සමහරුන්ට හිස බිමට පහත් කරන විටත් හිසේ බර ගතියක් සමග තදබල කැක්කුමක් ඇතිවේ. ඇතැම් විට හිස හිරි වැටෙන ස්වභාවයක් ද දැනිය හැකිය. මේ සුලභව දක්නට ලැබෙන සෙම් රෝගයකි.
කෝඨර ප්‍රදාහය හෙවත් සයිනොසයිටිස් නමින් හඳුන්වන මෙම රෝගය හිස ඇතුළත ඇති කුහරවල, සෙම එකතු වී තද වීම නිසා හට ගනු ලබන්නකි.
අපේ හිස තුළ හිස් කබල නමින් හඳුන්වන සවිමත් අස්ථියක් තිබෙන බව පාසල් යන කුඩා දරුවෝ පවා දනිති. ඉතාමත් ආරක්ෂාකාරී ලෙස මොළය තිබෙන්නේ මෙම හිස් කබල ඇතුළේය . මොළය ආරක්ෂා කිරීම හිස් කබලට පැවරී ඇති ප්‍රධානතම කාර්යය යි.
නමුත් මොළයට පහළින් මුහුණේ පිහිටා තිබෙන ඇස්, කන්, නාසය, මුඛය යන සියල්ලටම ද මෙයින් ආරක්ෂාව සැලසේ. මේ සියල්ලම ඇත්තේ හිස්කබල නම් වූ අස්ථියෙහි නිර්මාණය වූ යම් යම් කුහර තුළ ය.
මීට අමතරව නාසය දෙපස මෙන්ම නාසයට උඩිනුත්, ඇතුළු පැත්තෙනුත් තවත් කුහර ගණනාවක් හිස් කබලෙහි පිහිටා ඇත. මේ කුහර තුළ කිසිවක් නොමැති අතර එහි ඇත්තේ වාතය පමණි. නාසය වටා පිහිටි මේ සෑම කුහරයක්ම කුඩා බටයකින් නාසය තුළට විවෘත වෙයි. සෑම කුහරයක් ඇතුළතම ආවරණය වී තිබෙන්නේ නාසය තුළ තිබෙන පරිද්දෙන් ම තෙත සමගිනි. හුස්ම ගන්නා වාරයක් වාරයක් පාසා මේ කුහර තුළට වාතය ඇතුළු වෙයි. පින්න වැටෙන විට ගන්නා හුස්ම සමග කුහර තුළට පින්නද ඇතුළු වනු ඇත.
යම්කිසි අයුරකින් මෙම තෙතමනය වැඩි වී කුඩා නාලය අවහිර වුණොත් කුහරය තුළ ඇති දියරයට නාසයට පැමිණීමට නොහැකි වෙයි. මෙවැනි කුහරයක් විෂබීජ වලට තෝතැන්නක් බවට පත් වනු ඇත. මෙසේ කුහරය අවහිර වීම නිසා කුහරය තුළ සැරව එකතු වෙයි. තද හිස කැක්කුම ඇති වන්නේ මේ නිසාය.
සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස් රෝග මගින් ද ස්වසන මාර්ගය මෙන්ම මෙම අමතර කුහරවල ඇතුළත සමද ඉදිමෙයි. නාසයෙන් දියර ගැලීම ද දිගටම සිදු වනු ඇත. එසේ සිදුවන්නේ දියරය සමඟ ඇතුළත ඇති වෛරසය ද පළවා හැරීමේ උපක්‍රමයක් ලෙසිනි.
කෙසේ වුවද මෙලෙස දියර ඇති වන විට සිදු වන්නේ ඉහත කී පරිදි නාල අවහිර වීම ය. අසාත්මිකතාවය නිසාත්, දූවිලි වැනි විවිධ දේවල් නිසාත් මෙසේ දියර වැගිරෙන්නට පුළුවන. එවිට අත්වන්නේද එම ප්‍රතිඵලයම ය.
සයිනොසයිටිස් රෝගයේ ස්වභාවය හිසේ හෝ මුහුණේ තැනින් තැන ඇති වන අධික හිසරදයයි. එයට හේතුව අවහිර වී ඇති කුහරය හෝ කුහර සහිත තැන්වල කැක්කුම ඇතිවීම ය. මේ රෝගීන්ට නිදි වැරීම, පින්න සහ සීතල දේශගුණය අගුණ වේ. එමගින් හිස කැක්කුම වැඩි වනු ඇත.
කෙසේ වුවද උගුර කන නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙතින් ප්‍රතිකාර ගැනීමෙන් සයිනොසයිටිස් සුව කළ හැකිය .
