“බොන එක නම් අන්තිම නරක වැඩක් තමයි” මෙසේ පවසන ඇතැම් බේබද්දෝ ව්‍යවහාරික වශයෙන්ම කිවහොත් “පපු කැවුතු දියවී යන තුරුම” මත් වතුර බොති.ඔවුන් යම් පිරිසක් එසේ කරද්දී අපි ද ජාතික වශයෙන් එබඳු අවාසනාවන්ත කාරියක ගිලී හිඳිමු. පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග අභියෝගයට දරුවන් සූදානම් කිරීමේදී ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක් ඔස්සේ පමණක් දරුවන්ගේ මනැස සංවර්ධනය කෙරෙන බැවින් ඔවුන්ගේ සමබර කුසලතා නැංවීමට අත්‍යවශ්‍ය අනෙකුත් ප්‍රධාන විෂය නිපුණතා හතක්ම මඟහැරෙන බව අධ්‍යාපන ඇමැති, සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.තමන් ගේ බුද්ධියෙන් පසක් කරගැනීම නිසා හෝ වෙන කාගෙන් හෝ අසා දැන එහෙමත් නැත්නම් පොතක පතකින් දැන ගැනීම නිසා ඇමතිවරයා කළ ඒ ප්‍රකාශය මුළුමනින්ම සත්‍යයයකි.ඒ සම්බන්ධයෙන් අපි පළමුව ඔහුට ස්තුති වන්ත වෙමු.අප රටේ දේශපාලනඥයකුගේ මුවින් ඉතා කලාතුරකින් පිටවන ප්‍රකාශයක් වශයෙන් ඔහු මේ බව සඳහන් කොට සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේදී පෙරේදා (14) පවත්වන ලද උත්සවයක දීය.ඒ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විෂය, ගණිතය හා සෞන්දර්යාත්මක විෂය යන මනා විෂය සංකලනයකින් යුක්තව දරුවන්ගේ නිපුණතා වර්ධක ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ලොව දියුණු රටවල භාවිත කරන නව STEAM(Sciences,Technology,Engineering,Arts,Math) අධ්‍යාපන සංකල්පය මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමේ ප්‍රවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවයයි.එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ඇමතිවරයාය.
දරුවන් පාසලේ පස්වන ශ්‍රේණිය පසුකර ශිෂ්‍යත්ව තරඟයෙන් බැහැර වී බලන විට ඒ සෙසු විෂය සම්බන්ධ මොළයේ වර්ධන හැකියාවද මොට වී ඇති බවත්, මේ ඛේදජනක තත්වයෙන් මිදීමට නම් දරුවා පාසල් විෂය මාලාවට කොටු නොකොට ඉන් බැහැරට විහිදයන පරිවර්තනීය වෙනසක් හැකි ඉක්මනින් මෙරට අධ්‍යාපනයට ඇතුළු වියයුතු බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.රට පුරා පිහිටි සියලු පාසල් නියෝජනය වන පරිදි විවිධ ජාතීන්ට, ආගම්වලට අයත් උසස් පෙළ විද්‍යා, ගණිත විෂය ධාරා හදාරන සිසුන් 500ක් සහභාගී කරගනිමින් මෙම වැඩමුළුව පවත්වන ලදී.එහිදී ඔවුන් ඇමතූ ඇමතිවරයා සිසුන් විවිධ තාක්ෂණික හා අධ්‍යයන ආයතනවලට යොමු කර සෛද්ධාන්තික විෂය දැනුම ප්‍රායෝගිකත්වය හා මුසුකර ලබාදීමට පියවර ගෙන ඇති බවත් එහිදී භාෂා, ජාති වැනි කිසිදු වාර්ගික බාහිර වෙනසකින් තොරව එකම අධ්‍යයන අරමුණක සිසුන් සාර්ථකව රැඳවීම ප්‍රධාන අපේක්ෂාවක් වූ බවත් කීය. එමෙන්ම මේ STEAM අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන මඟින් ඉදිරියේදී මෙරට පාසල්වල එය ක්‍රියාත්මක ආකාරය පිළිබඳ පූර්ව සමීක්ෂණයක් සිදු කරන බව කී ඇමතිවරයා ඉදිරියේදී කෘත්‍රිම බුද්ධි විෂය පථයේ ව්‍යාප්තියත් සමඟ ලෝකය පුරා දැනට පවතින බොහෝ රැකියා අවස්ථා මිනිසුන් හට මුළුමනින්ම ඉවත්වන බවද කීය.මේ ඔස්සේ වෛද්‍යවරුන්, නීතිඥයන් වැනි වෘත්තිකයන්ගේ පවා රැකියා බරපතල අභියෝගයකට ලක්වන බවත්, ඒ තත්වයට මුහුණ දීමේ සහ ඔරොත්තු දීමේ හැකියාව මෙරට අනාගත පරපුරට ලබාදීමට අවශ්‍ය බවත් ඇමතිවරයාගේ අදහස විය.
එබැවින් මෙම වැඩමුළුව ජාත්‍යන්තර මට්ටමේ නව තාක්ෂණික අධ්‍යාපන ක්‍රමවේදයකට අධ්‍යාපන පද්ධතිය අනුගත කරවීමේ පෙර පුහුණුවක් වශයෙන් මිස මෙය කිසිසේත් උපකාරක පන්ති මඟින් සපුරාගත හැකි විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයකට මඟ පාදන්නක් නොවන බවත් මෙය හුදෙක් බහුවිධ කුසලතා පූර්ණ නිපුණතා පාදක ක්‍රමවේදයක් බවත් ඇමැතිවරයා මෙහි දී කියා සිටියේ ය. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා මෙහි දී කී බහුවිධ කුශලතා යන්න අපි බොහෝ දෙනෙක් අසා ඇත්තෙමු.වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිඳන බොහෝ දෙනකු හොවාඩ් ගාඩ්නර් නම් ඇමරිකානු සංවර්ධන මනෝ විද්‍යාඥයා විසින් සවිස්තරාත්මක ලෙස හඳුනාදුන් බහුවිධ බුද්ධි න්‍යාය(Multiple Intelligence ) ගැන ඕනෑ තරම් තොරතුරු දැන කියාගෙන හිඳින්නට පුළුවන.මෙමඟින් ගාඩ්නර් සිදු කොට ඇත්තේ මානව ඉතිහාසය සම්බන්ධයෙන් ගත් විට ඓතිහාසික මෙහෙවරකි.එනම් මෙතෙක් බෙදා නොමැතිව දළ වශයෙන් මායිම් ළකුණු කොට තිබූ ළමා බුද්ධිය නම් ඉඩම කිනම් හෝ පිරිවිතරයන් මඟින් බෙදා වෙන්කිරීම ය.ඒ බෙදුමේ සාකල්‍ය නිරවද්‍යතාව පසුව විමසා බලන තුරු අප දැන් කළ යුත්තේ “ඉන්නා අශ්වයාගේ පිට නඟින්නාක් මෙන්” දැනට අධ්‍යාපනය සඳහා යොදාගත හැකි හොඳම මාර්ගෝපදේශනය ලෙස හොවාඩ් ගාඩ්නර්ගේ බහු විධ කුශලතා න්‍යාය ප්‍රායෝගික ලෙස මෙරට අධ්‍යාපනය තුළට අන්තර් ග්‍රහණය කිරීමය.එහෙත් “අපි ඕක ඒ කාලෙ ඉගෙන ගත්තා නිබන්ධනත් ලියලා තියනවා.ඒත් කිව්වම මොකද?දැන් නම් ඒ කිසිම දෙයක් මතක නෑ”යනුවෙන් සිනා මුවින් පවසන අධ්‍යාපන බලධාරීන් බහුතරයකගෙන් යුතු අප රටේ ඇමති වරයා පවසන මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය “වඳුරන්ගේ කූඩු තැනීමකට එහා ගිය හොත් එය ලෝක පුදුමයකි. අනෙක ලොව සෑම දියුණු රටකම ආණ්ඩු මාරු වන විට කිසිසේත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් තිබේ.එහෙත්, අප රටේ ඇත්තේ බල්ලාට ඕනෑ ලෙස වලිගය වැනීම වෙනුවට වලිගයට ඕනෑ ලෙසට බල්ලා වැනීම”වැනි මුළුමනින්ම විපරීත පිළිවෙතකි.
ඒ තත්වය යටතේ සුසිල් ප්‍රේම ජයන්ත ඇමතිවරයාගේ මේ සිහිනය සැබෑ නොවීමට ඇති ඉඩකඩ බොහෝ ය.එහි අවසන් ප්‍රතිඵලය වනුයේ මේ වන විට උගතුන් විද්වතුන් ලෙස පෙනී සිටින තම විෂය පථයෙන් පරිබාහිර දේ පිළිබඳව හයක් හතරක් නොදත් “උගත් මෝඩයන්” පොකුරු පිටින් සමාජ ගත වීම පමණි.එබැවින් ඇමතිවරයා ගේ මෙම ප්‍රකාශය ප්‍රායෝගික වැඩ පිළිවෙලක් බවට පත්කිරීමට කිනම් හෝ සහායක් දැක්වීම මෙරට සෑම පුරවැසියකුගේම අත්හැරිය නොහැකි යුතුකමක් හා වගකීමක් වනු නිසැකය.
රේණුකා දමයන්ති