හාම්පුතුන්ටවත් දෙවෙනි වන්නට අකමැති බළල් යාළුවෝ

“සාර්ථක මිනිසකු පිටුපස බල්ලෙක් සහ බළලෙකු සිටී” .මෙය බැලූ බැල්මට ම ඔබ තුළ සිනා උපදවන්නට සමත් කරුණක් විය හැකිය. නමුත් “සෑම සාර්ථක මිනිසෙකු විසින් ම තම නිවසෙහි බල්ලෙකු සහ බළලෙකු ඇති කළ යුතු ය ” යන්න චීන කියමනකි.

එක්වරම අපට නොපෙනෙන නමුදු මෙහි විශාල සත්‍යයක් ඇත. මේ පිළිබඳව පැහැදිලි කරන විද්‍යාඥයෝ මෙසේ පවසති.

බල්ලා විසින් නියෝජනය කරන්නේ අපට බාහිර සමාජය තුළින් ලැබෙන සැලකිලි ය. එම සැලකිලි වලින් හිස උදුම්මාගත් මිනිසාට බළලා ගෙන් ලැබෙන්නේ ඊට පරස්පර ප්‍රතිචාරයකි.

එනම් බළලා හැම විටම සිතා සිටින්නේ තම නිවසේ හාම්පුතුන් යනු තමාගේ සම තත්ත්වයේ අය ලෙස ය. නොඑසේ නම් හාම්පුතුන්ටත් වඩා තමන් ඉහළ මට්ටමක සිටින බව ය.

ඒ අනුව තමන් පිළිබඳව අධි තක්සේරුවකින් සිටින මිනිසාව “ගණන් නොගන්නා ” මේ කුඩා සුරතලා, මිනිසාට තමන් සිටින තැන පිළිබඳව අවබෝධයක් ඇති කර දීමට සමත් වේ. ඒ අනුව මිනිසාගේ සිතිවිලි සමතුලිත කරන්නේ බළලා ය.

සත්ව විද්‍යාඥයන්ගේ මතයට අනුව හීලෑ බළලා අප්‍රිකානු වල් බළලා ගෙන් පැවත එන්නෙකි.

අතීතයේ මෙම වල් බළලා ව හීලෑ කරගෙන තිබෙන්නේ මිනිසාට හානිකර වූ මීයන් වැනි සතුන් විනාශ කිරීම සඳහා ය. ගොදුරු අල්ලා ගැනීම සම්බන්ධයෙන් බළලාට තිබෙන සහජ හැකියාව ඉතා ප්‍රබල ය.

ගොදුරක් දුටු විට බළලාගේ තියුණු සංවේදී ඉන්ද්‍රියන් යුහුසුළුව ක්‍රියාත්මක වන අතර ඉතාමත් නිසොල්මනේ සෙමෙන් සෙමෙන් ගොදුර වෙත ළංවෙමින් ඒ මතට වහාම පනින මෙම අපූරු රිද්මය බළල් කුලයෙහි ආවේණික ලක්ෂණයකි.

දඩයම් කිරීමේදී බළලාට මහත් පිටිවහලක් සපයන්නේ විවිධ දිශාවන්ට හැරවිය හැකි උගේ කන් දෙක ය. ඒවාට අවට පවතින අති සියුම් ශබ්ද පවා ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඇත. එසේම දවල්ට මෙන්ම රාත්‍රියට ද එකසේ බලපාන බළලාගේ තියුණු පෙනීමේ ශක්තියත්, ස්පර්ශ ඉන්ද්‍රියක් ලෙස ක්‍රියා කරන රැවුල් ගස් සහ ඇහිබැමිවල ඇති දිගු කෙඳිත් දඩයමට මහත් පිටිවහලක් සපයයි.

බළලාගේ නියපොතු ඉතා තියුණු ය. මේවා කොපුවක් අස්සේ රඳවා තබන්නට තරම් සොබා දහම කාරුණික වී තිබේ. ගොදුරක් අල්ලා ගැනීමට හෝ ප්‍රතිවාදියකු මෙල්ල කිරීමට අවශ්‍ය වූ විට කොපු තුළ සැඟවී තිබෙන මෙම තියුණු නිය හෙවත් බළලාගේ ආයුධය ඉබේම පිටතට පැමිණෙයි.

ක්‍රීඩා කිරීම තුළින් අප ලබන සතුට වැනිම සතුටක් බළලා ද ක්‍රීඩා කිරීමෙන් ලබයි. බළලා ක්‍රීඩා කරන්නේ ඌ අල්ලා ගන්නා ගොදුරක් සමග ය. බාගෙට හෝ සම්පූර්ණයෙන් මරාගත් සතකු අල්ලාගෙන ඒමේ අතට විසි කරමින් , උඩ දමමින්, අතින් ඇන බලමින් ඌ සෑහෙන වෙලාවක් ගොදුර සමග ක්‍රීඩාවෙහි යෙදෙමින් මහත් ආශ්වාදයක් ලබයි.

