හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන යුද නැවක් නිසා මේ දිනවල යම් උණුසුම් තත්ත්වයක් මතු වී තිබෙනවා. මෙම නැව නිසා විශේෂයෙන් ඉන්දියාව තරමක් නොසන්සුන් වී ඇති බවයි පෙනෙන්නේ. ඉන්දියානු සාගර කලාපයේ බලය වෙනුවෙන් චීනය සහ ඉන්දියාව අතර දැඩි බල පොරයක් පවතින බව රහසක් නොවෙයි. මෙම කලාපය තුළ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමෙහි ඇති වැදගත්කම නිසා මෙම බලවතුන් දෙදෙනාම ලංකාව තමුන්ගේ කඳවුරේ තබා ගැනීමට ලොකු උනන්දුවක් දක්වනවා. මේ දිනවල ඉන්දියාව ශ්‍රී ලංකාවට විශාල වශයෙන් උදව් කරමින් සිටින්නේ ද මෙම පසුබිම තුළ යි. පසුගිය කාලයේ චීනයේ හෙවනැල්ලට යට වී සිටි ශ්‍රී ලංකාව තමුන් වෙත දිනාගැනීමට මේ හරහා ඉන්දියාව උත්සාහ කරමින් සිටින බව බොහෝ නිරීක්ෂකයන්ගේ අදහස යි. චීන යුද නැව හම්බන්තොට වරායට එන්නේ මෙවැනි පසුබිමක් තුළ යි.
යුවාන් වැං-5 නැමැති මෙම නැව ඉතා දියුණු තාක්ෂණයෙන් යුතු නැවක් ලෙස හැඳින්වෙනවා. එය ක්‍රියාත්මක වන්නේ චීනයේ මහජන විමුක්ති හමුදාවේ උපායමාර්ගික ආධාර බලකාය යටතේ යි. චන්දි්රකා සහ අන්තර් මහාද්වීපික බැලිස්ටික මිසයිල පිළිබඳ අවධානයෙන් සිටීම මෙම නෞකාවේ එක කටයුත්තක් බවයි පැවසෙන්නේ. ඇතැම් ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ ඔත්තු බැලීමේ හැකියාව ද මෙයට ඇති බවයි. යුවාන් වැං 5 නැව හම්බන්තොට වරායට පැමිණීම ගැන ඉන්දියාව නොසන්සුන් වී ඇත්තේ මන්ද යන්න මේ අනුව සිතා ගැනීම අපහසු නැහැ.
නෞකාව වරායට සේන්දු වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 11 වැනි දින යි. එය මේ වනවිට චීනයට නැගෙනහිර දෙසින් ශ්‍රී ලංකාව බලා ගමන් කරමින් සිටින බව පැවසෙනවා. වාර්තා වන ආකාරයට නෞකාව සතියක පමණ කාලයක් හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබෙනු ඇති. ඒ ඉන්ධන නැවත පුරවා ගැනීම ඇතුළු නඩත්තු සේවා වෙනුවෙනුයි. යුවාන් වැං නෞකාව මෙම කලාපයට පැමිණෙන්නේ ඉන්දියානු සාගරයේ වයඹ දිග ඉසව්ව කේන්ද්‍ර කරගෙන අභ්‍යවකාශයට සහ චන්ද්‍රිකාවලට අදාළ නිරීක්ෂණ කටයුතුවල නිරත වීම සඳහා බව පැවසේ.
මෙම නැව් ගමන සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඉන්දියාවේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයකු මාධ්‍යය සමග පවසා තිබුණේ ‘එරට ආරක්ෂාවට සහ ආර්ථික අභිලාෂයන්ට බලපෑමක් විය හැකි සියලුම අලුත් තත්ත්වයන් ගැන දැඩි පරීක්ෂාවෙන් පසුවන’ බවයි. ඉන්දියාව මෙම ප්‍රකාශය කිරීමත් සමගම චීනයත් ‘එකට එක’ ප්‍රකාශයක් කර තිබෙනු දැකිය හැකි වුණා. අදාළ පාර්ශ්ව චීනයේ නීත්‍යානුකූල නාවුක කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වැලකී සිටිනු ඇතැයි තමුන් බලාපොරොත්තු වන බව චීන බලධාරීන් පවසා තිබුණා. මේ අනුව පෙනෙන්නේ යුවාන් වැං 5 නෞකාවේ හම්බන්තොට ගමන කේන්ද්‍ර කරගෙන එම දෙරට අතර යම් ආතතියක් වර්ධනය වෙමින් ඇති බවයි. ඉදිරියේ දී මෙම තත්ත්වය යහපත් ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමේ අභියෝගයට ශ්‍රී ලංකාව ද මුහුණ දී සිටිනවා.
ලංකාව මේ වනවිට සිටින්නේ මෙම පාර්ශ්ව දෙකේම සහය අවශ්‍ය වන තත්ත්වයක බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඉන්දියාව මෙම වසර තුළ මේ වනවිටත් ඇ. ඩොලර් බිලියන 4 ක පමණ ණය සහ වෙනත් ආධාර ලංකාවට ලබා දී තිබෙනවා. මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉදිරියේදීත් තවදුරටත් ඉන්දියාවේ සහය මෙරටට අවශ්‍ය වනු ඇති. ඒ අතර චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කර ගැනීමේ අවශ්‍යතාව ද ලංකාව හමුවේ තිබෙනවා. ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යම් සහනයක් ලබා ගැනීම සඳහා මෙම ප්‍රතිව්‍යූහගත කිරීම අතිශයින් වැදගත් වනු ඇති. මෙම තත්ත්වය තුළ ඉන්දියාව සහ චීනය යන දෙපාර්ශ්වය සමග ම යහපත් සබඳතා පවත්වාගැනීමට ශ්‍රී ලංකාවට සිදුවන බව රහසක් නොවේ.
යුවාන් වැං නෞකාවේ ගමනට එරෙහිව මේ වනවිට ඉන්දියාව යම් වාචික විරෝධයක් ශ්‍රී ලංකා රජය වෙත යොමු කර ඇති බවත් සඳහන්.
නිහාල් පීරිස්