හෝමර් නැමැති කවියා ගේ ඔඩිසි (Odyssey) මහා කාව්‍යය ලෝක සාහිත්‍යය ගැන අවබෝධයක් ඇති කව්රුත් දන්නා කෘතියක්. පාසල් කාලයේත් අපි හැමෝම වගේ මේ කෘතිය ගැන ඉගෙන ගන්නව. මේ දවස්වල කලා ක්ෂේත්රයේ මෙම මහා නිර්මාණය ගැන අලූත් අවධානයක් යොමු වෙන්න පටන් අරං තියෙනව. ඒකට හේතුව මෙම කාව්‍යය ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය වීමට යාමයි.
මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට යන්නේත් එසේ මෙසේ කෙනෙක් නොවෙයි. ලෝක සිනමාවේ දක්ෂම අධ්යක්ෂවරයකු ලෙස පිලිගැනෙන කි‍්‍රස්ටෝෆර් නෝලන් තමයි මෙය අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වෙන්නෙ. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට මෙහි වැඩකටයුතු ළඟදීම ආරම්භ වීමට නියමිත යි.
කි‍්‍රස්ටෝෆර් නෝලන් ගේ සෑම චිත්‍රපටයක්ම වාගේ දැවැන්ත විචාරක/ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්නට සමත් වෙනවා. ඔහු මෑතකදී ම නිර්මාණය කළ සිනමාපටය වූයේ ‘ඔපන්හයිමර්’ (Oppenheimer) චිත්‍රපටය යි. 2023 වසරේ තිරගත වූ මෙයට පසුබිම් වූයේ සත්‍ය චරිතයක් පිලිබඳ කතාවක්. ලෝකයේ පළමු පරමාණු බෝම්බය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ පුරෝගාමී විද්‍යාඥයකු වූ රොබට් ඔපන්හයිමර් ගේ ජීවිත කතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වුණේ. දෙවැනි ලෝක යුද්ධය සමයේ ඇමරිකාව ජපානයේ හිරෝෂිමා, නාගසාකි නගරවලට හෙලූවේ මෙම ඔපන්හයිමර් ගේ මූලිකත්වයෙන් සාදන ලද බෝම්බ යි.
ඔපන්හයිමර් චිත්‍රපටය මෑත කාලීන බටහිර සිනමාවේ වඩාත්ම කතාබහට ලක් වුණු සිනමාපටයක්. සම්මාන පිට සම්මාන දිනූ නිර්මාණයක්. මේ වසර මුල පැවැත්වුණු ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ දී සම්මාන 7 ක් දිනා ගන්නටත් සමත් වුණා. හොඳම චිත්‍රපටය, හොඳම අධ්යක්ෂ, හොඳම නළුවා (කිලියන් මර්ෆි) සහ හොඳම සහය නළුවා (රොබට් ඩවුනි) වැනි ප්‍රධාන සම්මාන රැසක් ඊට අයත් වුණා.
නෝලන් අධ්‍යක්ෂණය කළ Tenet, Dunkirk, Interstellar, The Dark Knight, Inception, Batman Begins වැනි චිත්‍රපට ද බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වුණා.
ඔහු සිනමාව වෙනුවෙන් කරන ලද සේවය උදෙසා මෑතක දී ඔහුට බ්‍රිතාන්‍යෙය් චාල්ස් රජු විසින් නයිට් පදවියක් ද පිරිනමනු ලැබුවා. පසුගිය 18 වැනි දින එම උත්සවය පැවැත්වුණේ ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයේ යි. නෝලන් බ්‍රිතාන්‍යෙය් උපත ලැබූ කෙනෙක්.
‘ඔඩිසි’ වැනි සුප්‍රකට සාහිත්‍ය කෘතියක් සිනමාවට නැගීම ඉතාම අභියෝගාත්මක කටයුත්තක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් නෝලන් එවැනි කටයුත්තක් සඳහා බොහෝ සුදුසුකම් ඇති සිනමාකරුවෙක්.
‘ඔඩිසි’ කාව්‍යය ක්‍රි. පූ. 8 වැනි සියවසේ ලියැවුණු කෘතියක් හැටියටයි සැලකෙන්නේ. මෙම කාව්‍යයේ ප්‍රධාන චරිතය වන්නේ ඔඩිසියස් නැමැති ග්‍රීක රජු යි. ඔහු ට්‍රෝජන් යුද්ධයෙන් පසු එම යුද්ධය සිදු වූ ට්‍රෝයි පුරයේ සිට නැවත සිය රට පැමිණෙන ගමන ‘ඔඩිසි’ කාව්‍යයට පසුබිම් වෙනවා. වසර 10 ක් පුරා සිදුවන මෙම ගමන බිහිසුණු අත්දැකීම්වලින් ගහණ වූවක්. ඔඩිසියස් ගේ සේනාවේ බොහෝ දෙනෙකු මෙහි දී මරණයටත් පත් වෙනවා. ‘ඔඩිසි’ කාව්‍යය පොත් 24 කින් සමන්විතයි.
නෝලන් ගේ චිත්‍රපටය ‘ඔඩිසි’ කාව්‍යය ඇසුරෙන් තැනෙන පළමු චිත්‍රපටය නොවෙයි. මෙයට පෙරත් කිහිප වරක් මේ ඇසුරෙන් චිත්‍රපට නිර්මාණය වී තිබෙනවා. නමුත් වඩාත්ම දැවැන්ත සිනමාපටය මෙය වනු ඇති.
‘ඔඩිසි’ සිනමාපටයේ රූගත කිරීම් තවමත් ආරම්භ කර නැහැ. නමුත් එහි රඟපාන නළු නිළියන් ගැන පසුගිය දිනවල චිත්‍රපටයේ නිශ්පාදකයන් සඳහන් කර තිබුණා. ස්පයිඩර් මෑන් චිත්‍රපටවලින් මහත් ජනපි‍්‍රයත්වයට පත් ටොම් හොලන්ඞ් මෙහි ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන ඇති බවයි පැවසෙන්නේ. ඊට අමතරව සෙන්ඩෙයා, මැට් ඩෙමන්, ඈන් හතාවේ, රොබට් පැටින්සන් වැනි ජනපි‍්‍රය නළු නිළියන් ද මෙහි රඟපානු ඇති. සෙන්ඩෙයා සහ හොලන්ඞ් මේ වනවිට සැබෑ ජීවිතයේත් පෙම්වතුන්. ඔවුන් දෙදෙනා ස්පයිඩර් මෑන් චිත්‍රපටවලත් එකට රඟපා තිබෙනවා.
තම පෙම්වතිය ද ‘ඔඩිසි’ චිත්‍රපටයේ රඟපෑම ගැන සදහන් කරමින් හොලන්ඞ් විහිළුවක් ද කර තිබෙනු දැකිය හැකි වුණා. ‘අපි දෙන්නාවම චිත්‍රපටිවලට ගන්න නිශ්පාදකයන් කැමැත්තක් දක්වනවා. මොකද එතකොට ඒ ගොල්ලන්ට අපි දෙන්නම වෙනුවෙන් බුක් කරන්න වෙන්නෙ එක හෝටල් කාමරයක් පමණක් නිසා’.
නෝලන් ‘ඔඩිසි’ චිත්‍රපටයේ ස්වභාවය ගැන තමාට කෙටියෙන් විස්තර කළ බවත්, ඒ පිලිබඳ වැඩි විස්තරයක් තවමත් තමා නොදන්නා බවත් ඔහු පසුගිය දිනෙක මාධ්‍ය සමග කළ සාකච්ඡුාවක දී තව දුරටත් පවසා තිබුණා.
මෙම දැවැන්ත චිත්‍රපටය නිශ්පාදනය කරන්නේ සුප්‍රකට යුනිවර්සල් චිත්‍රපට සමාගම යි.
රොබට් පැටින්සන්, ඈන් හතාවේ, මැට් ඩෙමන් යන තිදෙනාම මෙයට පෙර ද නෝලන් සමග චිත්‍රපටවල වැඩ කර පුරුදු උදවිය යි. මැට් ඬේමන් නෝලන්ගේ කලින් චිත්‍රපටය වූ ‘ඔපන්හයිමර්’ හි ද ප්‍රධාන චරිතයක් නිරූපනය කළා. ඒ ලෙස්ලි ගෲව්ස් නැමැති හමුදා නිලධාරියාගේ චරිතය යි.
පැටින්සන් Tenet චිත්‍රපටයේත්, හතාවේ Interstellar චිත්‍රපටයේත් රඟපා තිබෙනවා. නමුත් ටොම් හොලන්ඞ් සහ සෙන්ඩෙයා කි‍්‍රස්ටෝෆර් නෝලන්ගේ චිත්‍රපටයක රඟපාන්නේ පළමු වතාවටයි. මෙය ඔවුන් ගේ රංගන දිවියේ විශේෂ අවස්ථාවක් වනු ඇති.
‘ඔඩිසි’ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නට නියමිතව තිබෙන්නේ 2026 ජුලි 17 වැනි දින යි.
නිහාල් පීරිස්