හූනියමක් කියන්නේ මොකක්ද?හරියටම දැන ගනිමු

huu-niyama

අදටත් අප ජන සමාජයේ බොහෝ දෙනකු ඇසීමට පවා බිය වන වදනක් තිබේ. එනම් සූනියම් හෙවත් කටවහරට අනුව කිවහොත් හූනියම් ය. සූනියම් යන්නෙහි අදහස යමකුගේ හෝ යම් දෙයක විනාශය උදෙසා කරනු ලබන කටයුතු හෙවත් ශුන්‍ය කර්මයන් ය. මෙය සූනි+කම්, සූනියම් හූනියම් යනුවෙන් සිංහල ව්‍යවහාරයට පැමිණ තිබේ.

මෙම සූනියම් යන වදන හා බැඳුණු දෙවි කෙනෙක් ද සිටියි. ඒ සිද්ධ සූනියම් ගම්බාර දෙවියන් ය. ඒ නම අනුව බොහෝ දෙනකු සිතනුයේ එම දෙවිඳුන් තුළ පවත්නා නපුරු දරදඬු ස්වභාවය අනුව ඒ දෙවිඳුන් සූනියම් නමින් හැඳින්වෙන බවකි. එහෙත්, එම දෙවිඳුන් ඉහත සඳහන් ආකාරයේ සූනියම් හෙවත් ශුන්‍ය කර්ම කරන්නෙකු ලෙස කිසිදු තැනක සඳහන් නොවේ. සූනියම් දෙවිඳුන්ට ද ඒ නම පටබැඳී ඇත්තේ ‘සව් ගම් නියම් ගම්’ යන වදන් ලොප් වීමෙනි. ගම් යනු කෘෂිකාර්මික ජනාවාස වන අතර නියම්ගම් යනු ඊට වඩා තරමක් විශාල හා වැඩි ජනගහනයක් විසූ වෙළෙඳ කටයුතු කළ ගම්මානයන් ය. සංස්කෘත භාෂාවේ ‘න්‍යාම ග්‍රාම’ යන්න සිංහලයේ “නියම් ගම්” ලෙස සලකනු ලැබේ. ඒ අනුව අතීතයේ පැවැති මහා නියම් ගමක් අද වන විට මානියම්ගම ලෙස හඳුන්වයි. එය පිහිටා ඇත්තේ අවිස්සාවේල්ල සමීපයේ ය.

පැරණි භූත විද්‍යා හෙවත් ගුප්ත ශාස්ත්‍ර අතරට එන අෂ්ට කර්මය වශී, ආකර්ෂණ, මෝහන, ස්ථම්භන, ශාන්ති, විද්වේෂණ, උච්චාටන සහ මාරණ වශයෙන් හැඳින්වෙන අතර මාරණ යනු එහි දැක්වෙන එකම අවර ගණයේ ගුප්ත ශාස්ත්‍රීය කටයුත්ත බව පෙනේ. අණ වින, හදි හූනියම් වශයෙන් හැඳින්වෙන මෙම මාරණ කර්මය අණවින, කොඩිවින, භූමි පාළු, අංගම්, කාලම්, පිල්ලි, යක්ෂ බන්ධන ආදී විවිධාකාර ලෙසින් විස්තර කෙරේ. නමුදු මේ සියල්ලේ එක් පොදු අරමුණක් තිබේ. එනම් මේවා මගින් යම් පුද්ගලයකු හෝ වත්කමක් මුළුමනින් විනාශයට පත් කිරීම ය. මෙසේ සිදුවන විනාශයට අන්තයක් නොමැති බවත් උච්චාටන කර්ම වශයෙන් සැලකෙන එම හූනියම් ආපිට කැපීමකින් තොරව එය යථා තත්ත්වයට පත් නොවන බවත් පොදු ජන විශ්වාසයයකි.

සෑම ගුප්ත කර්මයක් උදෙසාම ඒ සඳහා වන විශ්වීය බලයක් අවැසි බවට මතයක් තිබේ. ඒ අනුව මෙම මාරණ කර්මය සඳහා වන විශ්වීය බලය කාලී දෙවඟනගේ අවතාරයක් වන සොහොන් කාලී වෙතින් ලබා ගත යුතු බවට ජන විශ්වාසයක් පවතී. දකුණු පළාතේ ඇතැම් යකැදුරන් පවසා සිටිනුයේ වෙසමුණිගේ බලය, ශක්තිය වුව මේ සඳහා යොදා ගත හැකි බව ය.නමුත් වෙසමුණි බලය අවසානයේ බුද්ධ අණට යට වන බව ද තොවිල් ඇදුරෝ කියති.

මෙම අණවින, හදි හූනියම් සම්බන්ධ තොරතුරු රැසක් සහිත පැරණි පුස්කොළ පොත් තිබේ. ඒවායින් බොහොමයක් මහනුවර රාජධානි සමයේ ලියැවුණු බව පෙනේ. ඒ ඇතැම් පුස්කොළ පොත් පෞද්ගලික සන්තකයන් ලෙසත් තවත් කොටසක් ජාතික කෞතුකාගාර පුස්තකාලය ඇතුළු විශ්වවිද්‍යාල පුස්තකාල සන්තකයන් ලෙසත් ආරක්ෂා කෙරේ.

මීට වසර තිහකට පමණ පෙර එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂව සිටි ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සූරීන්ගේ කාරුණික අනුග්‍රහය යටතේ කෞතුකාගාර පුස්තකාලයේ තිබූ එවැනි පැරණි පුස්කොළ පොත් කිහිපයක් පරීක්ෂා කිරී‍මේ අවකාශය මා වෙත උදා විය.

