හැත්තෑ පස් වන නිදහස් සමරුමෙන් පසු පස් විය යුතු “හැත්ත” ගැන ඇත්ත කතාව

නොයෙකුත් සමාජමය කලබැගෑනි මත හැත්තෑ පස් වන නිදහස් සමරුම ද නිමා විය. ශ්‍රී ලංකාවට නිදහස හිමි වීමේ ජාතික සංසිද්ධිය මෙතරම් හුදු දේශපාලනයට නතු වීමක් ගත වූ හැත්තෑ හතරක අතීතයක් සහිත නිදහස් ශ්‍රී ලංකාවේ කිසි දිනෙක සිදුව නැත.ලෝක කම්කරු දිනය නම් කේක් ගෙඩියේ කුට්ටි අප රටේ විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් කඩා වඩාගෙන බඩ වඩා ගැනීම බඳු ඛේදවාචකයට නිදහස් සැමරුම් දිනය ලක් ව තිබුණේම නැත.මෙම විපර්යාසයට හේතුව රට තුළ වර්තමානයේ පවත්නා දැඩි ආර්ථික, දේශපාලන අර්බුදය හමුවේ රුපියල් මිලියන දෙසීයකටත් වැඩි මුදලක් වැය කොට හැත්තෑ පස් වන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවය අභිමානවත් අන්දමින් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය කටයුතු කිරීම ය.
වර්තමානයේ රට පවත්නා අතිශය අර්බුදකාරී වාතාවරණය යටතේ හැත්තෑ පස් වන නිදහස් සැමරුම් රාජ්‍ය උත්සවය වෙනුවෙන් දරා ඇති මෙම වියදම අති විශාල මුදල් නාස්තියක්ද? නැද්ද? යන්න වෙනම විමසා බැලිය යුත්තකි. එහෙත්, හැත්තෑ පස් වන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවය පසෙක තිබියදී පොදුවේ මෙවර නිදහස් සැමරුම සම්බන්ධ දැඩි විරෝධතා එල්ල කිරීමට භාවිතා කළ ප්‍රධානම පාඨයක් වූයේ ‘හැත්ත’ ‘පස්වන’ නිදහස් සමරුවක් යන්න ය. මෙය “හැත්තෑ පස් වන” යන්නෙහි විකෘතියක් බව පෙනේ.මෙහි සඳහන් “හැත්ත” යන්න “ගර්හිත ජන කොටස” යන්න පැවසෙන අව වහරකි.හැත්ත යන්න “හැතිකරය” ලෙස ද ජන වහරේ එහි. මෙම නිදහස් සැමරුම් රාජ්‍ය උත්සවය සඳහා හිටපු ජනපති වරුන් වන ගෝඨාභය රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සේම චන්ද්‍රිකා බණ්ඩාරනායක ද පැමිණියේ නැත. වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නොපැමිණියේ තමන් නො එන බව කලින්ම දන්වමිනි. එහෙත්, නිදහස් සැමරුම් රාජ්‍ය උත්සවයට එක් නොවූ ඔවුන් වෙනයම් ආකාරයක හෝ නිදහස් සැමරුමක් සිදු කරනු ද නොදක්නා ලදී.මට හැඟෙන ආකාරයට නම් මෙය ද සුළුවෙන් තැකිය යුත්තක් නොවේ.ඒ අනුව වැටහී යනුයේ ඔවුන් ද නිදහස් සැමරුම් රාජ්‍ය උත්සවය සහ වෙනත් නිදහස් සැමරුම් පටලවා ගෙන බවකි.නමුත් බොහෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මෙම පටලවා ගැනීමට හසු නොවූ බව වාර්තා විය.
එමෙන්ම ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ සංසිද්ධිය දේශපාලන වේදිකා මත දී ඉකුත් කෙටි කාලය තුළ කෙතරම් නිග්‍රහයට සමච්චලයට ලක් වීද යත් ඇතැමුන් එය හඳුන්වන ලද්දේ “හැත්තෑ හතර වසරක ශාපය” ලෙසිනි. ඒ අනුව ඔහුන් දැන් එය හැත්තෑ පස් වසරක ශාපය ලෙසින් යාවත් කාලීන කරනු ඇත. ඉන් අනියම් ව හැඟී යන ප්‍රධාන කරුණක් තිබේ. එනම් අප රට ඉංග්‍රීසි පාලනයට නතු වූ 1948 තෙක් වන කාල සීමාව ශාප ලත් යුගයක් “නොවන’ බවක් ඔවුන් වටහා ගෙන ඇති සෙයකි..මේ අතර මාතර ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක නිදහස් උත්සවය වෙනුවෙන් ජාතික කොඩි අලෙවි කළ පදික වෙළඳුන්ට එම ජීවනෝපාය අහිමි කරමින් ජාතික කොඩි වෙනුවට කළු කොඩි විකුණන මෙන් තර්ජනය කළ කණ්ඩායම් ගැන ද අසන්නට ලැබිණ.හැත්තෑ පස් වන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවය සඳහා රජය අධික මුදලක් වැය කළ නිසාම මෙවර නිදහස් දිනයේ දී නිවෙස් වල ජාතික කොඩි පවා නො එසවිය විය යුතුය යන “තියරිය” අපට මීට මීට වසර තිස් පහක තිස් හයක අතීතයක් සිහි ගන්වයි.
මෙවර ඇතැම් දේශපාලන වේදිකා මත දී පුන පුනාම කී සහ තවමත් පවසන අන්දමට 1948 වසරෙන් පසු අප රට මුළුමනින් ම විනාශයට පත් කරන ලද්දේ එදා මෙදා
අප රට පාලනය කළ දේශපාලනඥයන් විසිනි. ඔවුන් පවසන අන්දමට එවක රාජ්‍ය තන්ත්‍රය නියෝජනය කළ නිලධාරීන් සේම මහජන ඡන්දයෙන් එම දේශපාලනඥයන් බලයට පත් කළ අප රටේ පොදු ජනතාව ද ඒ රට වනසා දැමීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් විය යුතු ය. එහෙත් 1948 වසරේ සිට මෙය ලියැවෙන 2023 වසරේ පෙබරවාරිය තෙක් ගත වූ වසර හැත්තෑ පහ තුළ අප රට තුළ කිනම් හෝ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රවර්ධනයක් සිදු වී නැති ද යන්න වෙනම විමසා බැලීමේ වගකීම අප සතුව පවතී.
1948 වසර වන විට ශ්‍රී ලාංකේය සමාජය නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය වශයෙන් කොටස් තුනකට බෙදී තිබිණ. ඉන් නාගරික සහ අර්ධ නාගරික ප්‍රජාව ප්‍රතිශතයක් ලෙස 10% කට වඩා නොවූ අතර සෙසු සමස්ත ජනතාවම ග්‍රාමීය ප්‍රජාවට අයත් වූහ. ඒ අනුව ඔවුනට යහපත් දිවි පැවැත්මක් සඳහා වන යටිතල පහසුකම් වන මාර්ග පහසුකම් විදුලිය බලය ආදිය කිසිත් නොලැබුණු අතර අධ්‍යාපන සහ සෞඛ්‍ය ආදී පොදු පහසුකම් ලබා ගැනීම ද අතිශය දුෂ්කර කටයුත්තක් විය.
නමුදු ගත වූ කාලය තුළ අද වන විට ඉහත සඳහන් සකල විධ පොදු සහ යටිතල පහසුකම් රට පුරා කෙතරම් ව්‍යාප්තව තිබේ ද යත් නැති බැරි, ගොඩේ ආදී වශයෙන් එවක සමාජයෙන් අවමන් ලද ග්‍රාමීය ප්‍රජාවෙන් බිහි වූ දරුවන්ට පසු කලෙක තම හැකියාව,උත්සාහය, ධෛර්ය මගින් සමාජයේ වරප්‍රසාද ලත් පන්තියට පිවිසීමට මහා අවකාශයක් හිමි විය. වර්තමාන දේශපාලන වේදිකාවල නිදහසින් පසු ශ්‍රී ලංකාව ශාප ලත් යුගයක් ලෙස හඳුන්වන දේශපාලනඥයන් එකි’නෙකා පිළිබඳව විමසා බලන විට ඔවුන් ද එම ශාප ලත් යුගය තුළ ඒ “ශාපයේ අනුහසින්” වත්මන් සමාජයේ පෙරට පැමිණිය වුන් බව නිසැක ලෙසම හඳුනා ගත හැකි වේ. අප සමාජය නාගරික ග්‍රාමීය වශයෙන් වෙන් කෙරෙන ප්‍රධානතම සාධකය වනුයේ ප්‍රවාහන, සන්නිවේදන ආදී පහසුකම් අවප්‍රමාණ වීම මත කිසියම් හුදු කේවල බවක් පළ කරන කෘෂිකර්මය ආදී පාරම්පරික වෘත්තීන් හි යෙදෙන ජන කොටස් සහිත භූමි කලාපයන් ය. නමුදු අද වන විට මෙම නාගරික ග්‍රාමීය භේදය සඳහා වන මූලික සාධක අවප්‍රමාණ වීමත් ඒ සමාජ ඒකක දෙකෙන්ම බිහි වන මධ්‍යම පාන්තික ස්ථාවරය පුළුල් ලෙස ප්‍රසාරණය වීමත් අප රටට නිදහස ලැබීමෙන් පසු දක්නට ලැබුණු අතිශය සාධනීය තත්වයකි. මෙය ද ඔවුන් පවසන හැත්තැ පස් වසරක ශාපයේ ප්‍රතිඵලයක් විය හැකිද?
ජාත්‍යන්තර සාක්ෂරතා දර්ශක වන දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතාව හිමි රටක් ලෙස ශ්‍රී ලංකාව ඉහළින්ම කැපී පෙනෙන අතර මාතෘ සහ උපත් මරණ අනුගතය අඩුම රටක් වශයෙන් සහ පුද්ගල ආයු කාලය ඉහළම අගයක් ගන්නා රටක් ලෙස ගත වූ කාලය පුරාම ශ්‍රී ලංකාව ඉහළම තැනකට පත්ව තිබිණ.
නමුත් මෙරට ප්‍රජාතන්ත්‍රික දේශපාලන පසුබිම අතික්‍රමණය කරමින් පසුගිය කාලයේ බලයට පත්”කුණු ලේ පැහැති”සාටකධාරී රාජපක්ෂ පවුල් දේශපාලන ව්‍යුහය තුළ සිදු වූ මහා පරිමාන වංචා, දූෂණ අක්‍රමිකතා ඇතුළු විවිධ පාලන කාලයන් තුළ සිදු වූ දේශපාලන අවභාවිතයන් මුල් කොට අද වන විට අප රටේ පාසල් දරුවන්ට පොත පත අහිමි වීම සහ රෝගීන්ට බෙහෙත් අහිමි වීම ආදී ඛේදවාචකයන් මුල් කොට අප රටේ නිදහස් සැමරුම”ගෙඩිය පිටින්ම” කුණු කාණු පල්ලට ඇද දැමිය යුතුද? අප රටේ නිදහසින් පසු එළැඹි වසර හැත්තෑ පස් වසර එදා මෙදා තුර මහත්මා දේශපාලනයේ නියුතු සියල්ල ජාති ද්‍රෝහීන් ගේ ගොඩට ඇද දැමිය යුතු ද?අපගේ වැටහීම අනුව එය කුඩා දරුවනගේ පවා මනැස් දූෂ්‍ය කරන බිහිසුණු සමාජ අනර්ථයකට මුල පුරන්නකි.නමුත් කිසියම් පාර්ශව කිහිපයක බලපෑම මත් මෙවර සමස්ත සමාජයම එම කුණාටුවට හසු වූ බවක් පෙනෙයි.
ඒ අනුව හැත්තෑ පස්වන නිදහස් සමරුමේ දී මුර ගැ “පස් කළ යුතු හැත්ත” කවුරුන්ද යන්න මනා සිහි නුවණින් යුතුව හඳුනා ගෙන එම යුගය තුළ ඇති වූ ඉහත සඳහන් සාධනීය අංග ප්‍රවර්ධනය කරවීම කෙරෙහි සමාජ ආකල්ප ගොඩනැඟීම ඉතා වැදගත් අවශ්‍යතාවයක් බව පෙන්වා දෙනු කැමැත්තෙමු. එසේ නොමැති නම් සිදුවන්නේ හැත්තෑ පස්වන නිදහස් සමරුමෙන් පසු “පස් වන හැත්ත’ ගේ ලේඛනයට අකමැත්තෙන් වුව අප කාගෙ කාගේත් නම් එකතු කර ගැනීමට සිදුවීම පමණි.                                                                                                                                                                                         තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර