හිතවත් රෝගියෙකුට ඇඳක් ඉල්ලූ මිතුරෙකුට කවිකාර දොස්තර දුන් අපූරු උත්තරය

kawikara

එකම ප්‍රශ්නය විවිධ අය දකින්නේ විවිධ කෝණ වලින්.නමුත් අපි බොහෝ දෙනෙක් හිතන්නේ අපි බලන කෝණය තමයි හරිම කෝණය කියලා.මේකට බොහොම සරල නිදසුනක් තමයි; අපේ සමීපතමයෙක් රජයේ රෝහලක නතර වුණාට පස්සේ ඇඳක් නොලැබීමේ ප්‍රශ්නය.ඒ වගේ වෙලාවකට කවුරුත් වගේ බලන්නේ තමන්ගේ ලෙඩාට කාට හරි කයලා මොන ක්‍රමයකින් හරි ඇඳක් අරන් දෙන්න.

ඒත් ඒ වගේ කෙනෙක් තමන් අඳුනන වෛද්‍ය වරයකුට මේ ප්‍රශ්නය කිව්වම ඔහු කොහොමද ඒ ප්‍රශ්නය දකින්නේ.මේකට නුවන් තොටවත්ත කවියා තමන්ගේ පස් වෙනි කවි පොත “ග්ලැසියරයක ප්‍රේමය” මඟින් හරි අපූරු විසඳුමක් ඉදිරිපත් කරනවා.ඒකට මේ කවියා සතු ප්‍රායෝගික සුදුසු කම තමයි ඔහු වෘත්තියෙන් රජයේ වෛද්‍ය වරයෙක් වීම.

නුවන් තොටවත්ත කවියෙක්, ගීත රචකයෙක් පරිවර්තකයෙක් සහ ළමා සාහිත්‍ය කෙරෙහි විශේෂ ළැදියාවක් දක්වන්නෙක්.මේවන විට කාව්‍ය සංග්‍රහ පහක් වගේම නිර්ප්‍රබන්ධ කෘති කිහිපයක් ලියා පළකර ඇති ඔහු හොඳම කාව්‍ය සංග්‍රහය සඳහා වූ සාහිත්‍ය සම්මානය සඳහා ද , හොඳම ළමා ගීත රචනය සඳහා වූ රාජ්‍ය සංගීත සම්මානය සඳහා ද නිර්දේශ වූ සාහිත්‍ය කරුවෙක්.

සාහිත්‍ය කටයුතු වලට අමතරව නුවන් වනජීවී ඡායාරූපකරණයේත් යෙදෙනවා ඒ විතරක්ද ?ඔහු ලංකාවේ සමනලුන් පිළිබඳව ගවේෂණාත්මක අත්දැකීම් රැසක් හිමි පරිසරවේදියෙක්.

දැන් අපි බලමු හිතවත් රෝගියෙකුට ඇඳක් ඉල්ලූ මිතුරෙකුට මේ කවිකාර දොස්තර මහත්තයා දුන් අපූරු උත්තරය මොකක්ද කියලා

මචං යාලුවෙක් ඇඩ්මිට් කරා. ඇඳක් අරන් දෙන්න පුලුවන් ද ?

වාට්ටුවටම ඇඳන් චුට්ටයි
ඩෙංගු හැදිලා පොඩ්ඩො දෙන්නයි
පාචනේ ඇති තුන්දෙනාටම
වෙන්නෙ අද එක ඇඳක ඉන්නයි
එක්ක ගියෙ නැති ආච්චිට නම්
ඉන්න වෙන්නේ යට තමයි ඇඳ
වමනෙ යන්නැති කැස්ස සෙම වැඩි
දෙන්න දානව ඒ ඇඳට අද
ඉනට පහලින් කොන්ද පනනැති
තුන් දෙනෙක් ඉන්නවා තැන තැන
ඒ අයට වැසිකිලියෙ දොර ලඟ
ඇති ඇඳං තුන නොදී කොහොමද ?
පපුව රිදිලා ආපු තුනටම
බිමට බැහැලා යන්න බෑ තව
හදිස්සියකට පේන තැනකින්
තියාගත්තා නං තමයි හොඳ
අංශබාගේ හැදුන හතරයි
ඇඳෙන් කවුරුත් වැටුනෙ නෑ තව
යකඩ වැටවල් තියෙන ඇඳවල්
දෙකයි ඇත්තේ වාට්ටුවටම
කකුල් කපලා පස් දෙනෙක් ඇති
වරුව ගානේ සීනි මැන මැන
දුරට දැම්මොත් සීනි කනවා
නර්ස් එනවද නැද්ද බල බල
බැරි කමක් නෑ ඇඳක් දෙන්නට
පොඩි උදවුවක් කලොත් විගහට
ඇඳෙන් බස්සන කෙනා කවුදැයි
උඹ ම ඇවිදින් කියනවද මට

නුවන් තොටවත්ත

wall එක