හදිසියේ මියයන සුරතල් සතුන්ටත් මරණ පරීක්ෂණ

තමන් ආදරයෙන් ඇති දැඩි කරන සුරතලෙකු හදිසියේ මියගියහොත් එය පවුලේ සාමාජිකයින්ට විශාල කම්පනයක් ඇති කරවන සිදුවීමකි. එනිසා ම එයට හේතුව දැන ගන්නට ඔවුන් මහත් සේ උත්සුක වනු ඇත. මෙය බොහෝ සෙයින් බලපාන්නේ කවුරුන් විසින් හෝ සිදු කරන ලද නොපනත් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස සතා මිය ගියේ යැයි සැකයක් ඇති වූ විට ය. එය දිගු කලක් විඳවමින් සිටින්නේ නැතිව මෙයට හේතුව දැන ගත හැකි ක්‍රමයක් වන්නේ සතා මිය ගිය සැනින් පශු වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඒ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටීම මගිනි.

එලෙස හේතුවක් සොයා ගැනීමට නොහැකිව මිය ගිය සතෙකු සම්බන්ධයෙන් බාහිරව දැකගත හැකි වෙනස්කම් නිරීක්ෂණය කර මරණයට හේතුව පිළිබඳව නිගමනයකට ඒමට බොහෝ විට පශු වෛද්‍යවරයෙකුට හැකියාව තිබේ. නමුත් බාහිරින් හඳුනාගත හැකි වෙනස්කම් නොමැති වූ විට ශරීර කොටස් අන්වීක්ෂ පරීක්ෂණයකට හෝ ජෛව රසායනික පරීක්ෂණයකට ලක් කිරීමෙන් මරණයට මුල් වූ සැබෑ හේතුව සොයා ගැනීම අද වන විට අසීරු කරුණක් නොවේ. සතුන් සම්බන්ධයෙන් මෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ වැදගත් වන අවස්ථා කිහිපයක් තිබේ. මේ කතා කරන්නේ ඒ පිළිබඳව යි.

* හඳුනා නොගත් රෝගයකට ප්‍රතිකාර කරමින් සිටින විටෙකදී සතකු මිය ගියහොත්, ඒ මරණයට හේතුව වසංගත රෝගයක් හෝ වෙනත් මාරාන්තික රෝගයක් දැයි නිශ්චිතව හඳුනාගෙන, අනෙක් සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් වැදගත් වේ.

* සතා මිය ගියේ කවුරුන් හෝ වසක් විසක් දීම නිසා හෝ සතාගේ මරණය වෙනත් අපරාධයකට වක්‍රව සම්බන්ධ යැයි සැක කරන අවස්ථාවක දී ද පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට සිදු විය හැකිය.

ඉහතද සඳහන් කළ පරිදි මියගිය සතකුගේ බාහිරින් පෙනෙන වෙනස්කම් නිරීක්ෂණය කරමින් මරණයට හේතුව පිළිබඳව වාර්තාවක් සැපයීමට ඕනෑම පශු වෛද්‍යවරයකුට හැකියාවක් තිබුණත්, එලෙස අවසන් තීරණයකට එළඹීම අසීරු අවස්ථාවන්වලදී රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමට සිදුවේ. එවැනි රසායනාගාර පරීක්ෂණයක් සඳහා V.R.I. නමින් හැඳින්වෙන පේරාදෙණිය, ගන්නෝරුව පශු පර්යේෂණ ආයතනයේ සහාය ලබා ගැනීමට හැකියාව ඇත. ඊට අමතරව ලංකාව පුරා දිස්ත්‍රික් ගණනාවක පිහිටුවා ඇති පශු විමර්ශන මධ්‍යස්ථාන මගින් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙන් ද සතෙකු ගේ සැකකටයුතු මරණයක් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටීමේ හැකියාව තිබේ.

පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය