සුනඛ සුරතලුන්ට වගේම බළල් සුරතලුන්ටත් ආහාර අවශෝෂණය නොවන රෝග හටගන්නා අවස්ථා තිබෙනවා. මේ තත්ත්වය හඳුනා නොගෙන ප්‍රතිකාර නොකර සිටීමෙන් ඇතැම් විට මෙම සුරතලුන්ගේ ජීවිත අහිමි වෙන්නටත් බැරිකමක් නෑ.
ආහාර අවශෝෂණය සඳහා අවශ්‍ය කරන එන්සයිම වර්ග නිපදවීමත්, ඒවා අන්ත්‍රවලට ශ්‍රාවය කිරීමත් අග්න්‍යාශයේ කාර්යභාරයක්. කුඩා අන්ත්‍රයට ශ්‍රාවය වන මෙම එන්සයිමවල උපකාරයෙන් තමයි ආහාර ජීර්ණය සිදුවන්නේ. සතා ගනු ලබන ආහාරවල ඇති කාබෝහයිඩ්‍රේට්, මේද සහ ප්‍රෝටීන ජීර්ණය කර අවශෝෂණය කර ගැනීම අග්න්‍යාශයෙන් නිපදවන එන්සයිම මගින් කුඩා අන්ත්‍රයේදී සිදුවෙනවා. මෙය ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක්.
නමුත් මෙම ක්‍රියාවලිය එලෙස සිදු නොවන ආකාරයට අග්න්‍යාශයෙන් නිපදවෙන එන්සයිම නිෂ්පාදනය නොවන්නේ එම එන්සයිම නිපදවන සෛල විනාශ වී යාම නිසයි.
මෙලෙස සෛල විනාශ වන්නේ කවර හේතූන් නිසාද?
ප්‍රධාන වශයෙන් හේතු දෙකක් දැක්විය හැකියි. අග්න්‍යාශයේ පවතින ප්‍රදාහ තත්ත්වයන් එක හේතුවක්. අනෙක් හේතුව නම් ජානමය බලපෑම්. ජර්මන් ෂෙෆර්ඩ් සුනඛ විශේෂය අතර මෙම ජානමය බලපෑම වැඩි බව තහවුරු වී තිබෙනවා. අග්න්‍යාශයේ මෙම ගැටලුකාරී තත්ත්වය පවතින සතුන්ට කොතරම් පෝෂ්‍යදායක ආහාර දුන්නත් ඒවා සිරුරට අවශෝෂණය කර ගැනීමේ හැකියාව නැතිවෙනවා.
දැන් අපි මෙම රෝගයේ ලක්ෂණ මොනවාදැයි සොයා බලමු.
* කොයිතරම් ආහාර ගත්තත් ඒවා ජීර්ණය නොවීම. මේ නිසා මළ සමග ඒවා පිටවීම හේතුවෙන් සුනඛයාගේ ශරීර බර වේගයෙන් අඩු වීම
* දියර ලෙස මළ පිටවීම
* එම මළ නැවත එම සතුන් විසින්ම ආහාරයට ගැනීම
*පෝෂණය නොලැබීම හේතුවෙන් තණකොළ පස් ආදිය පවා ආහාරයට ගනිමින් පෝෂණය ලබා ගැනීමට උත්සාහ කිරීම
මෙම රෝග තත්ත්වය රුධිර පරීක්ෂණ සහ මළ පරීක්‍ෂා කිරීම මගින් පහසුවෙන් හඳුනාගත හැකියි.
මේ සඳහා ප්‍රතිකාර
අග්න්‍යාශය විනාශ වූ පසු නැවත එය ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත්කළ නොහැකියි. එනිසා අග්න්‍යාශයේ නැවත එන්සයිම නිපදවීම සිදුවන්නේ නෑ. නමුත් ආහාර අවශෝෂණයට අවශ්‍ය කරන එන්සයිම පෙති හෝ පවුඩර් මඟින් කෘත්‍රිමව සතාට ලබාදි හැකියි. එය සතා ජීවත්ව සිටින තුරුම නොකඩවාම කළ යුතු ප්‍රතිකාරයක්.
එවැනි තත්ත්වයකට පත් වූ සතෙකුට ආහාර ලබාදීමත් ඉතා කල්පනාකාරීව සිදුකළ යුතුයි. ජීරණයට අපහසු කෙඳි සහ මේදය වැඩි ආහාර වැඩිපුර නොදී පහසුවෙන් ජීර්ණය වන ආහාර ලබාදීම අවශ්‍යයි.
සුනඛයන් ආහාර කෘෂවන තවත් හේතුවක් තමයි පණු රෝග. සාමාන්‍යයෙන් සතුන් අතර සුනඛයන්ට පණු රෝග වැළඳීමේ වැඩි ප්‍රවනතාවයක් තිබෙනවා. යම් සුනඛයෙකුට පණු ආසාදනයක් පවතින විට අවධානයෙන් සිටීම තුළින් එය හඳුනාගත හැකි අවස්ථාද තිබෙන මුත් සුනඛයන්ගේ මළ සමග පිටවන පණුවන් බොහෝ විටම පියවි ඇසට දැක ගත නොහැකියි.
පණු ආසාදන තිබෙන විට හඳුනා ගත හැකි ලක්ෂණ
*මළ සමග පණුවන් පිටවීම
*ගුදය පිටතට විවෘත වන ප්‍රදේශය ආසන්නයේ පණුවන් දැක ගත හැකි වීම
*පණුවන් හේතුවෙන් පසුපස ප්‍රදේශයේ කසන සුළු බව නිසා එම ප්‍රදේශය නිතර බිම අතුල්ලන ආකාරයක් දැක ගත හැකි වීම
*වමනය සමග පණුවන් පිටවීම
*කුඩා පැටවුන්ට පණු ආසාදන වැළඳුණු විට පැටවුන්ගේ කුස පිපුණු ආකාරයක් දිස්වීම
*නිතර නිතර ආහාර ගත්තද සිරුර කෘෂ වීම
පණු ආසාදන වැළඳිය හැකි ආකාර
සුනඛ මවට පණු ආසාදන තිබේ නම් පැටවුන්ට එය වැළඳීමට වැඩි හැකියාවක් තිබෙනවා.
මව්කිරි බොන පැටවුන්ටද මවගේ මාර්ගයෙන් පණුවන් සිරුර තුළට ඇතුල් විය හැකියි.
අවට පරිසරයේ පණුවන් සිටින විටද සුනඛයන්ට පණු ආසාදන වැළඳීමේ හැකියාව තිබෙනවා.
සුනඛයන්ට වැළඳෙන පණු ආසාදන
වට පණුවා
නූල් කැබලි මෙන් සුනඛ පැටවුන්ගේ අන්ත්‍රවල එල්ලී ජීවත් වන වට පණුවා අසූචි සමඟ පිටවන අවස්ථා ද තිබෙනවා.
කොකු පණුවා
අන්ත්‍ර බිත්තිවල එල්ලී ජීවත්වෙන කොකු පණුවා අන්ත්‍ර බිත්ති සපාගෙන සිටින නිසා ඉන් ගැලවී ඉවත් වන විට මළ සමග සුනඛයාට රුධිරය පිටවිය හැකියි.
පටි පණුවා
අන්ත්‍රවල ජීවත්වන පැතලි දිගැති පණුවන් විශේෂයක්. පටි පණුවා පුරුක් මෙන් කොටස් ගැලවී පිටතට පැමිණෙනවා. එවිට සුනඛයාගේ පසු ප්‍රදේශයේ ලොම් අතර බත් ඇට ආකාරයට පටි පණු ආසාදිත තත්ත්වය දැකගත හැකියි.
පෙණහලු සහ හදවත ආශ්‍රිතව ජීවත් වන හදවත් පණුවා
හෘදය සහ පෙණහලු ආශ්‍රිතව රුධිරවාහිනීවල ජීවත්වන මෙම පණුවන් හඳුනා ගත හැක්කේ රුධිර පරීක්ෂාවකින් පමණයි. මෙම පණු ආසාදනය සතුන් මරණයට පවා පත් විය හැකි අවදානම් සහගත තත්ත්වයක්. රක්ත හීනතාවය, හුස්ම ගැනීමේ අපහසුව සහ කැස්ස මෙම පණු ආසාදනය හේතුවෙන් හටගත හැකි රෝග ලක්ෂණයි.
පණු රෝග සඳහා ප්‍රතිකාර
සුනඛ පැටවාට සති තුනක් සම්පූර්ණ වූ විට පණු බෙහෙත් ආරම්භ කළ යුතුයි. ඉන්පසු මාස තුනක් යන තුරු සති දෙකෙන් දෙකට පණු බෙහෙත් දිය යුතු අතර ඊළඟට මාස තුනකට පසු තෙමසකට වරක් පණු බෙහෙත් ලබා දීම සුදුසු යි. නමුත් නිවසින් පිටත සැරිසරන සතුන්ට මාස දෙකකට වරක්වත් නැවත පණු බෙහෙත් ලබාදීම වඩාත් සුදුසු අතර මේ අයුරින් ක්‍රමානුකූලව පණු බෙහෙත් ලබාදීම තුළින් පණු ආසාදනයන් වළක්වා ගැනීමට හැකියාව තිබෙනවා.
පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
ඉන්දු පෙරේරා