බළලා හැමවිටම තම හාම්පුතුන් හා සම තත්ත්වයෙන් හෝ ඇතැම් විට ඊටත් ඉහළින් සිටින්නට කැමති බව ඉහත ද සඳහන් කළෙමු. ඔබ කිනම් හෝ භාරදූර වූ කර්තව්‍යයක වුවද නියැලෙන විට බළලා එතැනට පැමිණ උගේ ආධිපත්‍යය ඔබට පෙන්වන්නේ ඒ නිසාය. කවදාවත් ඔබට දෙවෙනි වෙන්නට ඔබේ බළල් සුරතලා කැමති වන්නේ නැත.

බල්ලන්ගේ මෙන් බළලුන් තුළත් තුළත් ඊර්ෂ්‍යා ලක්ෂණ පවතී. ඔබේ නිවසට අමුත්තන් පැමිණි මොහොතක කුඩා දරුවකු සිටියොත් බළලා බොහෝ විටම එම දරුවාට පහර දෙන්නට තරම් ප්‍රකෝපකාරී වෙයි.

ඊට හේතුව නිවසේ සුරතලෙකු ලෙස තමාට තිබූ තැන තව කෙනෙකුට හිමි වෙනවාට උගේ තිබෙන නො කැමැත්තයි. එසේම එකවර බළලුන් දෙදෙනකු හෝ වැඩි ප්‍රමාණයක් ඇති කරන විට ද බළලුන්ගේ සුරතල් ගති සීමාවෙයි. එයට හේතුව තවත් බළලෙකු ඉදිරියේ මිනිසා සමග සුරතල් වීමට බළලා දක්වන අකමැත්තයි. එසේම මේ හේතුව මත ඌ තමන්ගේ හාම්පුතුන් වෙතින් ඈත් වීම ද සිදුවිය හැකිය.

තම වර්ගයා බෝ කිරීම සම්බන්ධයෙන් නම් බළලා සෑහෙන වැඩ කොටසක් ඉටු කරයි. ඒ කාලයට ඔබේ පිරිමි බළල් සුරතලා දින කිහිපයක් වුවද නිවසට නොපැමිණ සිටිය හැකිය.

එම දින ගණන් පසුකර යළි නිවසට පැමිණෙන බළලා තුළින් ඔබට වෙනදා දුටු සුරතල් ගති දකින්නට නොලැබෙනු ඇත. ඌ පෙරදී තරම්වත් ඔබව ගණන් නොගෙන ආධිපත්‍ය ලීලාවක් ඔබ වෙත පළ කරන්නටද පුළුවන.

බළලා පිරිසිදුකම අගයන සතකු වශයෙන් ප්‍රචලිත ය . නිතරම තම මුහුණ ඇතුළු සකලවිධ ශරීරය ම පිරිසිදු කරගන්නා බළලා සුරතලෙකු වශයෙන් මෙම පිළිගැනීමට ලක්වීමේ හේතුව ද මෙම පිරිසිදුකම විය හැකිය.

ඔබ මානසික ආතතියෙන් පෙළෙන හැමවිටම ඔබේ සුරතල් බළලා ව ඇසුරු කරන්න. එසේ නොහැකි නම් අඩු තරමින් උගේ ඉරියව් හෝ නිරීක්ෂණය කරන්න. ඔබේ සිතට මහත් අස්වැසිල්ලක් දැනෙනු නියතය.

ඔබේ බළල් සුරතලා තද නින්දේ සිටින අවස්ථාවක් මනා පරීක්ෂාවෙන් බලා සිටියොත් ඔබේ මුහුණට ඉබේම සිනාවක් නැගෙනු ඇත.

මානසික ව්‍යාකූලතාවය, සුළු සුළු මානසික ආබාධ මෙන්ම දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්ට ද සහනයක් ලබාදීම සඳහා බළලා සමත් වන බව වෛද්‍ය විද්‍යාවෙන් සනාථ කොටගෙන තිබේ.

ඒ සඳහා පවත්වාගෙන යන රෝහල් පවා ඇමරිකාව, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රියාව ආදී රටවල් කීපයකම පවත්වාගෙන යනු ලබයි.

ඇතැමුන් බළලුන් වඩා ගැනීම මෙන්ම ඌ තමන්ගේ ඇඟේ ඇතිල්ලෙනවාටද කැමති නැත. එසේ නම් බළලා ට මඳක් ඈතින් හිඳ ගෙන වූ උගේ ඉරියව් නිරීක්ෂණය කළහොත් ඔබේ මුහුණට සිනාවක් නැගෙනු නිසැක ය.

එමගින් පවා ආදරය, කරුණාව, දයාව වැනි මානුෂීය ගුණ ධර්මයන්ගෙන් ඔබේ හදවත පවිත්‍ර කොට, ඔබ නිරෝගී ප්‍රසන්න පුද්ගලයෙකු කිරීමට මෙම බළල් සුරතලා ට තිබෙන හැකියාව අත්දැකීමෙන්ම පසක් කර ගැනීමට ඔබට හැකිවනු ඇත.

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය