සේල් බෝඩ් ගසා පාරිභෝගිකයන් රැවටීම වැඩිවෙයි

අවුරුදු සේල් ලෙස පුවරු ප්‍රදර්ශනය කරමින් පාරිභෝගිකයන් රැවටීමට ලක් කළ වෙළෙඳ ව්‍යාපාරිකයන් 36කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

උත්සව සමයේදී පාරිභෝගිකයන් රැවටීමට සහ අසාධාරණයට ලක්කිරීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුර මේ දිනවලදී විශේෂ වෙළෙඳපොළ වැටලීම් ආරම්භ කර තිබේ.

ඒ අනුව දිවයින පුරා ඇති සේල් පිළිබඳව මෙවර වැඩි අවධානයක් යොමු කර තිබේ.

එම අධිකාරියට වාර්තා වී ඇත්තේ බොහෝමයක් ප්‍රදේශවල විශේෂ වට්ටම් සහිත සේල් යනුවෙන් සඳහන් කර පවත්වාගෙන යන සේල් පාරිභෝගිකයන් රැවටීමකට ලක් කරන බවය.

උදාහරණයක් ලෙස සියයට 50ක වට්ටමක් ලබා දෙන බවට වෙළෙඳසල ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබුණද පාරිභෝගිකයාට එම වාසිය නොලැබෙන අතර සියයට 50ක වට්ටමක් ලබා දෙන බවට වෙළෙඳසල ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇත්තේම පාරිභෝගිකයන් වෙළෙඳසලට ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව බවද එම අධිකාරිය සඳහන් කරයි. අදාළ වැටලීම්වලට ලක්වූ ව්‍යාපාරික ස්ථාන අතර ඇඳුම් පැලඳුම් හා විදුලි උපකරණ අලෙවිය සිදුකරන සේල් සම්බන්ධව වැඩි අවධානයක් යොමු වූ අතර ඉදිරියේදී සිදුකරනු ලබන වැටලීම්වලදීද ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

සේල් මගින් භාණ්ඩ අලෙවි කිරීමේදී විදුලි උපකරණ සඳහා ලබාදිය යුතු මාස 6ක වගකීම පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවත්, පාරිභෝගිකයන් නොමග යවන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවත් වෙළෙඳුන් දැනුම්වත් කරන අතර වෙළෙඳපොළේදී භාණ්ඩ මිලදීගැනීමේ දී සෑමවිටම කල්පනාකාරීව තෝරා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන ලෙසත් ගැටලුවක් ඇති වුවහොත් අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා අනිවාර්යයෙන්ම බිල්පතක් ඉල්ලා සිටින ලෙසත් පාරිභෝගිකයන් දැනුවත් කරනු ලැබේ.

කාලීන පුවත්