‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 1,300කට හානි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වූ ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට බලපෑම් එල්ල වූ අතර ඇති වූ තද සුළං සහ ගස් කඩා වැටීම් ආදිය හේතුවෙන් නිවාස 1,300කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල, මොනරාගල, නුවරඑළිය, අම්පාර, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ යාපනය යන දිස්ත්‍රික්කයන්ට මෙම බලපෑම එල්ල වූ අතර, ඉන් පවුල් 1,302කට අයත් 4,335 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මැන්ඩවුස්” සුළි කුණාටුව අද (10) අළුයම් කාලය වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් අද දහවල් වන විට පීඩන අවපාතයක් දක්වාත් තවදුරටත් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි එමගින් ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇත.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලීන පුවත්