සුව නොවන තුවාල වෙනුවෙන් අත්පා ඉවත් නොකර කළ හැකි සාර්ථක ප්‍රතිකාර – වෛද්‍ය ගයාන් ජයකොඩි

සුනඛයන් බළලුන් වැනි සතුන් තමන්ගේ ශරීරයේ තුවාලයක් හට ගත් කල එය ලෙව කන අයුරු ඔබ දැක ඇති. මෙය සුනඛයන්, බළලුන් පමණක් නොව ඕනෑම ක්ෂීරපායි තිරිසන් සතකු විසින් සිදු කරනු ලබන්නකි. සතුන්ගේ තුවාල සුව වීමේ ස්වභාවික ක්‍රමවේදය එයයි. ඔවුන්ගේ ඛේටයෙහි අන්තර්ගත විෂබීජ නාශක ගුණයත්, භාෂ්මික ස්වභාවයත් නිරායාසයෙන්ම ඔවුන්ගේ තුවාල සුව වීම සඳහා ඉවහල් වෙයි. එය සතුන් සොබා දහමින් ලත් ආශිර්වාදයකි. ගල් යුගයේ මිනිසා ද එලෙස ලෙවකා ගනිමින් තුවාල සනීප කරගන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය.
නමුත් මිනිසාගේ පරිණාමයත් සමග විවිධ ප්‍රතිකාර ක්‍රම ද සංවර්ධනය විය. තුවාල සඳහා ප්‍රතිකාර කිරීමේ විවිධ ක්‍රම ඔවුන් විසින්ම සකසා ගනු ලැබූ අතර ඒ අනුව ගස්වල කොළ, පොතු, යුෂ, දළු, ගෙඩි ආදී වශයෙන් විවිධ දේ ඇසුරින් ඔවුහු බෙහෙත් තනාගත්හ. පසුව ආයුර්වේදය වැනි පුරාණ ශාස්ත්‍රවලින් මේ සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම බිහිවිණි. එයිනුත් පසුව වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ තුවාල සඳහා නොයෙකුත් ඖෂධීය ප්‍රතිකාර ක්‍රම මෙන්ම ශල්‍යකර්ම ආදිය මගින් රෝගියාගේ අත්පා ඇඟිලි වැනි දෑ ඉවත්කර හෝ ජීවිතය රැක දීමට කටයුතු යෙදුණි.
නමුත් මේ වන විට ශල්‍ය කර්ම මගින් එලෙස අත්පා ආදිය ඉවත් කිරීමෙන් තොරව කල්ගත වූ දරුණු තුවාල පවා සුව කිරීමේ වෙනත් නවීනතම ක්‍රමවේද වෛද්‍ය විද්‍යාවේ පවතී.
තුවාල සුව කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය මෙම අනෙකුත් ක්‍රමවේදයන් පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැත. මෙහි දැක්වෙන්නේ එයින් ප්‍රකට ක්‍රම කිහිපයකි.

කොලජන් ප්‍රතිකාරය
තුවාලයක් සුවවීමට සිරුර තුළින් ම නිපදවෙන ස්වභාවික දෙයක් නම් කොලජන් ය. මෙම කොලජන් ප්‍රතිකාරයට අනුව සිදු කරන්නේ පිටතින් කොලජන් ලබාදීම මගින් සුවකිරීමට අපහසු තුවාල සුවපත් කිරීම ය. පිටතින් ලබා දෙන කොලජන් කුඩු වශයෙන් හෝ පටල වශයෙන් තුවාල සඳහා යොදා ගැනේ. බොහෝ ගැඹුරට විහිදී ගිය කල්ගත වූ තුවාල සඳහා කොලජන් කුඩු භාවිත කරන අතර නොගැඹුරු, වැඩි ප්‍රදේශයක පැතිරී ගිය පිළිස්සුම් තුවාල වැනි තුවාල සඳහා කොලජන් පටල භාවිත කෙරේ.

