හැරී කුමරු තලිබාන් සටන්කාමීන් 25 ක් මරලා

harry-kumaru

තමා ඇෆ්ගනිස්තාන තලිබාන් සාමාජිකයන් 25 දෙනෙකු ඝාතනය කළ බව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පවසනවා. ඔහු මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ඔහුගේ ජීවිත මතක සටහන් ඇතුළත් වන ග්‍රන්ථයක යි.Spare  නමින් හැඳින්වෙන මෙම ග්‍රන්ථය 10 වැනි දින නිකුත් වීමට නියමිත යි. නමුත් එහි ඇතුළත් ඇතැම් කාරණා පසුගිය දිනවල මාධ්‍යයට කාන්දු වී තිබුණා.

හැරී කුමරු අවස්ථා දෙකක දී ඇෆ්ගනිස්තාන යුද්ධයට සම්බන්ධ වුණා. ඇෆ්ගන් යුද්ධය ආරම්භ වූයේ 2001 වසරේ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත් සමග යි. ඔවුන් එලෙස එරට ආක්‍රමණය කළේ ත්‍රස්තවාදී නායකයකු ලෙස සැලකුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න්ට තලිබාන් සංවිධානය එරට තුළ  රැකවරණ ලබා දෙන බව පවසමින්. එකල ඇෆ්ගනිස්තානය පාලනය කළේ තලිබාන් සංවිධානය යි. මෙම ආක්‍රමණයත් සමග ඇරඹුණු යුද්ධය 2021 දක්වාම පැවතුණා. හැරී කුමරු 2007-2008 අතරත්, 2012-2013 අතරත් මෙම යුද්ධයට සහභාගි වුණා.


Spare නැමැති මතක සටහන් පොතේ ඔහු පවසන්නේ යුද්ධයේදී තමා තලිබාන් සාමාජිකයන් 25 දෙනෙකු මරා දැමූ බවයි. එය සිදුවිය හැක්කක් බව නිරීක්‍ෂකයන් පවසනවා. හැරී කුමරු මෙවැනි හෙලිදරව්වක් කළ පළමු අවස්ථාව මෙයයි. මෙම ඝාතන සම්බන්ධයෙන් ඔහු විස්තර කර ඇත්තේ තරමක් රළු ආකාරයෙන් බවත් දැකිය හැකියි. ඉහත කී තලිබාන් සාමාජිකයන් තමාට පෙනුණේ මිනිසුන් හැටියට නොව චෙස් පුවරුවකු ඉත්තන් හැටියට බවයි ඔහු පවසා ඇත්තේ. තමා ඔවුන් ඝාතනය කළේ එවැනි චෙස් ඉත්තන් කපා දමන ආකාරයෙන් බව ඔහු සඳහන් කරනවා.

‘යුද්ධයේ උණුසුම සහ ව්‍යාකූලත්වය මැද මට ඔවුන් පෙනුණේ මිනිසුන් හැටියට නොවෙයි. මිනිසුන් හැටියට දකින කෙනෙකු ඝාතනය කරන්න ඔබට බැහැ. මට ඔවුන් පෙනුණේ චෙස් පුවරුවකින් ඉවත් කළ යුතු ඉත්තන් හැටියට යි. ඔවුන් අතින් හොඳ මිනිසුන් ඝාතනය වීමට පෙර ඉවත් කර දැමිය යුතු පිරිසක් හැටියට යි’ හැරී කුමරු පවසා ඇති බව සඳහන්.


‘ඔවුන් වෙනස් ආකාරයෙන් දකින්න මට පුහුණු කර තිබුණා. ඒ පුහුණුව මට හොඳින් ලබා දී තිබුණා.’ යයි ද ඔහු පවසා තිබෙනවා.

හැරී කුමරුගේ මෙම ප්‍රකාශ දැනටමත් යම් ආන්දෝලනයක් ඇති කර තිබෙනු දකින්න පිලිවන්. හමුදා අංශ වෙතින් ද මේ ගැන විවේචන එල්ල වී තිබෙනවා. හිටපු අණ දෙන නිලධාරියකු වන කර්නල් ටිම් කොලින්ස් එවැනි විවේචනයක් කරමින් පවසන්නේ හැරී කුමරු එක්තරා ආකාරයකින් හමුදාව පාවා දී ඇති බවයි. ‘මේ අපි හමුදාවේදි කටයුතු කරන ආකාරය නොවෙයි. අපි හිතන ආකාරය මෙය නොවෙයි’ කර්නල්වරයා එලෙස සඳහන් කර තිබුණා. ඔහු තවදුරටත් පවසන්නේ Spare ග්‍රන්ථය මුදල් හම්බ කිරීම සඳහා දරණ ලද කණගාටුදායක  උත්සාහයක් බවයි. හැරී කුමරු ඔහුගේ උපන් පවුලට එරෙහිව යාමෙන් පසු දැන් හමුදා පවුලට ද එරෙහිව ගොස් ඇති බවටත් කර්නල් කොලින්ස් චෝදනා කරනවා.

හැරී කුමරුගේ මෙවැනි  ප්‍රකාශ තුළින් ඔහුගේ ආරක්‍ෂාවට යම් අනතුරක් එල්ල විය හැකි බවත් තවත් හිටපු හමුදා නිලධාරියකු පෙන්වා දී තිබුණා. මෙවැනි ප්‍රකාශ නිසා කෙනෙකු ඔහුගෙන් පලි ගැනීමට කල්පනා කළ හැකි බව ද ඔහු පවසනවා.

මේ අතර හැරී ගේ මෙම ප්‍රකාශ ගැන තලිබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ද අදහස් දක්වා තිබුණා. ‘හැරී මහත්තයෝ, ඔබ මරා දැමුවේ චෙස් ඉත්තන් නොවෙයි. ඔවුනුත් මනුෂ්‍යයන්. ඔවුන් නැවත පැමිණෙනතුරු බලා සිටි පවුල් ඔවුන්ටත් සිටියා’. ඉහත කී තලිබාන් නායකයා ටිව්ටර් පණිවුඩයක සඳහන් කර තිබෙනවා.

හැරී කුමරු යුද්ධයට සහභාගි වූයේ හෙලිකොප්ටර් නියමුවකු හැටියටයි. 25 දෙනෙකු මරා දැමීම තමා තුළ ආඩම්බරයක් ඇති කරන්නක් නොවන බව ද ඔහු පවසා තිබෙනවා. නමුත් ඔහු තවදුරටත් පවසන්නේ එය තමා තුළ ලජ්ජාවක් ද ඇති නොකරන බවයි.

හැරී සහ රජ පවුල අතර ඇති වූ ගැටුම් ගැන ද බොහෝ විස්තර Spare පොතට ඇතුළත් වන බව සඳහන්. විශේෂයෙන් ඔහු සහ විලියම් කුමරු අතර ඇති වූ ප්‍රශ්න ගැන මෙහි බොහෝ තොරතුරු පළ වී ඇති බව පැවසෙනවා. හැරීගේ බිරිඳ වන මෙගන් මාර්කල් සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් අතර විලියම් තමාට පහර දුන් අවස්ථාවක් ගැනත් Spare හි සඳහන් වන බව මාධ්‍ය සඳහන් කර තිබුණා. හැරී පවසන්නේ තම සොහොයුරාගෙන්  පහර කෑමෙන්  තමා බිම ඇද වැටුණු බවයි.

මෙයට වසර කිහිපයකට පෙර රජ පවුලේ නිල කටයුතුවලින් ඉවත් වීමෙන් පසු හැරී සහ මෙගන් දෙදෙනා බ්‍රිතාන්‍යයේ පදිංචිය අත්හැර ඇමරිකාවේ පදිංචිය සඳහා ගියා. එයින් පසු හැරී පළමු වරට නැවත සිය පවුලේ අය හමු වූයේ පිලිප් කුමරුගේ අවමගුල් උත්සවය අවස්ථාවේ යි. එම අවස්ථාවේ ද හැරී සහ විලියම් අතර ගැටුමක් ඇති වූ බව Spare ග්‍රන්ථයේ පැවසෙනවා. එහි දී චාල්ස් කුමරු (දැන් චාල්ස් රජු) ද ඊට මැදිහත් වී තිබුණා. ‘අනේ දරුවනේ, කරුණාකරලා මගේ ජීවිතයේ අන්තිම කාලය කාලකණ්ණි කරන්න එපා’ යනුවෙන් ඔහු ඉල්ලා තිබූ බව සඳහන්.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර