සුව කළ නොහැකි මාරාන්තික රෝගවලට සහ දරුණු ආබාධවලට ගොදුරු වී සිටින ඇතැම් පුද්ගලයන් ගත කරන්නේ කායිකව මෙන්ම මානසිකව ද ඉතා වේදනාකාරී ජීවිත බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුන් විඳින වේදනාවන් ගැන බොහෝ විට තව කෙනෙකුට තේරුම් ගැනීමට පවා අපහසු යි. මෙවැනි වේදනාකාරී ජීවිත ගත කරන රෝගීන්ට ඇතැම් අවස්ථාවල ජීවිත නැති කර ගැනීමට පවා සිතෙන බව ද රහසක් නොවේ. නමුත් සිය දිවි හානි කර ගැනීම බොහෝ රටවල නීතියෙන් තහනම් කර ඇති සහ සමාජය අනුමත නොකරන කටයුත්තක්. මේ නිසා මෙවැනි පුද්ගලයන්ට දිවි හානි කර ගැනීම පවා කරගන්නට සිදු වන්නේ හොර රහසේ සහ වේදනාකාරී ක්‍රම භාවිතයෙනු යි.
නමුත් සමහර රටවල මෙවැනි සුව කළ නොහැකි රෝගාබාධ නිසා වේදනා විඳින පුද්ගලයන්ට ජීවිතය අවසන් කර ගැනීම සඳහා නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. ස්විට්සර්ලන්තය, ඔස්ටි්‍රයාව, ස්පාඤ්ඤය, කැනඩාව, කොලම්බියාව නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග් වැනි රටවල් ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකියි.
මෙහි දී සිය ජීවිතය අවසන් කර ගැනීමට තීරණය කරන රෝගීන්ට ඒ සඳහා වෛද්‍යවරුන්ගේ හෝ සාත්තු සේවකයන්ගේ උපකාරය පවා ලබා දෙනවා.
මේ දිනවල මෙම මාතෘකාව ගැන නැවතත් මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබෙනු දැක ගන්නට පිලිවන්. එයට හේතු වී ඇත්තේ බ්‍රිතාන්‍යට අයත් එංගලන්තය සහ වේල්සය යන රටවල් මෙයට අදාළ පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට උත්සාහ ගනිමින් සිටීම යි. මෙම පනතෙනුත් බලාපොරොත්තු වන්නේ එම රටවල ඉහත කී ආකාරයෙන් වේදනා විඳිමින් සිටින පුද්ගලයන්ට වෛද්‍යවරුන් ගේ උදව්ව යටතේ දිවි කෙළවර කර ගැනීමට නීතියෙන් අවසර ලබා දීම යි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩලය වන මහජන මන්ත්‍රී මණ්ඩලයට (House of Commons) මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබුණේ මේ වනවිට එරට ආණ්ඩු බලය හොබවන කම්කරු පක්‍ෂයේ මන්ත්‍රීවරියක වන කිම් ලෙඩ්බීටර්. මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ මේ පිලිබඳ විවාද කිරීමෙන් පසු මෙයට ටික දිනකට පෙර ඡන්ද විමසීමක් පැවැත්වුණා. මෙහි දී වැඩි ඡන්ද 55 කින් මෙම පනත් කෙටුම්පත සම්මත වී තිබෙනවා. එයට පක්‍ෂව මන්ත්‍රීවරුන් 330 දෙනෙකු ඡන්දය දී තිබූ අතර විරුද්ධව ඡන්දය දී තිබුණේ මන්ත්‍රීවරුන් 275 දෙනෙකු පමණයි. මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පිරිමි මන්ත්‍රීවරුන්ට වඩා කාන්තා මන්ත්‍රීවරියන් වැඩි උනන්දුවක් දක්වා ඇති බවකුත් දැකිය හැකි වුණා. කාන්තා මන්ත්‍රීවරියන් ගෙන් සියයට 51 ක් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය දී තිබූ අතර පිරිමි මන්ත්‍රීවරුන්ගෙන් සියයට 49 ක් පමණයි ඊට පක්‍ෂ වී තිබුණේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් අනුමත වූ පමණින් මෙය නීතියක් බවට පත් වන්නේ නැහැ. ඒ සඳහා එය ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සාමි මන්ත්‍රී මණ්ඩලයෙනුත් (House of Lords) සම්මත විය යුතුයි. මන්ත්‍රී මණ්ඩල දෙකෙන්ම කෙටුම්පත සම්මත වුවහොත් සුව කළ නොහැකි රෝගාබාධවලින් පෙලෙන එංගලන්ත සහ වේල්ස වැසියන්ට අනාගතයේ දී වෛද්‍යවරුන්ගේ උපකාරය ඇතිව ජීවිතය කෙළවර කර ගැනීමට අවසර ලැබේවි.
නමුත් මෙහි දී අදාළ වන යම් යම් කොන්දේසිත් තිබෙනවා. එක් කොන්දේසියක් නම් අදාල රෝගියා වයස අවුරුදු 18 ට වැඩි කෙනෙකු වීම යි. ඔහු හෝ ඇය නිරවුල්ව මෙවැනි තීරණයක් ගැනීමට හැකි මානසික තත්වයකින් සිටීමත් අවශ්‍ය යි. එමෙන්ම මේ ආකාරයෙන් දිවි තොර කර ගැනීමට අවසර ලැබෙන්නේ සිය රෝගී තත්ත්වය නිසා ජීවිතයේ අවසන් අදියරට ළඟා වී සිටින රෝගීන්ට පමණයි. එම රෝගියාට ජීවත් වීමට හැකියාව ඇත්තේ උපරිම වශයෙන් තවත් මාස 6 ක කාලයක් පමණක් විය යුතුයි.
රෝගියා මෙම කොන්දේසි සපුරා ඇති බව වෛද්‍යවරුන් දෙදෙනකු මෙන්ම මහාධිකරණ විනිසුරුවරයකු ද සහතික කිරීමත් අවශ්‍ය යි.
මෙම අනුමැතිය ලැබීමෙන් අනතුරුව වෛද්‍යවරුන් රෝගියා වෙත මරණය ළඟා කරවන රසායනිකයක් ලබා දීමට පියවර ගන්නවා. නමුත් එය ශරීරගත කර ගත යුත්තේ රෝගියා විසින්ම යි. මෙහි දී රෝගියාට වේදනාවක් විඳින්නට සිදු වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අදහසක් නැහැ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ඉහත කී පනත් කෙටුම්පත පිලිබඳ ඡන්ද විමසීම පැවැත්වුණු දිනයේ මේ ගැන උනන්දුව දක්වන බොහෝ දෙනා පාර්ලිමේන්තුව අසළ රැස්ව සිටි බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. සුව කළ නොහැකි රෝගාබාධවලින් පෙළෙන රෝගීන් ද ඒ අතර සිටි බව පැවසුණා. කෙටුම්පත සම්මත වූ විට මේ බොහෝ දෙනා මහත් ප්‍රීතියට පත්ව එකිනෙකා සිප වැළඳ ගන්නා ආකාරයත්, ඇතැමුන් සතුටු කඳුළු හෙලන ආකාරයත් දැකගන්නට ලැබුණා.
ඇතැම් මන්ත්‍රීවරුන් මෙම කෙටුම්පතට විරුද්ධත්වය දක්වා තිබුණේ මෙම නීතිය අවභාවිත විය හැකිය යන අදහස මත යි. ඔවුන් නගන එක් ප්‍රධාන තර්කයක් වන්නේ ජීවිතය අවසන් කර ගන්නා ලෙස රෝගීන් මත පීඩනයක් ඇති කිරීමට පවුල්වල උදවිය වැනි අය උත්සාහ කළ හැකි බව යි. මෙවැනි රෝගීන් රැකබලා ගැනීමට ඇති අපහසුතාව, ඒ සඳහා දරන්නට සිදුව ඇති වියදම වැනි ප්‍රශ්න නිසා මෙවැනි පීඩනයක් එල්ල කිරීමට හැකි බව මෙම පාර්ශ්ව පෙන්වා දෙනවා. ඔවුන් අවධාරණය කරන්නේ ඉහත කී ආකාරයෙන් රෝගීන් පීඩනයට ලක් වීම වැනි කාරණාවලින් ඔවුන් ආරක්‍ෂා කිරීම සඳහා වන සංශෝධන මෙම කෙටුම්පතට ඇතුලත් විය යුතු බව යි.
නිහාල් පීරිස්