 

ඉහඳ පණුවන් යොදා සිදු කරන ප්‍රතිකාර
ඉහඳ තැබීම නමින් හැඳින්වෙන මෙම ප්‍රතිකාර ක්‍රමයේ දී ගෙමැස්සා වැනි මැසි වර්ගයක පණු බිත්තර සුව නොවන ගැඹුරු තුවාල මත තැන්පත් කර තුවාලය වසා දැමීම සිදුකරනු ලබයි. තුවාලය තුළදී පණු බිත්තර ඉහඳ පනුවන් බවට පත්වී තුවාලයේ අපවිත්‍ර දෑ ආහාරයට ගනිමින් ඒ තුළ ජීවත් වීම නිසා තුවාල සුවපත් වේ.

රික්තකයක් මගින් සිදු කරන ප්‍රතිකාර (වැකුම් තෙරපි)
සැරව පිරුණු කල්ගත වූ තුවාල සඳහා සුදුසු ප්‍රතිකාර ක්‍රමයකි. තුවාලයට සවිකල කුඩා උපකරණයකට සම්බන්ධ වූ ස්පොන්ජ් එකක් වැනි කොටසක් මගින් සැරව උරා ගනිමිත් පිටතට අද්දවා ගැනීම සිදුකරනු ලබයි. මෙම උපකරණය තුවාලයට සවි කර දින හතක් එක දිගට ක්‍රියාත්මක කිරීම මගින් තුවාලය සුවපත් කිරීම සිදුවේ.

ඕසෝන් ප්‍රතිකාරය
ඔක්සිජන් සැපයුම අඩුවීම නිසා හටගෙන ඇති තුවාල සඳහා වඩා යෝග්‍ය ප්‍රතිකාරයකි. ඕසෝන් වායුව පිටතින් සැපයීම මගින් තුවාලය සුව කිරීම මෙමගින් සිදුවේ.

එන්සයිම ප්‍රතිකාර
තුවාලයක රැඳී පවතින අපද්‍රව්‍ය සහ මියගිය පටක එන්සයිම යොදා ගනිමින් ඉවත් කිරීම මෙහිදී සිදු කෙරේ. සැත්කම් පිහියක් යොදා ගන්නේ නැතිව තුවාලයේ එක්රැස් වී ඇති අපද්‍රව්‍ය දිය කරවන සුළු එන්සයිම තුවාලයට දැමීම මෙම ප්‍රතිකාර ක්‍රමයේ ස්වභාවයයි.

දැනට ලංකාවේ ක්‍රියාත්මක මෙම තුවාල ප්‍රතිකාර ක්‍රම පහට අමතරව වෙනත් රටවල භාවිතා වන නවීනතම ප්‍රතිකාර ක්‍රම දෙකක් මෙසේ ය.
අධිපීඩනයට ලක් වූ ඔක්සිජන් පිරි කුටීරයක් තුළදී ඔක්සිජන් අඩුකම නිසා සුව නොවන තුවාල සඳහා සිදුකරනු ලබන අධිපීඩන ඔක්සිජන් ප්‍රතිකාරය එවැනි එක් ක්‍රමයකි. සිරුරේ සුව නොවන තුවාලය පවතින කොටසට පමණක් අධිපීඩන ඔක්සිජන් ලැබෙන්නට සැලැස්වීම මගින් ඔක්සිජන් අඩුකම නිසා සුව නොවන තුවාල සුව කිරීමේ තවත් ක්‍රමයක්ද වෙනත් රටවල සිදුකරනු ලබයි.
මෙලෙස ශල්‍ය කර්මවලින් තොරව දරුණු තුවාල පවා සුව කිරීමට හැකි දියුණු වෛද්‍ය ක්‍රම මේ වන විට පවතී. සුව නොවී නරක්ව ගිය තුවාල පවා සුව කළ හැකි ක්‍රමවේද තිබියදී නිසි ප්‍රතිකාර වෙත යොමු නොවෙමින් අත් පා අහිමි කර ගැනීම හෝ අවසානයේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවීම නොදැනුවත්කම නිසා සිදුකර ගන්නා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් නොවේද ?

උපදෙස් – වෛද්‍ය ගයාන් ජයකොඩි

ඉන්දු පෙරේරා

විනිවිද සායනය