුනක් ලෙස ඔබ උදය කාලයේ නිවසේ වැඩ අවසන් කර දිය නා පිරිසිදු වී කෑම කා බළලාට කෑම දෙනවා යැයි සිතමු. ඔබ දිය නා සේදූ ඇඳුම් එළියේ රෙදි වැලට දමන්නට ගිය මොහොතේ සිටම බළලා ඔබ ගැන සෝදිසියෙන් ඔබ පසුපසම එහාට මෙහාට යන අයුරු ඔබට නිරීක්ෂණය කළ හැකි වේවි.
අනෙක් සතුන්ට සාපේක්ෂව බළලා පිරිසිදුව ඉන්න කැමති සතෙක්. බොහොම පුංචි කෑමක් කෑවත් එය කෑ විගස ම තමන්ගේ ශරීරය ලෙව කා ගනිමින් පිරිසිදු කරගන්නවා. ලෙව කා ගන්න බැරි හිස මුදුන වගේ තැන් පිරිසුදු කර ගන්නේ අත්ලට කෙළ ගා තෙමා ඒ අත්ල හිස මුදුනේ අතුල්ලා ගනිමිනුයි. එපමණක් නොවෙයි, බළලා මේ කාර්යය කරගන්නා විට ඒ අසල ඔබ සිටියොත් උගේ සිරුර පිරිසිදු කරගන්නා ගමන් ඔබේ අතක් හෝ පයක්ද එලෙස පිරිසිදු කරන්නට ඌ පසුබට වන්නේ නෑ.
ඒ ඌ තමන්ගේ පවුලේ අයට දක්වන හිතවත්කම මත සිදුවන්නක්. ඉතාම කුඩා කාලයේ පටන්ම මෙසේ සිරුර පිරිසිදු කර ගැනීමේ පුරුද්ද බළලාට ජාන මගින්ම හිමි වී තිබෙනවා.
වියළි කාලගුණික තත්වයන් යටතේ ඔබට ඔබේ බළල් සුරතලා නාවා පිරිසිදු කරන්නට වුවමනා නම් එහි ඇති වරදක් නෑ. නමුත් දිනපතා නාවන්න අවශ්‍ය නෑ. සුනඛයන් මෙන් බළලුන් ද සතියකට දිනක් නෑවීම ප්‍රමාණවත්. මෙහිදී හොඳින් හිරු එළිය පවතින උදේ වරුවක බළලා නෑවීම සුදුසුයි.
සාමාන්‍යයෙන් බළලුන්ට දිනකට කෑම වේල් දෙකක් දීම ප්‍රමාණවත්. නමුත් වැඩුණු බළලුන්ට කිරි අවශ්‍ය නෑ .උන් පිරිසිදු වතුර බොන්න කැමතියි. සුනඛයන්ට වගේ ශීඝ්‍රයෙන් මැක්කන් වැනි සතුන් බළලුන්ට බෝවෙන්නේ නැතත් ඉඳහිට බළලුන්ගේ සිරුරේ ද මැක්කන් දැකිය හැකියි. නමුත් සුනඛයන් සඳහා යොදන බෙහෙත් වර්ග බළලුන්ට දැමීම නම් කොහෙත්ම සුදුසු නෑ.
ඒ ඔවුන්ට එම රසායනික ද්‍රව්‍ය ඉතා අහිතකර වී මරණය පවා සිදු වන්නට ඉඩ ඇති නිසයි. එබැවින් බළලුන්ට මැක්කන් වැනි සතුන් බෝ වී සිටියොත් පශු වෛද්‍යවරයකුගේ උපදෙස් මත ප්‍රතිකාර කළ යුතුයි. එසේම පැරසිටමෝල් සහ ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ බළලුන්ට ඉතා විෂ සහිතයි. එමඟින් බළලුන් මිය යාමට තිබෙන ඉඩකඩ ඉතා වැඩියි.
බළල් ගැහැනු සතුන් මාස හයේදී පරිණතභාවයට පත් වෙනවා. ඒ කාලයේදී තමයි ඔවුන්ගේ ප්‍රජනන සමය ආරම්භ වෙන්නේ. ඉන් පසු මාස තුනකට වතාවක් ප්රජානන සමය ඇති වන අතර ඒ කාලයේ උන් පිරිමි සතුන් හා එක් වීම සිදුවෙනවා.එනිසා ඔබ බළල් ගැහැනු සතකුගෙන් පැටවුන් අපේක්ෂා කරන්නේ නැත්නම් උගේ වයස මාස පහේදී වඳ සැත්කමකට භාජනය කරවීම සුදුසුයි.
පිරිමි සතුන් ප්‍රජනන සමයේදී බොහෝ සෙයින් අයාලේ යනවා .ඒ වගේම අනෙක් පිරිමි සතුන් සමග පොර කා ගනිමින් බොහෝ තුවාල ද සිදු කර ගන්නවා. මේ හැම දේටම වඩා බොහෝ දෙනෙක් ප්‍රිය නො කරන්නේ මේ කාලයට බළලුන් ගෙවල් අවට සහ වහලවල් උඩ සැරිසරමින් මහ හඬින් නගන අමිහිරි නාදයටයි.
එපමණක් නොවෙයි ඇතැම් විට ප්‍රජනන සමයේදී ගැහැනු සතුන් සිටින නිවෙස්වලට ගොස් ලැගුම් ගැනීමට ද ඉඩ තිබෙනවා. එවිට ඔබේ සුරතලා ඔබට අහිමි වී යන්න පුළුවන්. මේ සියලු තත්ත්වයන් වළක්වා ගත හැකි පහසු ක්‍රමයක් වන්නේ පිරිමි සතුන් ද වඳ සැත්කමට භාජනය කරවීමයි. එවිට ඌ නිවසේ වැඩිපුර රැඳී සිටින්නට පෙළඹේවි.
බළලුන් තමන්ගේ හාම්පුතාගේ ආදරය වගේම අවධානය ලබන්නටත් බොහෝ සෙයින් කැමතියි. නමුත් ඔවුන්ගේ ඉරියව් ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වගේම ඔවුන්ට හරි ඉක්මනට කේන්තිත් යනවා. ඒ නිසා ඔබ ඕනෑවට වඩා ඔබේ බළලා අතගාන්නට ගියොත් ඒක හිරිහැරයක් විදිහට ඌට දැනෙන්නට ඉඩ තිබෙනවා.
එවිට ඔබ සැපීමට හෝ අතේ නියපොතු වදින අන්දමින් පහර ගැසීමට හෝ ඌ පසුබට වන්නේ නෑ. කොහොම වුණත් තමන් ඕනෑවට වඩා අතපත ගානවාට මිරිකනවාට බළලා කොහෙත්ම කැමැති නෑ.
ඒ නිසා නිතර වඩා ගන්නට මිරිකන්නට පෙළඹෙන විට ඔබව සූරන්නට සපාකන්නට ඌ පසුබට නොවේවි. පුංචි ළමයින් නිතරම බළලුන්ගේ සීරීම් වලට භාජනය වන්නේ මෙන්න මේ හේතුව නිසයි.
( පශු වෛද්‍ය එස්. එස්. බී. දිසානායක මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි.)
ඉන්දු පෙරේරා