මේ ආකාරයට තද හිස කැක්කුම ඇති වන තවත් රෝග තත්ත්වයක් නම් මොළය තුළ ඇති වන තද තෙරපුමයි. මොළය තුළ එලෙස තෙරපුමක් ඇති වන්නේ කෙසේදැයි සොයා බලමු.
මොළය ආරක්ෂා කරන හිස් කබල තුළ ඇත්තේ ඉතාමත් සීමාසහිත ඉඩකඩකි . නිදසුනක් ලෙස පැවසුවහොත් බිත්තරයක ඇති
කහමදය මෙනි. යම් හෙයකින් කහමදය නොසිතූ අන්දමට විශාල වුණොත් කටුවට සිදු වන්නේ පිපිරීම තුළින් හෝ කහමදයේ වර්ධනයට ඉඩ දීමටය. නමුත් බිත්තර කටුව පිපිරුණාට හිස්කබල එලෙස පිපිරෙන එකක් නොවේ. යම් හේතුවක් නිසා ගෙඩියක්, ඉදිමීමක් වැනි දෙයක් මොළය තුළ ඇති වන්නේ නම් මොළයේ යම් කොටසක් ඒ නිසා තැලීමකට ලක් විය යුතු වෙයි. අපේ ශරීරයේ සියලුම අවයවයන් හි ක්‍රියාකාරිත්වය පාළනය කරන්නේ මොළය තුළ ඇති විවිධ කොටස් මගිනි.
මොළය ඉහත කී ආකාරයට තද වීම, තැලීම, තෙරපීම ආදියෙහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ ශරීරයේ යම් කොටසක් ක්‍රියා විරහිත වීම, එනම් අංශභාග තත්වය ඇතිවීම හෝ යම් හෙයකින් ජීවිතයේ අවසානය විය හැකිය. මෙවැනි තත්ත්වයකට හේතුව මොළයේ ඇති වන ගෙඩියකි. මොළය තෙරපෙන්නේත්, තදවන්නේත් ගෙඩිය විශාල වීම නිසාය.
අපට නොදැනී මෙවැනි රෝගයක් අපේ ශරීරය තුළ සැඟවී තිබෙන්නට බැරි කමක් නැත. එහිදී අධික හිස කැක්කුමක් ඇතිවිය හැකි අතර හිස කැක්කුමට හේතුව වෛද්‍යවරයකු හමුවී පරීක්ෂාවට ලක් නොකොට වේදනානාශක ගනිමින් එය දිගින් දිගටම පාළනය කර ගැනීමට යාමෙන් සිදුවන්නේ ගෙඩිය ටිකෙන් ටික වැඩි වේදනාවක් නොදෙමින් ම වර්ධනය වීම ය. මෙහි ඇති අවාසනාව නම් මේ හිසරදය වේදනානාශකවලට ඉක්මනින්ම සුව වීමයි. මෙහි රෝග ලක්ෂණ සියල්ල පිටතට පැමිණෙන්නේ ගෙඩිය විශාල වූ පසුව ය. මෙහිදී තද හිසරදයට අමතරව අපස්මාර තත්ත්වය ද හිටිහැටියේ හට ගැනීමට පුළුවන. හිසරදය වැඩියෙන් දැනෙන්නේ උදේ ඇඳෙන් නැගිටින විට ය. මෙම හිසරදය කලක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වීම ද මෙහි ඇති ලක්ෂණයකි.
ශරීරයේ හැම අවයවයක්ම වැඩ කරවන කොටස් වෙන් වෙන්ව මොළයෙහි පිහිටා ඇත. මොළයේ මේ එක් කොටසක් හෝ විනාශ වන විට එම කොටසින් කරනු ලබන කාර්යය ඇණහිටී. නිදසුනක් ලෙස බුද්ධිය මෙහෙයවන කොටසක් අහිමි වුවහොත් ඒ පුද්ගලයාගේ හැසිරීම් වෙනස් වෙයි. මානසික විකෘතිතා හට ගනු ඇත.
ඒ අනුව අවසන් වශයෙන් කිව හැක්කේ මෙයයි.
සයිනොසයිටිස් රෝගයේ දී ඇතිවන ආකාරයේ තදබල හිසරදයක් නිතර නිතර වැළඳෙන විට ඒ සයිනොසයිටිස් යනුවෙන් ඔබම තීරණය කරන්නට උත්සාහ නොකර වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබාගැනීම නුවණැති ම පියවර බවය.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා