සුරතල් සතුන්ට බෙහෙත් සහ එන්නත් දීම

vinivida

නිවෙස්වල ඇතිදැඩි කරන සුනඛ සහ බළල් සුරතලුන් රෝගී වූ විට ප්‍රතිකාර ලබාදීම මෙන්ම ඇතැම් බරපතළ රෝග වැළැක්වීම සඳහා සුදුසු කාලවලදී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ද ඉතා වැදගත් වෙනවා. ඔබ ඇතිදැඩි කරන සතා නිරෝගීව වැඩෙන්නට මෙබඳු පිළිවෙත් අවශ්‍ය වුවද මෙවැනි කරුණු සම්බන්ධයෙන් හිමිකරුවන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බවයි පෙනෙන්නේ. මේ හේතුව නිසාම සතුන් නොසිතූ ආකාරයේ රෝගවලට ගොදුරු වීම සුලභ තත්ත්වයක් වන අතර ඇතැම් විට මේ නිසාම සතා මරණයට පත්වීම වුවද සිදුවිය හැකියි. එනිසා සතුන් රෝගවලින් වළක්වා ගැනීම මෙන්ම රෝගී වූ විට ප්‍රතිකාර කර සුවපත් කර ගැනීමද එම සතුන් ඇති දැඩි කරන ඔබේ වගකීමක්. මෙම ලිපියෙන් දැනුවත් කරනු ලබන්නේ හිතුමනාපයට සතුන්ට ⁣ඖෂධ ලබාදීමේ භයානකකම සහ සතුන් රෝගී වූ කල නිසි වෙලාවට ඖෂධ ලබා නොදීමෙන් අත්විය හැකි අනිටු ප්‍රතිඵල ගැනයි.

කටුවා කෑම වැළැක්වීමට දෙන එන්නත කුඩා සුනඛ පැටවුන්ට ලබාදීම

සුනඛ පැටවකුගේ වයස මාස තුනට වඩා අඩු නම් ඒ සතුන්ගේ මොළය නිසි පරිදි වර්ධනය වී නොතිබිය හැකියි. ඒ නිසා එවැනි පැටවුන්ට දෙනු ලබන එන්නත් රුධිරය හරහා මොළයට ගමන් කිරීම බාධාවක් නොමැතිව සිදුවෙනවා. සාමාන්‍යයෙන් වෙනත් ඖෂධ රුධිරය හරහා මොළයට ගමන් කිරීම ගැටලු සහගත නොවූවත්, කටුවා කෑමේ රෝගයට ලක් වූ වයස මාස තුනට අඩු සුනඛ පැටවුන් ගේ මොළයට එවැනි ඖෂධ ගමන් කිරීම සතාට මාරාන්තික විය හැකියි. එහෙත් පැටවාගේ වයස මාස තුන ඉක්මවූ පසු රුධිරය කෙළින්ම මොළයට ගමන් කිරීම වළක්වන බැම්මක් වැනි ක්‍රියාකාරිත්වයක් ආරම්භ වෙනවා.
එනිසා කටුවා කෑමට එන්නත් ලබාදීමේ දී සතුන්ගේ නියම වයස ඒ අයුරින්ම පවසා එය ලබාදීමට ක්‍රියා කළ යුතුයි. හිතුමතේ ඖෂධ ලබාගෙන මාස තුනට අඩු පැටවුන්ට එන්නත් කිරීම ද නොකළ යුතුයි. වයස මාස තුනට අඩු සුනඛ පැටවකු කටුවා කෑමේ රෝගයෙන් පෙළෙන්නේ නම් වෛද්‍ය උපදෙස් මත සමෙහි ආලේප කරන ඖෂධ වර්ගයක් ගැල්වීම කළ හැකියි.

කිනිතුළු උණ වැළඳී ඇතිවිට කිනිතුල්ලන් වඳ කිරීම සඳහා බෙහෙත් ගැල්වීම

කිනිතුළු උණ වැළඳී ඇති සතෙකුගේ සමෙහි බොහෝ කිනිතුල්ලන් සිටින්නට පුළුවන්. නමුත් කිනිතුළු උණ වැළඳී තිබෙන සතෙකුට කිනිතුල්ලන් වඳ කිරීම සඳහා සමේ බෙහෙත් ගැල්වීම නොකළ යුතුයි. මේ රෝගය නිසා සතා කායිකව දුර්වල වී සිටින අවස්ථාවක කිනිතුල්ලන් වඳ කිරීම සඳහා සැර ඖෂධයක් ගැල්වීම වෙනත් අතුරු ආබාධ මෙන්ම අසාත්මිකතා ඇතිවීමටද හේතුවක් වන්න පුළුවන්. එවැනි අවස්ථාවක කිනිතුළු උණට ලබාදෙන ඖෂධ පවා සතාට ඇතැම් විට විෂ වීමට හැකියාවක් තිබෙනවා. එනිසා සුනඛ සුරතලුන්ට කිනිතුල්ලන් බෝවුනු විට වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ මිලදීගෙන ඒවා ගැල්වීම කිසිසේත් අනුමත කළ නොහැකියි. මන්ද එයින් සතාගේ ජීවිතයට හානියක් වීමට පවා ඉඩකඩක් තිබෙන නිසයි.

ගවයින්ගේ කිනිතුල්ලන් වඳ කිරීම සඳහා නිර්දේශිත ඖෂධ සුනඛයන්ට ගැල්වීම

කිනිතුල්ලන් වඳ කිරීම සඳහා නොයෙකුත් ඖෂධ වර්ග ෆාමසිවලින් සහ වෙනත් ඖෂධ වෙළඳසැල්වලින් මිලදී ගත හැකියි. නමුත් මේ ඕනෑම ඖෂධයක් ඕනෑම සතෙකුට යෝග්‍ය වන්නේ නෑ. ගවයින් සඳහා නිර්දේශිත ඖෂධ වඩා වැඩි ප්‍රබලතාවයකින් යුතු ඖෂධයි. ඒවා සුනඛයන්ට ගැල්වීමෙන් ඔවුන්ට වෙනත් රෝගාබාධ ඇතිවීමට එය හේතුවන්න පුළුවන්. එනිසා කිනිතුල්ලන් වඳ කිරීම සඳහා බෙහෙත් ලබා දීමේදී එම සතුන් සඳහාම වන ඖෂධ වර්ගයක් තෝරා ගැනීම ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්. එය වෛද්‍ය උපදෙස් මත කිරීම වඩාත් ආරක්ෂාකාරී යි.

වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමතේ එන්නත් ලබාදීම

සමහරු ගෙදර දොරේ තමන් ඇති දැඩි කරන සුනඛයන්ට මෙන්ම බළලුන්ට පවා වෙළඳපොළෙන් එන්නත් මිලදී ගෙන තමන් විසින්ම එය එන්නත් කරන අවස්ථා දැකිය හැකියි. නමුත් මේ සමහර එන්නත් මාංශ පේශීවලට පමණක් ලබාදිය යුතු ඒවා වන අතර තවත් සමහර එන්නත් වර්ග රුධිරයට එන්නත් කළ යුතුයි. මේ අනුව මාංශපේශීවලට ලබාදිය යුතු එන්නත් රුධිරයට ලබා නොදිය යුතුයි . මේවා හරිහැටි නොදැන හිතුමතේ එන්නත් කිරීමට යාමෙන් සතුන් මියයාමට පවා පුළුවන්.

සතෙකු රෝගී වූ විට බොහෝ දුර්වල වනතුරු ප්‍රතිකාර නොකිරීම

කිසියම් රෝගයක් වැළඳුණු සතෙකුට නිසි ප්‍රතිකාර ලබා නොදී අත්බෙහෙත් කරමින් නිවසේ තබාගෙන සිටින විට සතුන් අඩපණ වී දුර්වල වීම කෙටි කාලයක් තුළදී වුව සිදුවිය හැකියි.
යම් හෙයකින් රෝගය නිසා සතුන්ගේ අක්මාව වකුගඩු ආදිය අඩපණ වනතුරු වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී හිඳ සතා අසාධ්‍ය වුවහොත් ඉන්පසු ප්‍රතිකාර කරා යොමු වූ විට ලබා දෙන ඖෂධ පවා විෂ වීමට ඉඩ තිබෙනවා. එසේ වන්නේ අක්මාවේ සහ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ වීම මත යි. එනිසා සතෙක් රෝගී වූ විට සතා දුර්වල වී අඩපණ වන්නට පෙරාතුව ප්‍රතිකාර කරා යොමු වීම වැදගත්.

වෙනත් රෝගයකින් පෙළෙන විට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම

වෙනත් රෝග නිවාරණය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙන කාලවලදී එම සතුන් රෝගීව පසුවන්නේ නම් ප්‍රතිශක්තිකරණ එන්නත මඳක් ප්‍රමාද කළ යුතුයි. වෙනත් රෝගවලින් පෙළෙන විට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දුන් විටදී පවතින රෝගී තත්ත්වය තවත් උත්සන්න වීමටත්, ලබාදුන් ප්‍රතිශක්තිකරණ එන්නතින් ඵලක් නොවීමටත් හැකියාවක් තිබෙනවා. එයට හේතුව, වැළඳී තිබෙන රෝගයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිශක්තීකරණ පද්ධතියට ඒ මොහොතේ විශාල කාර්යභාරයක් තිබෙන නිසා එවැනි අවස්ථාවක ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ප්‍රතිඵලදායක නොවන නොවිය හැකි නිසයි.

උපදෙස්  – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය