හැරී කුමරුට සහ බිරිඳට සිංහයකුගෙන් තර්ජනයක්

hari

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මෙගන් මාර්කල් නිතර දැඩි ආරක්‍ෂක රැකවල් මැද ජීවත් වන ප්‍රභූන් දෙදෙනකු බව රහසක් නොවෙයි. නමුත් මේ දිනවල ඔවුන් දෙදෙනාට එල්ල වී ඇති අමුතුම ආකාරයක ආරක්‍ෂක තර්ජනයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. හැරී සහ මෙගන් දෙදෙනාට මෙම තර්ජනය එල්ල වී ඇත්තේ සිංහයකුගෙන්.

හැරී-මෙගන් දෙදෙනා දැන් වසර කිහිපයක සිට වාසය කරන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මොන්ටිසිටෝ නැමැති ප්‍රදේශයේ යි. එම ප්‍රදේශයේ සුන්දර ඉසව්වක පිහිටි සුවිසල් මන්දිරයක් ඔවුන් විසින් මිල දී ගන්නා ලද අතර එහි මිල ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පමණ වුණා. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 550 ක පමණ මුදලක්. මෙම මන්දිරය පිහිටා තිබෙන්නේ කඳුකර වනාන්තර ආසන්න ඉසව්වකයි. කෙසේ හෝ වේවා, මෙම කඳුවැටිවල ජීවත්වන සිංහයකු පසුගිය දිනවල හැරී-මෙගන් දෙදෙනාගේ මන්දිරය ආසන්නයේ ද ගැවසෙන බව ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන තිබුණා. මේ අනුව තම නිවස සහ ගෙවත්ත හොඳින් අගුළුලාගෙන සිටින ලෙසත් ඔවුන්ට උපදෙස් දී තිබූ බව සඳහන්.

මේ දිනවල කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල දැඩි නියගයක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා. මේ නිසා විවිධ වන සතුන් ආහාර සහ ජලය සොයමින් මිනිසුන් වාසය කරන ඉසව් වෙත පවා පැමිණෙන ආකාරයක් දැකිය හැකියි. ඉහත කී සිංහයා ද එවැනි කෙනෙකු විය යුතු බවයි පැවසෙන්නේ. කුණු කසල බක්කියක් අසළ සහ මාර්ගයේ නවතා ඇති මෝටර් රථයක් අසළ මෙම සිංහයා ගැවසෙන ආකාරය ආරක්‍ෂක කැමරාවල සටහන්ව තිබූ බව ද මාධ්‍ය වාර්තා කර තිබුණා. වළසුන් සහ මුවන් වැනි සතුන් නිතර මිනිසුන් වෙසෙන ප්‍රදේශ වෙත පැමිණියත් සිංහයන් මේ ආකාරයෙන් දකින්නට ලැබෙන්නේ කලාතුරකින් බවයි එම ප්‍රදේශවාසීන් පවසා තිබුණේ.

මෙවැනි සතුන්ගෙන් දහවල් කාලයේ වැඩි අනතුරක් නැතත්, රාත්‍රි කාලයේ ඔවුන්ගෙන් ලොකු අනතුරක් එල්ල වන බව පිලිගැනෙනවා. නිවෙස්වල ඇති කරන සුරතල් සුනඛයන් සහ කුකුළන් වැනි සතුන්ට ඉව අල්ලමින් මෙම වනසතුන් පැමිණෙන බව සඳහන්. රාත්‍රි කාලයේ නිවෙස් අසළ හොඳින් ආලෝකවත් කරන මෙන් ද, ආරක්‍ෂක කැමරා සහ අනතුරු ඇඟවීමේ උපකරණ සවි කරන මෙන්ද නිලධාරීන් මෙම ප්‍රදේශවාසීන්ට අවවාද කර තිබෙනවා. හැරී සහ මෙගන් සතුව ද කුකුළන් විශාල සංඛ්‍යාවක් සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණා. මේ නිසා සිංහයා ඔවුන්ගේ නිවස වෙත ද පැමිණීමට යම් ඉඩක් ඇතැයි සැලකෙනවා. මේ ගැන විශේෂ අවධානයකින් පසුවන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇති බව සඳහන්.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර