සොබා දහම පුදන කෘතවේදී තෛපොංගල් අදයි

ශ්‍රී ලංකා වාසී සහ ලෝක වාසී හින්දු බැතිමතුන් සියලු දෙනා විසින් ඉමහත් බැතියෙන් යුතුව සමරනු ලබන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.තම ජීවන යහපැවැත්මට ඉවහල් වන සොබා දහමට කෘතගුණ සැලකීම තෛපොංගල් උත්සවයේ ප‍්‍රධාන අරමුණකි.හින්දු දින දර්ශනයේ එන තායි මාසයේ යෙදෙන මෙම සැමරුම හඳුන්වන පොංගල් යන දමිළ වචනයේ අදහස “උතුරා යාම හෙවත් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකති.. හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරයි.මෙම උත්සවය සෞභාගය සහ ස්තුති කිරීම හා බැඳී පවතින අතර තම අස්වැන්න සරු වීමට උපකර කළ වර්ෂාව, සූර්යයාට සේම ගව මහීෂාදී සතුන්ට ස්තූති කිරීම ද මෙම උත්සවයේ දී අනිවාර්යෙන් සිදු කෙරේ.මෙදින අලුත් මුට්ටියක බත් , හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිලි ආදියෙන් පළමුව හිරු දෙවියන් පිදෙන අතර මට්ටු පොංගල් නම් වන දෙවන දිනයේ දී තම කෘෂිකාර්මික කටයුතු උදෙසා සහාය දෙන ගව මහීෂාදීන්ට උපහාර දැක්වීමක් සිදු කෙරේ.ඒ අනුව උතුම් මිනිසත් බව සංකේතනය කෙරෙන සොබා දහමට ගරු කිරීම හා තම දිවි පැවැත්මට සහාය දෙන සතුන්ට පවා කෘතවේදී වීම පදනම් කරගත් මේ උතුම් සැමරුමේ යෙදෙන ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සෑම හින්දු භක්තිකයකුටම අපි ශීර්ෂ ප්‍රණාමයෙන් ආශීර්වාදාත්මක සුබ පැතුම් එක් කරමු.

කාලීන පුවත්