හිතුවක්කාර ලෙස විදුලි බිල ඉහළ දැම්මොත් ආණ්ඩුවටත් “කරන්ට් එක’ වදිනවාමයි

එතරම් පරිනත දේශලානඥයකු නොවන විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජන මතයට සේම රටේ නීති ප්‍රතිපාදන වලට එරෙහි තීරණයකට එළඹෙමින් ජනතාවට දරා ගත නොහැකි ආකාරයෙන් විදුලි බිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබේ.එහෙත්, කැබිනට් මණ්ඩලයේ පොදු එකඟතාව හිමි නොවූ නිසා දෝ ඊට අනුමැතිය හිමි වූයේ නැත. මේ අතර කංචන විජේසේකර අමාත්‍ය වරයාගේ මෙම ක්‍රියා මාර්ගය ඔහු ගේ තනි තීරණයක් නොව “කොස් ඇට බෑවීමක දී යොදා ගැනෙන බළල් අතක්” බවට ද මත පළ වී තිබේ.රටේ සමස්ත ජනතාවම විරුද්ධ වන මෙම විදුලි බිල ඉහළ නංවන තීරණය හමුවේ රටට විදුලි බලය ලබා දීමේ ජාතික වගකීම දරන ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති අවධාරණය කොට තිබුණේ විදුලි බල වැඩි කිරීමට තීරණය කළ මොහොතේ සිටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ට අවතීර්ණ වීමට තීරණය කොට ඇති බවකි.මෙම බාධාව නිසා විදුලි ගාස්තු සංශෝධනය සඳහා සතියක “නිරීක්ෂණ කාලයක්” ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව වසරේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ දී තීරණය වී තිබේ. අදාල නිරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු ලබන සඳුදා (09) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමේ දී විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට ද කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.නමුත් එම කැබිනට් තීන්දුව වෙන කැබිනට් තීන්දු වලට වඩා අතිශයින් බරපතල වනුයේ එය නියත ලෙසම රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් නිසා ය.කෙසේ හෝ මෙම විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය ලැබී ඇත. මාස හයකට වරක් විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරයට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.රුපියල් දෙසීයට අඩු විදුලි බිලක් ලැබෙන පවුල් ලක්ෂ දහසයක් විදුලි පාරිභෝගිකයන් අතර සිටියි. මෙම ගාස්තු සංශෝධනයෙන් ඔවුන්ට ලැබෙන විදුලි බිල පවා වැඩි වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලයට මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ප්‍රතිපාදන නතර කිරීමට ද නියමිත ය.

නමුත් විදුලි ගාස්තු නියාමයය පිළිබඳ නීතිමය බලය ඇති ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවා ආණ්ඩුවේ මෙම හිතුවක්කාර තීරණයට එරෙහි ව නැඟී සිටියි.වර්ෂ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලදී. පසුව 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් විදුලි බල කර්මාන්තයේ නියාමන බලතල කොමිෂන් සභාවට පවරනු ලැබ තිබේ..මේ තත්වය යටතේ එම පනත ප්‍රකාරව දේශපාලන අධිකාරීත්වය මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනත්වයට බලපෑම් කිරීම, ඉතිහාස ගතවන වරදක් බව, එම කොමිසමේ සභාපති, ජනක රත්නායක පවසයි. ඒ ඔහු අප රටේ ස්වාධීන ආයතනයක් නියාමනය කරන සැබෑ බලධාරියකු ලෙසිනි.
පසුගිය කාලයේ මහජන උපයෝගීතා කොමිසමට මෙසේ දේශපාලන බලපෑම් එල්ලවීම නිසා කොමිසම අභියෝගාත්මක තත්ත්වයකට පත්වූ බව ද හෙතෙම කීය.ඔහු වැඩිදුරටහ් කියා සිටියේ ආණ්ඩුව විදුලි බල පනතේ සහ මහජන උපයෝගීතා පනතේ පවතින සම්මත ක්‍රමවේදයට පරිබාහිරව නීතිපතිවරයාගෙන් වැරදි අර්ථකථන ලබාගනිමින් විදුලි ගාස්තු යළි වැඩිකිරීමේ උත්සාහයක් දරන බව ය. එහෙත්,ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මහජන උපයෝගීතා කොමිසම එයට අවසර නොදෙන බව ඔහු දැඩිව අවධාරණය කරයි.මීට මාස හතරකට කට පෙර විදුලි බිල වැඩිකර තිබියදීත්, රට ආර්ථික වශයෙන් පිරිහීමට පත්ව ඇති මෙවැනි කලක යළි විදුලි බිල වැඩි කිරීම කෙසේ වත් සාධාරන නොවන අතර කොමිසම ඊට කෙසේවත් ඉඩ නොතබන බව මහජන උපයෝගිතා කොමිෂන් සභා සභාපති වරයා ගේ ස්ථාවරයයි. එමෙන්ම සම්මත නීති උල්ලංඝනය කොට විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව මහජන උපයෝගිතා කොමිසම නඩු මඟට යායුතු බවත් එම කොමිසම නොසළකා හැරීම නීතියට පයින් ගැසීමක් බවත් ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ද කියයි.  විදුලි බිල සංශෝධනය කිරීමේ විධිමත් යාන්ත්‍රණයක් තිබෙන නිසා එම ක්‍රියාවලිය කළ යුත්තේ නීතියට අනුව බව පවසන කෝප්’ කමිටුවේ හිටපු සභාපති වරයා දැරිය නොහැකි විදුලි බිලක් මේ වන විටත් පැවතීම හරහා ආණ්ඩුව විදුලිය පුද්ගලීකරණයට සූදානම් වන බව ද ඔහු සඳහන් කරයි.මෙය ද අප ගැඹුරින් සිතා බැලිය යුත්තකි. මේ අතර වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකු ද වන පාඨලී චම්පික රණවක හිටපු විදුලිබල අමාත්‍ යවරයා ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන බවට රජය කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ. විදුලි ගාස්තු නැවත ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය ගත් තීරණයට පදනම් වූ 2023 සඳහා වන විදුලි බර පුරෝකථනයේ (ELF) වලංගු භාවය පිළිගත් නොහැකි බව ඔහු කියයි.රටේ දෛනික විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 37 ක් බවත්, ලබන වසරේ එය ගිගාවොට් පැය 48 ක් දක්වා වැඩි වන බවටත් විදුලිබල මණ්ඩලය කරන ප්‍රකාශය සැක සහිත බවත්,එහි දී විදුලි බල ඉල්ලුමේ සිදු වන අඩු වීම විදුලිබල මණ්ඩලය සැලකිල්ලට ගෙන නොමැති බවත් පාඨලී චම්පික රණවක පවසා ඇත.විදුලි ඉංජිනේරුවෙකු සේම බලශක්ති ක්ෂේත්‍රය ගැන නිරතුරු අවධානයෙන් පසු වන පාඨලී චම්පික රණවක විදුලිබල ක්ෂේත්‍රයේ සිදු වෙමින් පවතින දේ සම්බන්ධයෙන් සජීවී දැනුමක් සහිත විද්වතකු වන බැවින්, ඔහුගේ ඉහත ප්‍රකාශය තුළ දේශපාලනයෙන් තොර විශ්වසනීයත්වයක් ගැබ් ව තිබේ. ඔහු පවසන අන්දමට ආර්ථිකයක් බිඳ වැටෙන විට ද, විදුලි ගාස්තු ඉහළ යන විට ද සාමාන්‍යයෙන් විදුලි ඉල්ලුම පහත වැටේ.එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ විදුලි පරිභෝජනයේ අඩුවීමක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ද තහවුරු කර ඇත. මෙවන් තත්වයක් යටතේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පෙරට දමා හෝ සිදු කිරීමට යන මෙම ක්‍රියාව හමුවේ රටේ ජනතාව නිහඬව සිටිනු ඇතැයි අපට කෙසේ වත් නොසිතෙයි. ඒ අනුව අපට ඒ සම්බන්ධයෙන් කල් ඇතිව පළ කළ හැකි අනාවැකියක් තිබේ.එනම් හිතුවක්කාර ලෙස විදුලි බිල ඉහළ දැම්මොත් ආණ්ඩුවටත් “කරනට් එක’ වදිනවාමයි යන්න ය                                              දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර