හිතේ සතුටින් සැනසීමෙන් ඉන්න නම් මේ මුද්ද ඇඟිල්ලට දාල කරකවන්න – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

මේ මොහොතේ ඔබ මොනවද කරන්නේ? මොනව කර කර හිටියත් මොහොතකට ඒක නතර කරලා පොඩ්ඩක් හිතන්න.

ඔබ දැන් මේ මොහොතේ ඉන්නේ සතුටින් ද? හිතේ සැනසීමෙන් සමාදානයෙන්ද?

අවංකවම හිතලා බැලුවොත් අපි බොහෝ දෙනෙකුට පිළිතුරු දෙන්න වෙන්නේ ‘නැහැ’ කියලා.

ඇත්තටම ඕනෑම මොහොතක නැවතිලා හිතලා බැලුවොත් අපි බොහෝ දෙනෙකුගේ හිත තියෙන්නේ සමාදානෙන් සතුටින් නෙමෙයි. අපේ සිත් බලාපොරොත්තු වලින් පිරිලා. සිහින වලින් පිරිල. කරදර , ප්‍රශ්න, ගැටලු වලින් හෙම්බත් වෙලා .අපි මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගෙන හිස් ලූ ලූ අත දුවනවා.

ඉපදුන දා ඉඳලම මිනිසුන්ට ප්‍රශ්න! පුංචි කාලේ ඉස්කෝලේ යන ප්‍රශ්න, පොත්පත් ඇඳුම් පැළඳුම් ගන්න ප්‍රශ්න, ඊට පස්සේ ඉගෙනගන ඉවර උනාම රැකියාවක් ලබාගන්න ප්‍රශ්න, ඊට පස්සේ උසස් වීමේ ප්‍රශ්න , සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියන ප්‍රශ්න , සහකාරියක් සහකාරයෙක් තෝරගන විවාහ කරගන්න ප්‍රශ්න, විවාහ වුණාට පස්සේ ගෙයක් හදාගන්න ප්‍රශ්න ,සමහරවිට දෙමාපියන්ගේ ප්‍රශ්න, දරුවන් ලැබුනම දරුවන්ගේ ප්‍රශ්න, ඒ දරුවන් පෝෂණය කරන ප්‍රශ්න, දරුවන්ගේ අනාගතය ගැන ප්‍රශ්න, ඒගොල්ලන්ට හොඳ සහකාරයෙක් සහකරුවෙක් සොයා දෙන ප්‍රශ්න… මේ වගේ දහසකුත් එකක් ප්‍රශ්න වලින් හැමතිස්සෙම අපේ ඔලුව පිරිලා තියෙන්නේ.

පිටු පෙරලන්නේ නැතුව පොතක් කියවන්න බැහැ වගේම ප්‍රශ්න නැතුව අපිට ජීවිතයක් ගැන සිතන්න බැහැ. ඔබ කවුරු වුණත් මොන වයසක හිටියත් ප්‍රශ්න එක්ක පොර බදමින් ජීවිතය ගෙනියන්න සිදු වෙනවාමයි.

උදේ එළිවෙච්ච වෙලාවෙ ඉඳල අපි ඔලුව කඩාගෙන කල්පනා කරනවා කවදද මේ ප්‍රශ්න සේරම ඉවර වෙලා අපට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙම නේද?

එකක් මතක තියා තියාගන්න. මැරෙනතුරු ප්‍රශ්න නම් ඉවර වෙයි කියලා හිතන්න එපා. එකක් ඉවර වෙද්දී තවත් එකක් . දම්වැලක් වගේ දිගින් දිගටම ප්‍රශ්න නොනවත්වා එනවා.

සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න මේ ප්‍රශ්න ඉවර වෙනතුරු ඉන්නව කියල හිතුවොත් ඒක කවදාවත් සිද්ධවෙන දෙයක් නෙමෙයි. එහෙම නං ඉතින් මැරුණට පස්සේ තමයි සතුටින් ඉන්න සිද්ධ වෙන්නේ ..

ඉතින් මේකෙන් අදහස් කරන්නේ අපිට කවදාවත් සතුටින් හිතේ සාමයෙන් ඉන්න බැහැයි කියන එකද?

නැහැ! ප්‍රශ්න එක පිට එක එනවා කියන එකේ තේරුම අපට හිතේ සමාදානෙන් සතුටින් ඉන්න බැහැ කියන එක නෙමෙයි. අපි කරුණු කීපයක් තේරුම් ගත්තොත් ජීවිතය පහසු කරගන්න අපිට ලේසි වෙනවා. ඒ නිසා මුලින්ම ප්‍රශ්න ඉවර වෙනතුරු ඉන්නවා වෙනුවට ඒ හැම ප්‍රශ්නයක්ම අභියෝගයක් විදිහට දකින්න තීරණය කරන්න.

ප්‍රශ්න, ගැටලුවක් විදියට දැක්කම හිතටත් ගතටත්ඇති වෙන්නේ අධෛර්යය වීමක් පසුබැසීමක්.
ඒත් අභියෝගයක් විදිහට දැක්කම හිතට ඇති වෙන්නේ ලොකු ආත්ම ශක්තියක්, ධෛර්යක් . කොහොමහරි ප්‍රශ්න යට කරගෙන ඉදිරියට යනවා කියලා හිත ශක්තිමත් කරගන්න පුළුවන්.

අපි හැමදේම කරන්නේ සතුටින් ඉන්නනේ . ඒත් සතුට කියන එක මිරිගුවක් වගේ .අපි මොකක් හරි බලාපොරොත්තුවක්වක් ඇති කරගෙන ඒ බලාපොරොත්තුව ඉටු උනාම අපේ හිතට සතුට සැනසීම ලැබෙයි කියලා අපි හිතනවා. නමුත් ඇත්තටම ඒ බලාපොරොත්තුව ඉටු කර ගත්තට පස්සේ සතුට වෙනුවට එතනට තවත් ප්‍රශ්නයක් ඇවිත්. ඒ ප්‍රශ්නය විසඳුනාමඅපිට සතුට ලැබෙයි කියලා අපි හිතනවා . ඒත් එක්කම තවත් අලුත් ප්‍රශ්නයක්. ඔන්න ඔය විදිහට දිගින් දිගටම වැල නොකැඩී එන ප්‍රශ්න නිසා සතුට සැනසීම මිරිගුවක් වගේ ඈතට ඈතට යනවා විතරයි.

ඉතින් මොකක්ද මේකට තියෙන උත්තරේ?

මිනිස්සුන්ගෙ ආශාවන් වලට බලාපොරොත්තු වලට සිහින වලට සීමාවක් නැහැ. මොනවා ලැබුණත් තව දෙයක් ඕන වෙනවා. ඒක මනුෂ්‍ය ස්වභාවය. ඒත් බොහෝ අවස්ථාවලදී ඒ මොනව ලැබුනත් අපේ හිත් සතුටින් සාමයෙන් තියෙන බවක් පෙනෙන්නේ නැහැ. සතුටක් සැනසීමක් ලැබුණත් ඒක තාවකාලිකයි. හිත සම්පූර්ණ සැහැල්ලුවෙන් තියාගන්න හරිම අමාරුයි.

ඒ නිසා මේ කරුණු හතර මතක තියාගන්න.

1. ප්‍රශ්න නැතුව අපට කවදාවත් ජීවත් වෙන්න බැහැ මැරෙන තුරුම ප්‍රශ්න එක දිගට එනවා.

2.සතුට කියන එක ගමනාන්තයක් නෙමෙයි ඒක ගමනක්.

3.අපේ හිතේ සතුට සැනසීම හෝ අසහනය අතෘප්තිමත් බව හෝ තෘප්තිමත් බව තීරණය කරන්නේ අපේ බාහිර ගැටලු ප්‍රශ්න නෙවෙයි අපි අපේ හිතෙන් ඒවාට දක්වන ප්‍රතිචාරය අනුව බව හොඳට තේරුම් ගන්න.

4 හිතේ සතුට සමාදානය කියන්නේ මේ අද දවසේ මේ මොහොතේ මම මගේ සිතේ අද අත්දැකිය යුතු හැඟීමක් .

සතුට කියන එක බලාපොරොත්තුවක් ඉටු වන තැනදී ලැබෙන දෙයක් නෙමෙයි. බලාපොරොත්තු ඉටු කර ගැනීමට යන ගමනේදී අත්දැකිය යුතු දෙයක්. හිතේ සමාදානය සතුට කියන එක අද දවසේ මේ මොහොතේ අපි රඳවාගත යුතු දෙයක් .

අපිට මොනතර තරම් දේවල් තිබුණත් මොනතරම් විභාග පාස් කරල සුදුසුකම් තිබුණත් යාන වාහන ගෙවල් දොරවල් මොනව තිබුණත් හිතේ සතුටක් නැත්නම් මොකක්ද ඒකෙන් ඇති පලේ ?

ඔය හැමදේම තියෙන මිනිස්සුන්ව අපට දකින්න ලැබෙනවා. යාන වාහනවලින් යන්නෙ එන්නෙ. සුවපහසු ගෙවල්වල ජීවත් වෙන්නේ. රැකියා වල ඉහල තැන් වල වැජඹෙන්නෙ. දරුවෝ හොඳ උසස් ඉස්කෝලවල ඉගෙන ගන්නෙ.

බැලූ බැල්මට ශාරීරික වශයෙන් භෞතික පැත්තෙන් කිසිම අඩුවක් පාඩුවක් නැහැ වගේ පෙනෙන්නේ. නමුත් ඔබ හිතනවද ඒ හැම දෙනාම ඉන්නෙ සතුටින් කියලා?

නැහැ! ඒ හැම දෙනාගේම ජීවිත ලොකු වගකීම් වලින් පිරිලා. කල්පනා කරලම ආතතිය හැදිල. හිත ගත ලෙඩ වෙලා. ජීවිත ගැටළු වලින්ම හෙම්බත් වෙලා. ඉතින් මොනව තිබුනත් මොකටද හිතේ සාමයෙන් සැනසීමෙන් ඉන්න නැත්නම් නේද?

එක රජ කෙනෙක් එයාගෙ රාජ සභාවේ ඇමතිවරුන්ට කිව්වලු රජකම් කලා උනාට හිතේ කිසිම සතුටක් නෑ ,එයාට සතුටින් ඉන්න පුළුවන් ක්‍රමයක් කියන්න කියලා.

ඒකට ප්‍රතිචාර දක්වපු එක් ඇමතිවරයෙක් එයාට මුද්දක් හදලා ගෙනත් දුන්නලු. “මේ අවස්ථාවත් පහව යාවි” කියලා ඒ මුද්දෙ කොටලා තිබුනලු.

“කොහොමද මේ මුද්දෙන් මට සතුටු ලැබෙන්නේ?” කියලා ඒ රජ ඇහුවම ඔහු මෙහෙම කිව්වලු.

“ මේ මුද්දේ අකුරු කීපයක් කොටලා තියෙනවා. ඒකෙ තේරුම මේ මොහොතත් පහවී යන දෙයක් කියන එකයි…

මේ මොහොතේ අත්දකින ප්‍රශ්න හැමදාම තියෙන්නෙ නැහැ. පහ වී යනවා. ඒ නිසා කිසිම දෙයක් ගැන කනස්සලු වීමෙන් කිසිම ඵලක් නැහැ. කළ යුතු හොඳම දේ මේ වර්තමාන මොහොතේ හිත සතුටින් සමාදානයෙන් තබාගැනීම විතරයි…ඔබතුමාගේ හිතට අසහනයක් දැනෙනකොට මේ මුද්ද ඇඟිල්ල වටේ කරකවන්න. මුද්දේ කෙළවරක් නැහැ වගේ අපිට එන ප්‍රශ්න වල කෙළවරක් නැහැ .ඒත් ඒ කිසි ප්‍රශ්නයක් සදාකාලික නැහැ. තාවකාලිකයි. ශක්තිමත්ව ඒවට මුහුණ දුන්නම ඒ ප්‍රශ්න වියැකී යනවා කියන එක මේ මුද්ද කරකවන ගමන් මතක් කර ගන්න…” කියලා ඔහු ඒ මුද්ද ගැන අර්ථ දැක්වූවලු.

මං හිතන්නේ මේක අපටත් මතක තියාගන්න හොඳ කතන්දරයක්. ඔබත් මානසිකව මුද්දක් ඇඟිල්ලක පළඳගන්න. මුද්දේ කෙළවරක් නෑ වගේ අපේ ප්‍රශ්න වල්ටත් කෙළවරක් නැහැ. ඒත් දිගින් දිගටම මොන ප්‍රශ්න ආවත් ඒවා සදාකාලිකව තියෙන්නෙත් නෑ .ඒවා තාවකාලිකයි.ඒ නිසා ප්‍රශ්න විසදෙන තුරු ඉන්න එපා. විසඳීමට යන ගමනෙදි සතුටින් සාමෙන් හිත තියාගන්න බලන්න .ඒක බැරි දෙයක් නෙමෙයි. අපිට අයිති මේ මොහොත විතරයි. අතීතයත් අනාගතයත් අපට අයිති නෑ.ඒ නිසා ජීවිතය ගැන ලතවීම කනස්සලු වීම වීම සම්පූර්ණයෙන්ම නිෂ්ඵල දෙයක්. හිත සැහැල්ලුවෙන් තියෙද්දි ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ලේසියි.

සතුට කියන්නේ ගමනාන්තයක් නොවේ ගමනක් කියන එක ඉතා පැහැදිලිව තේරුම් ගන්න.

ඒ නිසා එදිනෙදා ප්‍රශ්න වලට විසඳුම් සොයන අතරතුර හිත සාමයෙන් සැහැල්ලුවෙන් තියා තියාගෙන ඒ පිළිතුරු හොයන්න උත්සාහ ගන්න. අතීතය ගැන ලත වෙන්න එපා, අනාගතය ගැන ඕනෑවට වඩා කල්පනා කරන්න එපා. අද දවසේ මේ මොහොතේ හිත සතුටින් සාමයෙන් තියා ගන්න උත්සාහ කරන්න. එතකොට ඉබේම ඔබේ හෙට දවසත් සතුටින් සාමයෙන් පිරි යාවි. ප්‍රශ්න ගැටලුත් පුදුමාකාර විදිහට ලේසියෙන්ම විසඳී යන බවක් ඔබට දැනේවි.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඉරා අදුරුපට