හිසරදයට කොට්ටා මාරු කිරීමක් වූ ජනපති වරයාගේ ජාතිය ඇමතීම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (16) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළේ ය. එහි අන්තර්ගතය ගත් කළ පවතින ආර්ථික අර්බුදයට තමන් වගකිව යුතු නැති බව කීමට ජනාධිපති වරයාට ඕනෑවී තිබූ බව පෙනෙයි.එමෙන්ම මේ අර්බුදය තමන් නිර්මාණය කළ දෙයක් නොවේයැයි ද ජනාධිපතිවරයා කියයි.. වෙනදාට පැයක් පමණ කතා කරන ජනාධිපතිවරයා මෙවර කතා කළේ විනාඩි 12 ක් පමණකි.ඒ අනුව මෙම ජාතිය ඇමතීම ජනාධිපති වරයා තම ගැලවිජ්ජාව පිණිස කළ එකකැයි යමකුට සිතෙන්නට පුළුවන.

ගෑස් පෝලිම්, තෙල් පෝලිම් ගැන තමන් දන්නා බව කී ජනාධිපතිවරයා ඉදිරියේ දී මේ ප්‍රශ්න විසඳන බව ද කීවේ ය. යුද්ධය අවසන් කළා සේම ඉදිරි වසර දෙක තුළ ආර්ථික අර්බුදය ද අවසන් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. කතාව පුරාම ඔහු පුන පුනා කීවේ මේ අර්බුදයට තමන් වගකිව යුතු නැති බව ය.

එහෙත්,ජනාධිපතිවරයා බලයට පත්ව ගෙනා මුල්ව අය වැයෙන් සුපිරි ලාභ බද්ද ඉවත් කොට රජයට රුපියල් බිලියන 600 ක් අහිමි කළේ කව්දැයි ජනතාව ප්‍රශ්න කරති. කණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කොට ඩොලර් බිලියන 1.8 ක් රටට අහිමි කළේ කවුදැයි විමසති. එම්.සී .සී ගිවිසුම අවලංගු කොට ඩොලර් මිලියන 400 ක ප්‍රදානය නැති කර ගත්තේ ජනතාව ද?, සීමාවකින් තොරව මුදල් අච්චු ගැසුවේ කව්ද? කියා ජනාධිපතිවරයා කියන්නේ නැත.සීනි බදු ඉවත් කොට ගජ මිතුරන්ට ලාබ ලැබීමට ඉඩ හැර රටට බදු ආදායම් අහිමි කළේ කව්ද? කියා ජනාධිපතිවරයා නොදන්නවා වුව ද ජනතාව දනිති. වැට් බදු ඉවත් කොට ලැබෙන ලාභ අහිමි කර ගත්තේ ජනාධිපතිවරයා කියන විදියට ජනතාව ය. ඒ අනුව ඔහුගේ මුවින් අනියමින් පැවසුණු දෙයක් තිබේ. එනම් රටේ සියළු ආර්ථික අර්බුදයන්ට වගකිව යුත්තේ ජනතාව බව ය.ඒ බව කෙලින්ම නොකියන ජනාධිපති වරයා ජනතාව කැපවීම් කළ යුතු බව පවසන්නේ ජනතාව දැනට දෙන සහාය ප්‍රමාණවත් නොවන බව නොකියා කියමිනි..

නමුත් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීමට සැබෑ හේතුව කුමක්දැයි තවමත් කිසිවෙකුටත් සිතා ගත නොහැකිය. සමගි ජන බලවේගය කොළඹ විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූ දාට පසුදාම එය තෝරා ගත්තේ ජනතාවගේ අවධානය ඒ වෙත යොමුවීම වැළැක්වීමට විය යුතු ය.

ජනාධිපතිවරයා දැඩි තීන්දු ගන්නා බව කීවත් ජනතාව තවමත් ඉන්ධන පෝලිම්වල ය. ඉන්ධන නොදුන්නැයි කෝප වූ ජනතාව පිරවුම්හලේ හිමිකරුවන්ට පහර දෙති. ජනතා පීඩනය කොතෙක්ද? යත් පෝලිමෙන් පිටත පැමිණියැයි චීන ජාතික කාන්තාවකට අසභ්‍ය ලෙස බැන වදින විඩියෝවක් ද මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරයි..

ජනතාවට මේ වෙලාවේ අවශ්‍ය තමන් සිටිනා පීඩනයෙන් මිදිය හැකි මාර්ගයකි. එහෙත් ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ ප්‍රකාශයෙන් පීඩනයට පිළිතුරක් ලැබෙනවා වෙනුවට පීඩනය දෙතුන් ගුණයකින් ඉහළ ගිය බවක් දක්නට තිබේ.එය හරියට පිපාසයෙන් පෙළෙන්නකුට ලුණු වතුර වීදුරුවක් දිගු කිරීඅක් මෙනි.

ඔහු මෙවර ද ආමන්ත්‍රණය කළේ තවමත් රාජපක්ෂවරුන් රට හදතැයි විශ්වාස කරන කණ්ඩායමට විය යුතු ය. ජනාධිපතිවරණයේදි සහ මහමැතිවරණයේදි ඔවුනට ඡන්දය දුන් 69 ලක්ෂයක ජනතාවගෙන් තවමත් 50% ක පිරිසක් වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිති. ජනාධිපතිවරයා ඔවුන්ගේ ද ගැලවීම, හිත සුව පිණිස මේ කතාව කළා විය යුතු ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව මුලින් කී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැන් එහි යාමට සුදානම් වෙයි. ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ගත්ත ද එය ලැබෙන්නේ මුදල් ලෙස නොව භාණ්ඩ ලෙස ය. එම නිසා ඩොලර් අර්බුදය විසඳෙන්නේ නැත. භාණ්ඩ ලෙස ඉන්ධන හා ඖෂධ මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් ලැබෙනු ඇත.

නමුත් සැබෑ පැනයට පිළිතුරු නොලැබීම නිසා ජනතාව තවදුරටත් පෝලිම්වල සිටිනු වළක්වනු නොහැක. සමගි ජන බලවේගය පැවැත්වූ ආණ්ඩු විරෝධි උද්ඝෝෂණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ද අද (18) කොළඹ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත ය. එක්සත් ජාතික පක්ෂය ද ලබන 25 දා කොළඹ දි සත්‍යග්‍රහයක් මෙහෙයවීමට නියමිතය.

මේ සියල්ල ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් නැගෙන විරෝධතාවයන්ය. මේ අභියෝග සියල්ලට මුහුණ දීම සඳහා ආණ්ඩුව සුදානම් විය යුතු ය. එසේ නොකොට තමන්ගේත් තම පාක්ෂිකයන්ගේත් ගැලවිජ්ජාව පිණිස නම් ජාතිය ඇමතීමෙන් හිසරදයට කොට්ට මාරු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැක.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර