සුරතල් සතුනට වැළඳිය හැකි බරවා රෝගය සහ සිරුර කහ පැහැ ගැනීම 

       බරවා රෝගය, සිරුර කහපැහැ ගැන්වීම යන රෝග දෙක මිනිසුන්ට වැළඳෙන රෝග වශයෙනුයි අප බොහෝ විට හඳුනාගෙන තිබෙන්නේ. නමුත්  මේ රෝග දෙකම සුරතල් සතුන්ටත් වැළඳෙනවා. එනිසා අපි සුනඛ, බළල් වැනි සුරතල් සතුන්ට හටගන්නා බරවා රෝගය සහ සිරුර කහපැහැ ගැන්වීමේ රෝගය ගැන දැනුවත් වීම ඔබට ඉතා වැදගත් වේවි.
 බරවා  (Filaria) රෝගය :
             මෙය මනුෂ්‍යයන්ට වැළඳෙන රෝගයක් ලෙස අප සිතා සිටියත්  ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල ජීවත්වන සුනඛයන් සහ බළලුන් අතරත්  සුලබව බරවා රෝගය දැක ගන්නට ලැබෙනවා. සතුන්ට වැඩිපුරම බරවා රෝගය වැළඳීමට හේතු වන
රෝගකාරකයා වන්නේ Diro failaria නම් බරවා පණුවායි.
          සුනඛයන්, බළලුන් වැනි සුරතල් සතුන්ට වැළඳෙන බරවා රෝගයේ දී මිනිසුන්ගේ මෙන් අසාමාන්‍ය ආකාරයට පාද මහත් වීමක්  මේ  සතුන්ගේ බොහෝ විට දක්නට ලැබෙන්නේ නෑ. නමුත් කලාතුරකින් සුනඛයන්ගේ එලෙස පාද මහත්  වීමට බැරිකමකුත් නෑ . Diro filairia බරවා පණුවා ආසාදනය වීමෙන් පසු එම සතුන්ට බොහෝවිට බරවා රෝගය බලපාන්නේ පෙනහළුවලට සහ හෘදයටයි.
         කොහොම වුණත් මෙම බරවා රෝගයවැළඳීමේ වැඩි හැකියාවක් තිබෙන්නෙ  බළලුන්ට වඩා සුනඛයන්ට යි. එයිනුත් වයස අවුරුදු 3 – 8 අතර සුනඛයන් තුළ  වැඩිපුර දක්නට ලැබෙනවා.
         නිරෝගී සතෙකුට බරවා වැළඳෙන්නේ කොහොමද ?
         බරවා ආසාදනය වූ  සතෙකුගේ සිරුරේ රුධිරය උරා බොන මදුරුවාගේ ශරීරය තුළට ආසාදිත සතාගේ රුධිරයේ සැරිසරමින් සිටින බරවා කීටයක් (micro filaria) ඇතුළු වෙනවා. ඉන්පසු මදුරුවාගේ  ශරීරය තුළ බරවා කීටයා අවදි කිහිපයක් පසු කරමින් ජීවත් වෙනවා. කීට අවස්ථාවේ අවසාන අවදියේ දී මදුරුවා දෂ්ට කරන නිරෝගී  සතුන්ගේ ශරීරයට ද  බරවා කීටයන් ඇතුළු වීම සිදුවෙනවා.
         මෙලෙස රෝගවාහක මදුරුවා නිසා ශරීරගත වූ බරවා කීටයා එම සතාගේ ශරීරය තුළදී වැඩෙමින් බරවා පණුවෙකු බවට පත් වෙනවා. එම අවස්ථාවේ දී ශරීරය පුරා සැරිසරන බරවා පණුවා පෙනහළු, හෘදය වැනි අවයවයන් කරා ගමන් කිරීමෙන් සතුන් කෙරෙන් රෝග ලක්ෂණ මතු වෙනවා.  මෙහිදී දැකිය හැකි රෝග ලක්ෂණ වන්නේ හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස ආදියයි .  බරවා පණුවා  හෘදය කරා පැමිණීමත් සමග රෝගී සතුනට වෙහෙසීමට අපහසු වන අතර වැඩිපුර වෙහෙසීමේ දී සිහි සිහිමූර්ඡා වන තත්ත්වයකට පවා පත්විය හැකියි. බරවා පණුවන් නිසා හෘදයට වන බලපෑම වැඩි වන විටදී   වෙහෙසීමකින් තොරව පවා නිතර නිතර සිහිමූර්ඡා වෙන්නට පටන් ගන්නවා.
         සතාගේ රුධිර පරීක්ෂණයක් කිරීමෙන් රෝගී තත්ත්වය හඳුනා ගත හැකි ඉන් පසු සිරුර තුළ සිටින බරවා කීටයන් විනාශ කිරීම සඳහා ඖෂධ ලබා දීම කළ යුතුයි. ඖෂධ ලෙස බොහෝවිට දෙනු ලබන  පෙති  කාලයක් නොකඩවා ලබා දීම අවශ්‍යයි.
         ඖෂධ ලබා දීමත් සමග බරවා කීටයන් සතාගේ සිරුර තුළ ම මිය යනවා. එම  මියගිය කීටයන්  සිරුරින් බැහැර වීමක් සිදු නොවන අතර කාලයක් ගත වීමේ දී සිරුරටම උරා ගැනීම සිදු වෙනවා.
        සතුන්ගේ සිරුර තුළ බරවා කීටයන්  විශාල ප්‍රමාණයක් ජීවත් වී සිට මිය ගිය විටදී එම මියගිය කීටයන් වසානාල  රුධිර නාල වැනි ස්ථානවල සිර වී එම නාල අවහිර වන්නට පුළුවන්. එම නිසා ඖෂධ ලබා දෙන කාල සීමාව තුළදී සතා වෙහෙසෙන්නේ නැති ආකාරයට රඳවා තබා ගැනීමට හිමිකරුවන් කල්පනාකාරී වීම වැදගත්. එලෙස සතුන් වෙහෙසෙන විටදී  රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වීමත් සමඟ මියගිය කීට කොටස් සිරුරේ යම් යම් ස්ථාන කරා ගමන් කර පහසුවෙන්ම ඒවා සිර වන්නට පුළුවන්. එවැනි  අවස්ථාවක දී පෙනහළු, වකුගඩු, හෘදය වැනි අවයවයන්හි  ක්‍රියාකාරිත්වය අඩපණ වීම සිදුවිය හැකි අතර එය සතා මරණයට  පත් වීමට පවා හේතුවක් වන්නට ඉඩ තිබෙනවා.
          එමෙන්ම සතුන්ගේ ශරීරය තුළ බරවා කීටයන් වර්ධනය වීමත් සමඟ ආහාර අරුචිය ඇති වන නිසා සතා ආහාර ප්‍රතික්ෂේප කිරීම ද බොහෝ විට සිදු වෙනවා. සමහර අවස්ථාවල දී සතා  දිගින් දිගටම ආහාර නොගැනීම නිසා ද මිය යාමට හැකියාවක් තිබෙනවා.
          ඖෂධ ලබා දෙන අතරතුර වරින් වර සායන කරා රැගෙන ගොස් රුධිර පරීක්ෂණයන්ට භාජනය කිරීම වැදගත්. ඒ අනුව රුධිරයේ අඩංගු බරවා  කීට ගහණය පිළිබඳ නිශ්චය කරමින් ඖෂධ ලබාදීම සිදු කළ හැකියි.
          බරවා රෝගයෙන් සතුන් වළක්වා ගැනීමට කළ හැකි සාර්ථක පිළියම වන්නේ රෝග ගණනාවක ම වාහකයා වන මදුරු වර්ධනය, මර්දනය කිරීම පමණයි.
සිරුර කහපැහැ ගැන්වී මේ රෝගය
           මනුෂ්‍යයන්ට වැළඳෙන  සෙංගමාල රෝගයේදී සිරුරේ යම් යම් ස්ථාන කහ පැහැ ගැන්වෙන ආකාරය ඔබ දැක ඇති. එලෙසින් සුනඛයන් සහ බළලුන් ද කහ පැහැ ගැන්වෙන  අවස්ථා තිබෙනවා. සතුන් ගේ එලෙස කහ පැහැ වීම විදුරුමස්, දිව, සම, ඇස්,  කන් පෙති ආදියෙන් පැහැදිලිව දැකගත හැකියි.
         රුධිරයේ බිලිරුබින් වැඩිවීම නිසා සතුන් මෙලෙස කහ පැහැ ගැන්වීම  Icterus නමින් හඳුන්වන අතර එය රෝගයක ලක්ෂණයක් .
