සුනඛ සුරතලුන්ට සමේ රෝග හට ගැනීමට විවිධ හේතු බලපානවා. මේ කතා කරන්නේ එවැනි සමේ රෝග සමේ රෝග කිහිපයක් ගැනයි.
මෙයින් එක් සුලබ රෝගයක් වන්නේ මයිටාවන් නිසා හට ගන්නා සමේ රෝගයයි. මුලින්ම මෙය සතුන්ගේ කන් ආශ්‍රිතව ඇතිවී ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් මුළු සිරුර පුරාම ව්‍යාප්ත වෙනවා.
එසේම සුනඛයන්ගේ සිරුර දැඩි සේ ග්‍රහණය කරගෙන සිටින කිනිතුල්ලන් අතින් ඇද කඩා දමන විට එම පරපෝෂිතයන්ගේ ශරීර කොටස් සුනඛයාගේ සමේ ඉතිරි වෙමින් කැඩී යන අවස්ථා තිබෙනවා. මෙසේ ඉතිරිවන කොටස් හේතුවෙන් සුනඛයාගේ සමේ අසාත්මිකතාවයන් හට ගැනීමට පුළුවන්.
සුනඛයන්ට දෙනු ලබන නොයෙක් ඖෂධ හේතුවෙන්ද සමේ අසාත්මිකතාවයන් හට ගත හැකියි. එලෙස අසාත්මිකතාවයන් හට ගත් විටදී සමේ රත් පැහැ බිබිලි හටගැනීම, සිරුරේ ඉදිමීමක් ඇති වීම බොහෝ විට දැක ගත හැකි ලක්ෂණ යි. මෙම බිබිලි කැසීම නිසා ඒවා තුවාල බවට පත්වී තත්ත්වය තවත් බරපතළ විය හැකි බැවින් මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබාදීම සුදුසුයි.
ලැබ්රඩෝ වැනි විශේෂිත වර්ගවල සුනඛ සුරතලුන් අතර තයිරොක්සින් හෝමෝන ඌනතාවය හේතු කොට ගෙන හටගන්නා චර්ම රෝගී තත්ත්වයක් ද තිබෙනවා. මෙය කසන සුළු ස්වභාවයකින් යුතුයි. බොහෝ විට සුව නොවන සමේ රෝගයක්. මෙම රෝගයේ ඇති විශේෂත්වය නම් සිරුර දෙපසෙහිම එකම ආකාරයකට හට ගැනීමයි. වලිගය ආශ්‍රිතව මෙම තත්ත්වය විශේෂයෙන් දැකගත හැකියි. හෝමෝන අසමතුලිතතාවයක් හේතුවෙන් හටගන්නා මෙම සමේ රෝගය රුධිර පරීක්ෂණයක් මගින් නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කරා යොමු වීමෙන් රෝගය පාළනය කර ගන්න පුළුවන්.
සුනඛ සුරතලුන්ට වැළඳෙන රිංවෝට් නමින් හැඳින්වෙන දිලීර රෝග තත්ත්වය පිළිබඳව සතුන්ගේ හිමිකරුවන්ට ද විශේෂයෙන් ප්‍රවේශම් වන්නට සිදුවෙනවා. ඒ, එම රෝගය සතුන්ගෙන් මිනිසුන්ට ද බෝවිය හැකි නිසයි. මයිටා ආසාදන මෙන්ම පණුහොරි නමින් හැඳින්වෙන රෝගී තත්ත්වයන්ද එම රෝගයෙන් පෙළෙන සතුන් ස්පර්ශ කිරීම නිසා මිනිසුන්ට ද වැළඳිය හැකියි. එබැවින් එබඳු සතුන් ස්පර්ශ කළ පසුව හොඳින් දෑත් පිරිසිදු කර ගැනීමෙන් ඒ තත්ත්වය වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා.
මෙබඳු සමේ රෝග සඳහා බොහෝවිට ඖෂධ වර්ග ලබා දෙන්නේ සුනඛයන්ගේ සිරුරේ බාහිරින් ආලේප කරන්නට යි. එහෙත් එබඳු ඇතැම් ඖෂධ විෂ සහිත විය හැකි නිසා ඒවා ලෙව කෑම හේතුවෙන් සුනඛයන්ට සමේ රෝගී තත්ත්වයට වඩා වැඩි හානියක් සිදු වන්නට පුළුවන් . නමුත් එවැනි විෂ සහිත ආලේපන වර්ගයක් සුනඛයාට ලබාදුන් විට පශු වෛද්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් සුනඛයාගේ හිමිකරුව දැනුවත් කරනවා. එවැනි අවස්ථාවලදී සුනඛයාට එම බෙහෙත් ආලේප කළ පසු ලෙව කෑමට නොහැකි වන අයුරින් එලිසබෙත් කොලර් නමින් හැඳින්වෙන සුනඛයන්ගේ ගෙල වටා යොදන ආවරණයක් හෝ මුඛ ආවරණයක් පැළඳවීම සුදුසුයි.
සුනඛයන් සහ බළලුන් වැනි සතුන් සඳහාම නිර්මාණය වූ මෙම එළිසබෙත් කොලරයට මෙම නම ලැබී තිබීම තුළ තිබෙන්නේත් අපූරු කතාවක්. බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජින අඳිනු ලබන බොහෝ ගවුම් වල ගෙල වටේට විහිදුණු ලොකු කොළරයක් නිර්මාණය වී තිබෙනවා. සුනඛයකුගේ හෝ බළලකුගේ සමේ රෝගයකට බෙහෙත් ගැල්වූ පසු එය ඌට ලෙව කා ගැනීමට නොහැකි වන සේ හිස පිටුපසට හැරවීමට අපහසු වන ආකාරයට ගෙලට පළඳින කොළරයේ හැඩයද මීට බොහෝදුරට සමානයි. ඒ නිසා තමයි ඊට එළිසබෙත් කොලරය යන නම ලැබී තිබෙන්නේ.
මීටම සමහරුන් ලෑම්ප්ෂේඩ් කොලරය යන නමද භාවිතා කරනවා. පුනීලයක් වැනි හැඩයකින් යුතු ඉතා සැහැල්ලු ආකාරයට තුනී ප්ලාස්ටික් හෝ කාඩ්බෝඩ් වැනි අමුද්‍රව්‍යයක් මගින් නිර්මාණය කර ඇති මේ කොලරය මෘදු ඉලාස්ටික් විශේෂයකින් තමයි බෙල්ලට සම්බන්ධ වන්නේ.
පශු වෛද්‍ය ජගත් ජයසේකර
ඉන්දු පෙරේරා