ඉන් එක් පුස්කොළ පොතක සඳහන් වූයේ ශනි දිනෙක ශනි හෝරාවේ ශනි පංචම කාල හෝරාවේ ශනි සූක්ෂ්ම කාල හෝරාවේ පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද හෝ මා යන නැකතකින් මැදියමින් පසු කුකුළා හැඬලීමට පෙර දවස් හතකට වඩා පැරණි නොවූ මිනී වළක් මත ‘දපා’ (වැතිරී) මැතිරිය යුතු මන්ත්‍රයකි. ඒ සඳහා යොදාගත යුතු රතු මල්, නර කෙස්, මිනී අළු, මිනී ඔළු ආදී පූජා භාණ්ඩ රැසක් සහ අනුගමනය කළ යුතු වත්පිළිවෙත් රැසක් ද එහි සඳහන්ව තිබිණි. සේතුහාමිගේ මන්ත්‍ර ගුරුකම් පොත යනුවෙන් සඳහන් එම පුස්කොළ පොත ශකවර්ෂ 1787 (ක්‍රි.ව. 1867) උක්කුරාල නමැත්තකු විසින් පිටපත් කරන ලද බව ද එහි ලියැවී තිබූ මුත් මේ සේතුහාමි සහ උක්කුරාල යනු කවුරුන් දැයි සොයා ගැනීමට මට නොහැකි විය.

වර්තමාන සමාජය තුළ මෙම අණවින, හදි හූනියම් පිළිබඳ විශේෂ උනන්දුවක් පවතින අතර රුපියල් ලක්ෂ ගණන්වලට මේවා සිදු කිරීමට ‘කොන්තරාත්තු’ ගන්නෝ ද වෙති. එහෙත් මෙම අවර ගණයේ කර්ම සිදු කිරී‍මෙන් අත්විය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ද එම ඇතැම් පැරණි ලේඛනවල ද විස්තර දක්වා තිබේ. ඒ අතුරින් මුල්ම අහිතකර ප්‍රතිඵලය වනුයේ කුමක් හෝ හේතුවක් මත ඒ මාරණ කර්මය ඉලක්ක ගත පුද්ගලයා කෙරෙහි යොමු නොවුණහොත් ඒකාන්ත වශයෙන් එය කළ හෝ කරවූ තැනැත්තා වෙත ‘ආපිට කරකැවී’ එන බව සඳහන් වීම ය. එම උවදුරින් ගැලවීම පිණිස එය කරන සහ කරවන දෙදෙනා සම්බන්ධ වෙනම ආරක්ෂක ක්‍රියාවලියක් පිළිබඳව ද සඳහන් වෙයි. නමුත් ඉතා සුළු අත්වැරදීමකින් අතපසුවීමකින් පවා ඒ ආරක්ෂක ක්‍රියාවලියේ ද බල බිඳිය හැකි බව ද විශේෂයෙන් අවධාරණය කෙරේ. නමුත් මේ කිසිවක් වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති.
වර්තමානයේ දුම් වැටි පැකට්ටුවල එම දුම්වැටිය පානය කිරීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය තර්ජන පිළිබඳ සඳහන් වන්නාක් මෙන් මෙම ඇතැම් පුස්කොළ පොත්වල ද එම වින බන්ධන කිරීමෙන් සිදුවිය හැකි අහිතකර පල විපාක පිළිබඳ අනතුරු අඟවා තිබේ. ඉන් එක් පුස්කොළ පොතක සඳහන්ව තිබුණේ නිවන් දක්නා ජාති දක්වාම පටිසන් දෙන පාපකර්මයක් වශයෙනි. ඒ අනුව මේවා රචනා කළ අතීත සමාජය තුළ පින් පව් කෙරෙහි පැවැති අචල විශ්වාසය ද මනාව වටහා ගත හැක.

මිනිස් සමාජය තුළ ඇති වන පුද්ගල,ප්‍රජා බද්ධ ගැටුම් මත ජනතාව පුද්ගල හා ප්‍රජාමය වශයෙන් එකිනෙනාට එරෙහි වෙති.එමෙන්ම ඔවුනොවුන් අතරේ හට ගන්නා වෛරී සහ දේවේෂ සහගත හැඟීම් ආවේග මත ඔවුනොවුන් නසා වනසා දැමීම් කෙරෙහි ද ඇතැමුන් ගේ සිත් යොමු විය හැක.එහි දී බොහෝ විට සාපරාධී ක්‍රියා කෙරෙහි යමකු හෝ යම් පිරිසක් පෙළඹීමට පුළුවන.නමුදු එසේ නොකොට මෙබඳු ගුප්ත ක්‍රම මඟින් සතුරන් වනසා දැමිය හැකිය යන විශ්වාසය යමකු තුළ ඇති වුව හොත් ඒ තැනැත්තා සාපරාධී ක්‍රියා වෙනුවට ඒ සඳහා මෙම හූනියම් මාධ්‍ය යොදා ගනු ඇත.නමුදු ඉන් කිසිදු ප්‍රායෝගික ප්‍රතිඵලයක් නොලැබුණ ද එම ක්‍රියාවෙන් පසු ඒ තැනැත්තා ගේ මනැස භාව විශෝධන (Catharsis) ක්‍රියාවලියකට නතු වනු ඇත.ඒ අනුව හූනියම යනු අපරාධ නිවාරණ ක්‍රියාවලියක් වශයෙන් ද හඳුනා ගන්නට පුළුවන.

තිලක් සේනාසිංහ

අරුමැසි පුවත්