මේ වනවිට රට තුළ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්වීම් නිසා නුදුරේදීම අප රටට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (04) පෙරවරුවේ පැවසීය.කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවිම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේය .පසුගිය දිනවල පැවැති දැඩි නියඟය නිසා කුඹුරු අක්කර 70,000ක් පමණ විනාශ වී ඇති අතර දැනට පළාත් කිහිපයකට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා අස්වනු නෙලීමට ආසන්නව තිබූ අක්කර සිය ගණනක වී වගාව ද විනාශ වී ඇති බව ද මෙහි දී අවධාරණය කෙරිණ.එමෙන්ම පහතරට එළවළු වගාවන් ද මේ වනවිට වර්ෂාව නිසා විනාශ වී ගොස් ඇති බව ද පෙන්වා දෙන ලදී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කර තිබු අක්කර 15,000ක පමණ මුං ඇට වගාවන් ද මුළුමනින්ම විනාශව ගොස් ඇත. රටේ සමස්ත මුං ඇට අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ මෙම වගාව තුළින් ලබා ගැනීමට හැකිව තිබුනි.මේ නිසා ආහාර අහේනි තත්ත්වයක් උද්ගත වීමට ඇති ඉඩකඩ සම්බන්ධව අවධාරණය කළ අමාත්‍යවරයා හැකි පමණින් ගෙවතුවල එළවළු වගා කිරීමේ වැඩ පිළීවෙළක් හා මෙවර මහ කන්නයේ ආහාර බෝග වගා සැලැස්මක් වහාම ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.එමෙන්ම කාලගුණික වෙනස්කම් නිසා ආහාර බෝග හානිය සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වහාම ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.