සුනඛ ඇසුරින් මිනිසාට උතුම් මිනිස් දම් වඩවා ගත හැකි බව දන්නවාද?

කලකට ඉහතදී ඇමරිකාවේ සුරතලයට සුනඛයන් ඇති කරන අය සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකින් පහත සඳහන් කරුණ හෙළි වී තිබුණා. එනම් විවාහක කාන්තාවන්ගෙන් 54% ක්ම කියා ඇත්තේ තමන්ගේ සැමියාගෙන් ලැබෙන ආදරයට වඩා ආදරයක් සහ කරුණාවක් තම සුරතල් සුනඛයාගෙන් ලැබෙන බවයි. මෙහිදී විවාහක පිරිමින්ගෙන් 46% ක්ම තමන්ගේ සහකාරිය ට වඩා වැඩි විශ්වාසයක්, සහකාරියගෙන් ලැබෙන ආදරයට වඩා ආදරයක් තම සුරතල් සුනඛයාගෙන් ලැබෙන බව පවසා තිබුණා.

මේ අනුව බොහෝ මිනිසුන්ට තනිකම සහ පාළුව මකා ගන්නත්, නොවෙනස් ආදරයක් ලබන්නත් සුරතල් සතුන්ගෙන් විශාල මෙහෙයක් සිදුවෙන බව පැහැදිලි කරුණක්. එයට මූලිකම හේතුව වන්නේ සතුන් තමන්ගේ හාම්පුතුන්ට ආදරය දක්වන්නේ කොන්දේසි විරහිතව වීමයි. මෙය මිනිසාගෙන් මිනිසාට නොලැබෙන තත්ත්වයක්.

අප ⁣මේ කතා කරන්නේ සුරතල් සතුන් ඇති කිරීමෙන් ලැබෙන ඔබ නොසිතන වාසි පිළිබඳවයි.

සුරතල් සතුන් නිසා ලද හැකි ලොකු වාසියක් වන්නේ මානසික ආතතිය දුරු වීමයි. ඔබ ඉතා වැඩ අධික කෙනෙක් නම්, ඒ නිසාම නිතර නොසන්සුන් මනසකින් පසුවන්නේ නම් මොහොතකට එයින් මිදී නිවසේ ඇති දැඩි කරන සුරතල් සතා සමග ගත කරන්න.

නැතහොත් උගේ ක්‍රියාකාරකම් දෙස බලා සිටින්න. ඔබේ සිත ඇතුළේ තිබෙන තද ගතිය, බර ගතිය බොහෝ දුරට ලිහිල් වී යන ආකාරයක් එහි දී ඔබට දැනේවි. සතුන් තමන්ගේ හාම්පුතුන්ට කොන්දේසි විරහිතව ආදරය දක්වන බව ඉහත සඳහන් කළා .ඒ නිසා ඒ සතාට මඳක් ආදරය කර පෙන්වන්න.

ඌ ඔබට බොහෝ ආදරය දෙනු ඇති. මේ ආදරය තුළින් සහ උගේ ක්‍රියාකාරකම් දෙස හොඳින් බලා සිටීමෙන් ඔබේ ආතතිය දුරු වන්නේ ඉබේමයි.

ඒ වගේම මෙම සතුන් ඔබට විනෝදය ලබා දෙමින් ඔබ තුළ සතුට ඇති කරවනවා. සුරතලා සමග ගත කිරීමෙන් විනෝදය හා සතුට ලැබෙන විට ඔබ තුළ ඇති අලස බව සහ කනස්සල්ල වැනි දේවල් ඉවත් වන්නේ ඉබේමයි.

ඒ අනුව ඔබ උද්යෝගිමත් පුද්ගලයකු බවට නිතැතින්ම පත් වෙනවා. මේ නිසා අධික රුධිර පීඩනය සහ හෘද රෝග ඇති අයට සුරතල් සතුන් ඇති කිරීම ඉතා හිතකරයි. ඒ සුරතල් සතුන්ගේ ඇසුර මගින් මානසික ආතතිය දුරු වන නිසයි. රෝහල්වල හෘද රෝග වාට්ටුවල බොහෝවිට විසිතුරු මාළුන් සහිත ටැංකි තබා තිබෙන්නේ එම රෝගීන්ගේ මානසික ආතතිය සමනය කිරීම සඳහායි.

අපට ආරක්ෂාවක් නෑ කියලා කෙනෙකුට සිතෙනවා නම් එය ද මානසික ආතතිය ඇති කරවන කාරණයක්. සුනඛයකු ඇති කිරීමෙන් අපට ආරක්ෂාවක් ද සැලසෙනවා .ඒ සුරක්ෂිතභාවය පිළිබඳ හැඟීම මානසික සුවය ඇති කරන ප්‍රධාන සාධකයක්. එම හැඟීම ම කෙනකුට සුව නින්දක් ලබන්න හේතු වෙනවා.

සුරතල් සතුන් නිසා අප තුළ ක්‍රියාශීලී බවක් ද ඇති වෙනවා. සතා නිසා අප තුළ වගකීමක් පිළිබඳ හැඟීමක් ඇතිවන අතර උගේ වැඩ කරන්නට අවශ්‍ය බැවින් උදෙන් නැගිටින්නට සිදුවීම, සතා වෙනුවෙන් දවසේ යම් කාලයක් වැය කරන්නට සිදු වීම වැනි දේවල් නිසා මෙම ක්‍රියාශීලී බව ඇති වන්නේ ඉබේමයි. එසේම ඔබේ සුරතලා සුනඛයෙක් නම් ඔබට ඒ සතා සමඟ ඇවිදින්නත් සිදු වේවි. එවිට ඔබට ඉබේම ව්‍යායාමයක් ද ලැබෙනවා.

ඔබ නිවසේ හුදෙකලාව ජීවත්වන කෙනෙක් නම් මෙසේ නිවසින් පිටතට යන විට ඉබේම සමාජ සම්බන්ධතා ද ගොඩ නැගෙනවා. වැඩිහිටියන්ට මෙවැනි සමාජ සම්බන්ධතා මානසික සුවය ඇති කරවන කාරණයක්. වැඩිපුරම මේ අවස්ථාව ලැබෙන්නෙ සුනඛයන් ඇති කරන තවත් අය ඔබට මුණ ගැසෙන නිසා ඔවුන් සමග කතාබහ කරන්නට අවස්ථාව සැලසීම තුළිනුයි.

වියෝ දුක අඩු කරන්නට සුරතල් සතුන් වෙතින් ලැබෙන පිටිවහල ඉතා විශාලයි. තමන්ගේ සහකරු හෝ සහකාරිය එහෙමත් නැත්නම් වෙනත් සමීපතමයකු මිය ගිය අවස්ථාවක නැතහොත් වෙන්වී ගිය අවස්ථාවක විශාල වියෝ දුකක් ඇතිවීම ස්වභාවයක්. මේ වියෝදුක තමාට හිතවත් සුරතල් සතෙකු තමන් සමීපයේ සිටීමෙන් අඩු වන බව පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. ඊට හේතුව තමන්ට ආදරය කරන කෙනෙක් තව සිටින බවට මනසට තහවුරු වීමෙන් දැනෙන සුරක්ෂිතභාවය යි.

කුඩා දරුවන් තුළ ආදරය, කරුණාව, ඉවසීම වැනි ගුණ ධර්ම ඇති වන්නේ මෙන්න මේ ආකාරයටයි. කුඩා දරුවා තවත් එවැනි දරුවකුට ආදරය කළොත් ඇතැම් විට ඒ දරුවා පෙරළා ආදරය කිරීමෙන් වැළකී ඔහුව නොසලකා හැරීමට පුළුවන්. එවිට ඒ අනෙක් දරුවා තුළ දුක, තරහ වැනි හැඟීම් ඇතිවෙනවා. නමුත් සුනඛයකුට ආදරය කිරීමෙන් ඒ සතාගෙන් පෙරළා ආදරය ලැබෙනවා .ඒ ආදරය හරහා දරුවා ආදරය ගැන ඉගෙනගන්නවා.

සතාට රිදෙව්වොත් ඒ සතාගේ මුහුණින් හා ප්‍රතිචාර මඟින් එය පළවෙනවා. එවිට සතාට රිදුණු බව දරුවා දැනගන්නවා. කවුරුන් හෝ තමන්ට පහර දෙන විට රිදෙනවා වගේ අනිත් අයට පහර දුන්නත් රිදෙන බව තහවුරු කර ගැනීමෙන් පසු දරුවා තුළ කරුණාව නැමති ගුණාංගය වර්ධනය වෙනවා.

සතා සමඟ කාලය ගත කිරීමෙන් දරුවා සහයෝගයෙන් ජීවත් වීමේ කලාව ඉගෙන ගන්නවා.සතා සමඟ කටයුතු කිරීමේ දී මූලික නායකත්ව පුහුණුවක් ද ලබා ගන්නවා.

සතාගෙ වැඩකටයුතු වලින් සමහරක් ඒවා දරුවාට ද පැවරෙන නිසා දරුවා තුළ වගකීම පිළිබඳ හැඟීම් වර්ධනය වෙනවා. මෙය දරුවාගේ කුසලතාවන් වැඩි වීම පිණිස ද ඉවහල් වන්නක්.

දරුවාගේ තනිකම පාළුව නැති කරන්න සුරතල් සතුන්ගෙන් ලැබෙන පිටිවහල විශාලයි. මෙය දරුවාගේ සුවපත් මානසික වර්ධනයට විශාල රුකුලක්. ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් සතුන් නිසා ලැබෙන මානසික සහනය විශාලයි. තමන්ගේ ස්වාමියා මොන තත්වයෙන් සිටියත් සතාගේ ආදරය පලුදු වන්නේ හෝ වෙනස් වන්නේ නෑ.

විශේෂයෙන් සුනඛයන් තමන්ගේ ස්වාමියා කොහේ හෝ යන විට මගට ඇරලවා ආපසු එන තුරු බලා හිඳ වලිගය වනමින් පෙරමඟට පැමිණ ආදරය පෑම වැනි දේවල් මිනිසුන්ගේ ආතතිය දුරු කරන්නට හේතු වෙනවා .එසේම සුරතල් සතා පෙර මග බලා හිඳින බව දන්නා නිසාම වේලාසනින් ගෙදර එන වැඩිහිටි පුද්ගලයන්ද මේ අතර අපට හමු වී තිබෙනවා. “කවුරු නැති වුණත් මගේ බල්ලා මා එනතුරු පෙරමඟ බලා ඉන්නවා” යන හැඟීම ම වැඩිහිටියකු තුළ මානසික සුවතාවය ඇති කරන්නට විශාල රුකුලක් ගෙන දෙනවා .

සාමාන්‍යයෙන් සුනඛයන්ට සමීප වන විට නිතර ඔවුන් සමග කතා කරන විට ඌට ඔබ සමඟ කතාබහ කිරීමට නොහැකි වුවත් ඔබ කියන දේවල් යම් ප්‍රමාණයකින් හෝ වටහා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබ කියන දේ අහන්න කිසි කෙනෙක් නැති වුණත්, ඔබ ගැන පවුලේ කාගෙවත් තැකීමක් නැති වුණත් ඔබේ සුරතල් සුනඛයා ඔබ කියන දේ අසා සිටින නිසා “මට කවුරුවත් නෑ” කියන හැඟීම ඔබ තුළින් බොහෝ දුරට සමනය වීම සිදුවෙනවා.

තමන්ට කවුරුවත් නෑ කියන හැඟීම ඕනෑම කෙනෙකු තුළ විශාල මානසික ආතතියක් ඇති කරවන්නක්. ඒ තත්ත්වය නැති කරන්න ඔබේ සුරතලා ඔබට උදව් වනු ඇති .

සිරකරුවන් තුළ හික්මීම සහ කරුණාව වැනි යහපත් ගුණාංග ඇති කරන්නට දියුණු රටවල් සුනඛයන් යොදා ගන්නවා . ඒ සුනඛයකු භාර දී ඌව රැක බලා ගැනීමට, ඇසුරු කිරීමට ඉඩ සැලැස්වීම තුළිනුයි.

මිනිසුන්ට සතුන්ගෙනුත් බොහෝ⁣ දේ ඉගෙන ගැනීමට තිබෙන බව මින් පැහැදිලි වෙනවා.ලෝකයේ බොහෝ රටවල පොලිස් නිල සුනඛ රාජකාරී කරන නිලධාරීන් තුළ සෙසු නිලධාරීන්ට සාපේක්ෂව ආදරය,කරුණාව වගේ උතුම් මානුෂීය ධර්ම වර්ධනය වී ඇති බව පර්යේෂකයන් අනාවරණය කර ගෙන තිබෙනවා.ඒ අනුව අපට කීමට හැක්කේ සුනඛයන් ගෙන් මිනිසාට උතුම් මිනිස් දම් පවා ප්‍රගුණ කළ හැකි බවයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමී රූබන්

ඉන්දු පෙරේරා

 

සතුන්ටත් හිමි අපේ ලෝකය