හොර මැරකම් වංචා දූෂණ ගැන ලොවට කියන මාධ්‍යවේදීන් සැබැවින්ම සුපිරිසිදු ද?

මැතිවරණයක් ආසන්න වන විට ජනමාධ්‍ය ඔස්සේ සමාජය වෙත අන් දිනවල දක්නට නොලැබෙන තරමේ බලපෑමක් ඇති කරනු දකින්නට පුළුවන. මාධ්‍ය ආයතන විසින් මේ සඳහා විවිධාකාර ක්‍රියාමාර්ග ගන්නා බව පෙනේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මැතිවරණයක් ආසන්න වෙද්දී ජනමාධ්‍ය ආයතනවල ආදායම ඉහළ යාම ය. ප්‍රධාන වශයෙන් විවිධ දේශපාලන පක්ෂ මගින් සිය පක්ෂය හෝ අපේක්ෂකයා පිළිබඳ පණිවිඩය ජනතාව අතරට යැවීම සඳහා බොහෝ වාර ගණනක් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන බැවින් එය මාධ්‍ය ආයතනවල ආදායම වර්ධනය කරන්නට හේතු වී තිබේ. ඒ වගේම නිල වශයෙන් පිළිගත හැකි සාක්ෂි සාධක නොමැති වුව ද ඇතැම් දේශපාලන පක්ෂ සමග ඇති කරගත් විවිධාකාර එකඟ වීම් මත යම්කිසි දේශපාලන පක්ෂයක් කිසියම් ජනමාධ්‍යයක් ඔස්සේ විශේෂ සැලකිල්ලකින් යුතුව ඉස්මතු කර දක්වන බව බොහෝ දෙනෙක් කතා බහ කරති. මේ ඔස්සේ ද අදාළ මාධ්‍ය ආයතනය වෙත අධික මුදලක් ලැබෙන බව පැවසේ. එමෙන්ම මේ මාධ්‍ය ආයතනවල සිටින ප්‍රධානතම සම්පත වන මාධ්‍යවේදීන් අතරින් ඇතමෙකු යම්කිසි දේශපාලන පක්ෂයකින් මුදල් ගෙන එය හිලව් කිරීම සඳහා විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන බවට ද චෝදනා ඉදිරිපත් ව තිබේ.. මෙය බොහෝ විට ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල ජනමාධ්‍ය තුළ බහුලව දකින්නට ඇති කාරණයකි. මෙහි ඇති ඛේදජනක කාරණය වන්නේ මාධ්‍යය සහ මාධ්‍යවේදීන් සෑම විටම පෙනී සිටින්නේ අල්ලස, දූෂණයට එරෙහිව හඬක් නගමින් ජනතාවගේ පැත්තේ හිට ගැනීම වුව ද, පෙර කී දූෂිත තත්ත්වයට වැටීමෙන් මාධ්‍යය මෙන්ම මාධ්‍යවේදීන් ද එවැනි වැරදිවලට උඩගෙඩි දෙන්නන්ගේ ගොඩට වැටීම ය. සමාජය පිරිසිදු කරන වෘත්තියක් ලෙස පිළිගැනෙන මාධ්‍ය ද ඒ තත්ත්වයට පත්වීම අනුමත කළ නොහැක. නමුත් අප ජාත්‍යන්තර තලයට ගියහොත් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් මෙයට වඩා වෙනස් බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුණු අතර මාධ්‍යය ද පවතී.

පොදුවේ මාධ්‍යවේදියා පිළිබඳ සලකා බැලුවහොත් ජාත්‍යන්තරයේ පිළිගෙන ඇති පරිදි සමාජය වෙත නිරවද්‍ය තොරතුරු සැපයීම, රජය ඇතුළු රටක ප්‍රධාන පෙළේ ආයතනවල හොරමැර වංචා මහජනතාවට හෙළිදරව් කිරීම, මහජන නියෝජිතයන්ගේ අදහස් සහ ආකල්ප මහජනතාව ඉදිරියේ නිරාවරණය කරගැනීම සඳහා වේදිකාවක් ගොඩ නැගීම ආදිය මාධ්‍යවේදියකුගේ වගකීම් අතර විශේෂයෙන් පවතින බව සඳහන් කළ හැකිය. අප රටේ ද මේ තත්ත්වය දක්නට ලැබෙන බව සැබෑ නමුත් ඇතැම් අවස්ථාවල දී පක්ෂග්‍රාහීව කටයුතු කරනු දකින්නට ලැබේ. එසේ වන්නේ ඔවුන් මාධ්‍යවේදිියකු සතු ආචාර ධර්ම පිළිබඳ කිසිදු තැකීමක් නොකරන නිසා යැයි සිතිය හැකිය.