           රතු රුධිරාණුවල කාර්යභාරය අවසන් වී ඒවා බිඳ වැටීමෙන් බිලිරුබීන් වර්ණකය නිපදවෙනවා. එම බිලිරුබීන් අක්මාව කරා පැමිණ එහි දී රසායනික වශයෙන් වෙනස්කම්වලට භාජනය වී  පිත හරහා සිරුරෙන් ඉවත් වෙනවා. එහෙත් බිලිරුබීන් යම් ප්‍රමාණයක් රුධිරයේ පැවතීම අවශ්‍යයි. යම් යම් රෝගී තත්ත්වයන් හේතුවෙන් රුධිරයේ තිබිය යුතු ප්‍රමාණයට වඩා බිලිරුබීන් වැඩි ප්‍රමාණයක් රුධිරයේ පවතින අවස්ථා තිබිය හැකියි. පෙර කී ආකාරයට සතුන්ගේ සිරුරේ යම් යම් ස්ථාන කහ පැහැ ගැන්වීමෙන්  පෙනෙන්නේ රුධිරයේ බිලිරුබින් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බවයි.
රුධිරයේ බිලිරුබීන් වැඩි වෙන හේතු
 1 රතු රුධිරාණු අධික ලෙස විනාශ වීම නිසා බිලිරුබීන් වැඩිපුර රුධිරයට එකතු වීම
      කිනිතුලු උණ වැනි පරපෝෂිත ආසාදන,  ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි අධික ක්‍රියාකාරිත්වය වැනි හේතු නිසා රතු රුධිරාණු අධික ලෙස විනාශ වීම සිදු විය හැකියි.
2. අක්මාවේ රෝගී තත්වයන්
             අක්මාවේ නොයෙකුත්  රෝගී තත්ත්වයන් නිසා  අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩපණ විය හැකියි. එවිට පිත හරහා බිලිරුබීන් සිරුරෙන් පිට කර හැරීම නිසි පරිදි සිදු කෙරෙන්නේ නෑ.  ඒ හේතුවෙන් රුධිරයේ බිලිරුබින් වැඩිපුර එකතු වීම සිදු වෙනවා.
             අක්මාවට බලපාන වෛරස් සහ බැක්ටීරියා රෝගී තත්ත්වයන් සහ අක්මාවේ පිළිකා හේතුවෙන් ද රුධිරයේ බිලිරුබින් ප්‍රමාණය වැඩි විය හැකියි.
            එසේම  බළලුන්ට පැරසිටමෝල් වැනි සමහර ඖෂධ
ශරීරගත වීම තුළින්ද අක්මාවේ  ක්‍රියාකාරීත්වයට බාධා  ඇති වෙනවා.
3. අක්මාවේ සිට පිත ගලා යන මාර්ගය අවහිර වීම
           පිත්තාශයේ  ගල් හට ගැනීම නිසා එම නාල අවහිර වීම,  අක්මාවේ  හෝ උදරයේ පිළිකා හේතුවෙන් නාල හිරවීම, රෝගී තත්ත්වයන් හේතුවෙන් පිතෙහි ඝණකම වැඩි වීම නිසා පිත ගලා යාම අපහසු වීම වැනි හේතු මීට ප්‍රධාන වශයෙන්  බලපානවා.
          අධික  ලෙස  රතු රුධිරාණු විනාශ වීමට බලපාන හේතු රුධිර පරීක්ෂණ මගින් හඳුනා ගත හැකියි.  රතු රුධිරාණු විනාශ වීමට හේතුව පරපෝෂිත ආක්‍රමණයන් ද යන්න ද රුධිර පරීක්ෂණ මගින් හඳුනා ගන්නට පුළුවන්.
          අක්මාවෙන් පිට වන රසායනයන් පරික්ෂා කිරීමෙන් අක්මාවේ යම් රෝගී තත්ත්වයක් ඇත්නම් එය ද හඳුනා ගන්නට ලැබෙනවා.
          පිත ගලා යන මාර්ගයේ යම් අවහිරතාවයක් ඇති ද යන්න  ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගත හැකියි.
          ඒ ආකාරයෙන් රෝගී තත්ත්වය හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාර කිරීම තුළින් රෝග ලක්ෂණයක් ලෙස දැකගත හැකි සිරුර කහ පහ ගැන්වීම ක්‍රමයෙන් සුවකර ගැනීමට හැකියාව ලැබෙනවා.
පශුවෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
 සැකසුම –  ඉන්දු පෙරේරා
සතුන්ටත් හිමි අපේ ලෝකය