තමන් ඇති දැඩි කරන සතුන් පමණක් සතුන් ලෙස සිතන සෙසු සියලුම සතුන්, යකුන් ලෙස දකින සමාජයක සත්ව කරුණාව උඩු සුළඟේ ගසාගෙන යාම අරුමයක් නොවේ. නමුත් සතුටට කරුණ වන්නේ තවමත් සැබෑ සත්ව කරුණාව හඳුනන මිනිසුන් සමාජය තුළ විරලව හෝ දකින්නට ලැබීම ය. මේ කතා කරන්නට යන්නේත් එවැනි සැබෑ ම මිනිසකු පිළිබඳව යි.
ඔහු නිහාල් රත්නායක ය. බදුල්ල නගරයේ ජීවත් වන බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ ෆොටෝ නිහාල් ලෙසිනි.
* නිහාල් බදුල්ලෙ කොහෙද පදිංචිය?
මං ඉපදුණු හැදුණු වැඩුණු ගෙදර තියෙන්නේ බදුල්ල කොළඹ පාරේ පින්අරාවේ. දැනටත් ඒ ගෙදර මගේ අම්මා සහ නංගි කෙනෙක් පදිංචිව සිටිනවා. මගේ පියා ජීවතුන් අතර නෑ. එක නංගි කෙනෙක් විවාහ වෙලා. මම සෑහෙන කලක ඉඳලා පදිංචි වෙලා ඉන්නේ වෙනම.
* නිහාල්, ෆොටෝ නිහාල් වුණේ කොහොමද?
මම වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්. ඒ නිසාම තමයි මම බදුල්ල නගරයට ආසන්නයේ දිගටම ජීවත් වුණේ.
* නිහාල් විවාහකද?
නෑ
* අසරණ සතුන්ට දක්වන කරුණාව ඔයාගේ ළමා වියේ ඉඳලම පැවතුණු දෙයක් ද?
ඒක අපේ පවුලෙන්ම මට ලැබුණු දෙයක්.මගේ අම්මා තාත්තාත් සතුන්ට හරිම කරුණාවයි. අපි පුංචි කාලේදිත් පාරවල්වල අසරණ කරලා දමා ගිය සුනඛයන් 10ක් 15ක් පමණ අපේ ගෙදර සිටියා. ඒ ආභාෂය මට ළමා කාලයේ ඉඳලාමයි ලැබුණේ.
* දැන් ඔයා තනිව ජීවත් වෙමින් සුනඛයන් කී දෙනෙකු පමණ ඇති දැඩි කරනවාද?
මම ජීවත්වෙන ගෙදර සුනඛයන් 30 ක් පමණ සිටිනවා. ඒ හැරුණු විට බදුල්ල නගරයේ ජීවත් වෙන අයාල සුනඛයන් 30 කට 40 කට පමණ මම දිනපතා කෑම දෙනවා. හරියටම කිව්වොත් සුනඛයන් 60ත් – 70ත් අතර ප්‍රමාණයකට මම දිනපතා කෑම ලබා දෙනවා.
* නිහාල් දැන් නතර වී සිටින්නේත් බදුල්ල නගර නගරාසන්නව ද?
නැහැ. නගරයට කිලෝමීටර් 4ක්, 5ක් පමණ දුරින් . මම කොහේ හිටියත් මං ඉන්නෙ ගෙදර සුනඛයන් 10ක් 15 ක් පමණ අනිවාර්යෙන් සිටියා. ඒ හැමෝම පාරවල්වල අසරණ ලෙස දමා ගිය අය. මේ සුනඛයන්ට ආරක්ෂා සහිතව සිටීමට අවශ්‍ය නිසාත්, මිනිසුන්ව සුනඛයන්ගෙන් ආරක්ෂා කරගත යුතු නිසාත් මම හැමදාම හිටියේ වටේට තාප්ප බැඳපු ගෙවල්වල. නමුත් සුනඛයන් බුරන එක මට පාලනය කළ හැකි දෙයක් නොවෙයි.ඒ නිසා අසල්වැසියන්ගෙන් මට හැමදාම ප්‍රශ්න ඇති වුණා. මේ හේතුව නිසා මට ගෙවල් කීපයක් ම වරින් වර මාරු කරන්න සිදුවුණා. නමුත් දවසින් දවස සුනඛයන් වැඩිවෙද්දී අන්තිමට අසල්වැසියන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැමිණිලි කිරීම හේතුවෙන් මට ජනාකීර්ණ නොවන ස්ථාන සොයාගන්න සිදුවුණා. එක පාරක් මෙහෙම ගෙවල් මාරු කරන්නට සිදු වූ අවස්ථාවකදී මගේ කැමරා ආම්පන්න පවා නැති වුණා.
* දැන් නිහාල් ඉන්නේ සතුන්ට කරදරයක් නැති තැනකද?
කන්දක ඉඩමක් මට නොමිලේ ලැබුණා. ඒකෙ පොඩි මඩුවක් තමයි තිබුණේ. මං එතැන ඉඳගෙන වරිච්චි බිත්ති බැඳලා පොඩියට ගෙයක් හදාගත්තා. කරන්ට් එකවත් වතුරවත් නෑ. ඒත් අලුත්ම තත්ත්වය තමයි එතනත් මට මිනිස්සු ඉන්න දෙන්නේ නෑ. සමහරු හිතන්නේ අපි මෙහෙම අසරණ සත්තු ඇති කරන කොට අපිට පිටරටවල්වල රාජ්‍ය නොවන සංවිධාන හරහා විශාල වශයෙන් මුදල් ලැබෙනවා කියලා. මම ඒ අයට පැහැදිලි කරල කිව්වා මම රෑට සත්තුන්ට කෑම දෙන්න කිලෝමීටර් හතරකට වැඩි දුරක් පයින් ඇවිදිනවා. රෑ නමයට විතර කෑම දෙන්න පටන් ගත්තට පස්සේ මම සත්තුන්ට කෑම බීම දීලා අවසන් කරලා ගෙදර එනකොට රෑ 12 විතර වෙනවා මේ තරම් දුක් විඳින්න ඕනේ නෑනේ මට පිටරටින් සල්ලි ලැබෙනවා නම්. එහෙම නම් අඩුම තරමින් මෝටර් සයිකල් කට්ටක් හරි ගන්න පුළුවන්කමක් ලැබෙනවානේ. දැන් මට එහෙම දෙයක්වත් නෑ. මං ඔහොම පැහැදිලි කරලා දුන්නත් ගොඩක් මිනිස්සු ඒවා පිළිගන්න කැමති නෑ.
* දැන් ඔයා කොහෙටද යන්න හිතාගෙන ඉන්නේ ?
ඒ කන්දෙම තව ටිකක් පහළට වෙන්න මට පරණ ගෙයක් කුලියට හම්බවුණා. ඒකෙ නම් ලයිට් වතුර තියෙනවා. ළඟදිම ඒ ගෙදරට එන්න හිතාගෙන ඉන්නවා.
* ඔයා මේ තරම් සතුන් ප්‍රමාණයක් නඩත්තු කරන්නේ කොහොමද?
ඒක තමයි මට තියෙන ලොකුම අභියෝගය. හෝටල් දෙකක රෑට ඉවත් කරන කෑම ලොකු බාස්කට් දෙකක් මට දිනපතා රෑට ලැබෙනවා. ඒ වගේම හෝටල්වලින් අයින් කරන මස් මාළු ආදියෙන් 8 ඉතිරිවන කොටස් ද මට ලැබෙනවා. ඒවා එකතු කර මම ගෙදරත් සතුන් වෙනුවෙන් දිනපතා කෑම පිසිනවා. මේ විදියට තමයි මම සතුන් 60 කට 70 කට දිනපතා ආහාර ලබා දෙන්නේ.
* රෝගී වුණු සතුනුත් ඉන්නවා ද ?
අපොයි ඔව්. මේ දවස්වල පාවෝ කියන ලෙඩේ හැදිලා කීපදෙනෙකුටම. තව කීප දෙනෙක් ඒ ලෙඩේ නිසා මැරුණා. කොච්චර ප්‍රතිකාර කළත් බේරගන්න බැරිවුණා. දවස ගාණෙ මං ඩොක්ටර් ගාවට එක්ක යනවා. ඩොක්ටර් මට අනුකම්පා කරනවා. දැන් මේ වෙනකොට මම ඩොක්ටර්ටත් රුපියල් පන්දාහකට වඩා ණයයි. ත්‍රීවීලර් එකටත් තුන්දාහට වඩා ණයයි. ඒ විතරක් නෙමෙයි තව අසනීප සත්තු ඉන්නව. ඒ හැමෝම ගැන බලන්න එපායැ
* එයාලට මොනව වෙලාද?
එක්කෙනෙක් ඉන්නවා එයා බදුල්ල ටවුන් එකේ හිටපු සුනඛ පිරිමි සතෙක්. මම සෑහෙන කාලෙක ඉඳලා එයාට කෑම දෙනවා. දවසක් මහ රෑ එයා පාරෙ නිදාගෙන ඉන්නකොට වාහනයක් එයාගෙ ඇඟ උඩින් ගිහින් කොන්ද කැඩිලා. ඒ ළඟ හිටපු සිකිරියුටි කෙනෙක් ඒක දැකලා මට කිව්වට පස්සෙ මං එයාව ඩොක්ටර් ගාවට එක්කරගෙන ගිහින් ප්‍රතිකාර කළා. එයාගෙ කොඳු ඇට පෙළට හානි වෙලා නිසා එයාට නැගිට ගන්න බෑ. ඒ අනතුරෙන් පස්සේ මම එයාව පාරේ තිබ්බෙ නෑ. මගේ ගෙදර තියාගෙන ඒ අසරණ සතාට මම සත්කාර කරනවා. එයාට මල මුත්‍රා පිටවෙන්නේ හිටි තැනමයි. ඒ සේරම අයින් කරලා එයාව දවස ගානෙ පිරිසිදු කරනවා. මුත්‍රා පිට කරන කොට එයාට වේදනාවක් දැනෙනවා ඇති. හරිම අමුතු විදිහට කෑගහනවා. ඒ වෙලාවට එයාට පහසු වෙන්න බඩ තද කරමින් උදව් කරන්න ඕනෙ. ඒ සතා විඳින දුක මට බලා ඉන්න බැරි තරම්. ඒත් මොනවා කරන්නද? එයා ජීවත් වෙලා ඉන්න තුරු මම මට පුළුවන් උපරිමෙන් සත්කාර කරනවා.
* එයා කෑම කනවද ?
බොහොම ටිකක් තමයි කන්නේ. හැමදාම උදේට කිරි එකක් බොනවා.
* නිහාල් මේ කරන සද්කාර්ය වෙනුවෙන් උදව් කරන්න කෙනෙක් නැද්ද ?
ඉඳහිට උදව් කරන අය නැතුවා නෙමෙයි. ඒත් මම ගොඩක් අයගෙනුත් ඉල්ලලා තමයි මේ සතුන්ට
සලකන්නේ.
* නිහාල් මේ සතුන් වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?
දුර පළාතකින් අක්කරයක දෙකක පමණ ඉඩමක් ලැබෙනව නම් මං කැමතියි වගා කරන්න. එතකොට සත්තු ටිකත් බලාගෙන ඉඩමෙන්ම ආදායමක් උපයල එයාලව මට නඩත්තු කරන්න පුළුවන්. එහෙම වුණොත් මට කාටවත් අත පාන්න ඕනෙ නෑ. දැන් මං මේ සත්තුන්ගෙ ජීවිත රැකල දෙන්න ලොකු පරිශ්‍රමයක් දරනව. ඒ අතරේ විවිධාකාර මිනිසුන්ගෙන් ලැබෙන නින්දා අපහාස, රැවුම් ගෙරවුම් කෙළවරක් නෑ. ඒ සේරම දරා ගෙන ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන්නෙ මං අහක බැලුවොත් මේ අසරණයො බඩගින්නෙ මැරිල යන නිසා.
අසරණ සතුන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවී කටයුතු කරන නිහාල් රත්නායක මහතාට කිනම් අයුරකින් හෝ උපකාරයක් කර එම අසරණ සුනඛයන්ට පිහිටක් වීමට ඔබ කැමති නම් ඔහුගේ දුරකථන අංකයට කතා කරන්න. 077 0 150 250
ඉන්දු පෙරේරා