සැබෑ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන කෙබඳුදැයි අදහසක් ගන්නට නම් ජාත්‍යන්තර තලයටම පිවිසිය යුතුය. ජාත්‍යන්තර තලයේ මාධ්‍යය තුළින් ද ඇතැම් අවස්ථාවල දී යම් යම් දූෂිත කාරණාවන් හෙළිදරව් වුවද, එම තත්ත්වය තුන්වැනි ලෝකයේ රටකට සාපේක්ෂව ඉතා අඩු ය.

පොදුවේ මාධ්‍යවේදියා පිළිබඳ සලකා බැලුවහොත් ජාත්‍යන්තරයේ පිළිගෙන ඇති පරිදි සමාජය වෙත නිරවද්‍ය තොරතුරු සැපයීම, රජය ඇතුළු රටක ප්‍රධාන පෙළේ ආයතනවල හොරමැර වංචා මහජනතාවට හෙළිදරව් කිරීම, මහජන නියෝජිතයන්ගේ අදහස් සහ ආකල්ප මහජනතාව ඉදිරියේ නිරාවරණය කරගැනීම සඳහා වේදිකාවක් ගොඩ නැගීම ආදිය මාධ්‍යවේදියකුගේ වගකීම් අතර විශේෂයෙන් පවතින බව සඳහන් කළ හැකිය. අප රටේ ද මේ තත්ත්වය දක්නට ලැබෙන බව සැබෑ නමුත් ඇතැම් අවස්ථාවල දී පක්ෂග්‍රාහීව කටයුතු කරනු දකින්නට ලැබේ. එසේ වන්නේ ඔවුන් මාධ්‍යවේදිියකු සතු ආචාර ධර්ම පිළිබඳ කිසිදු තැකීමක් නොකරන නිසා යැයි සිතිය හැකිය. නිරවද්‍යතාව සහ සාධාරණත්වය, ස්වාධීනත්වය, වගවීම මේ ආචාර ධර්ම අතර විශේෂයෙන් කැපී පෙනෙයි. ලෝකයේ දියුණු රටවල නම් මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන්නට වෘත්තිමය වශයෙන් සුදුසුකම් අවශ්‍ය වන අතර ඔවුන් මාධ්‍ය පාඨමාලා හදාරා මනා අවබෝධයකින් යුතුව එම වෘත්තියට ඇතුළු වුවද, ශ්‍රී ලංකාව වැනි රටවල ඇතැම් අවස්ථාවල දී මාධ්‍යය හා එක්වන්නේ එම වෘත්තිය පිළිබඳ අවබෝධයකින් නොවේ. ඔවුන්ගේ ඇතමෙකු කුළ මෙවැනි ගුණාංග නොමැති වන්නට හේතු වී ඇත්තේ ද මෙයම විය හැකි ය.

දියුණු රටවල් ජනමාධ්‍යවේදියා යනු අතිශය ගෞරවයට ලක් වූ තැනැත්තෙකි. ජාත්‍යන්තර තත්ත්වයේ පවතින මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සිය වෘත්තිය ගෞරවය රැක නොගතහොත්, ඔවුන්ගේ වෘත්තිය ද එතැනින්ම විනාශවන බව පැහැදිලිව සඳහන් කළ හැකි ය. අපේ රටේ ඇතැම් අවස්ථාවල දී කුමක් හෝ හේතුවක් නිසා මේ තත්ත්වය අඩුවෙන් දක්නට ලැබෙන බව සඳහන් කළ යුතුය.

දේශපාලනඥයින් විසින් මාධ්‍යය සියතට ගන්නට උත්සාහ කිරීම

පූර්ණකාලීනව යම්කිසි මාධ්‍ය ආයතනයකට බැඳී සේවය කරන මෙන්ම ආයතනයකට නොබැඳී සේවය කරන මාධ්‍යවේදීහු සිටිති. එසේ වුවද ජාත්‍යන්තර තත්ත්වය සම්බන්ධයෙන් සලකා බැලීමේ දී මේ සියලු දෙනාම එක හා සමාන වෘත්තීමය මට්ටමක පසුවෙයි. මේ සඳහා දේශීය මට්ටමින් සහ ජාත්‍යන්තර මට්ටමින් විවිධ ආයතන පිහිටුවා තිබේ. අප රටේ නම් මේ සඳහා ඇත්තේ පුවත්පත් මණ්ඩලය වුව ද, එය තවමත් මාධ්‍යවේදීන්ට වෘත්තිය තත්ත්වයක් ලබා දෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව පෙනේ. නමුත් ඕනෑම මාධ්‍යවේදියෙකුට ජාත්‍යන්තර තලයේ ආයතනයක් සමඟ සම්බන්ධ වී වෘත්තිය මට්ටමක් හිමි කර ගත හැකිය. මෙවැනි පුවත්පත් මණ්ඩලයක සාමාජිකයකු වූ පසු මාධ්‍ය ආචාර ධර්ම සුරැකීම, යම්කිසි ගැටලුවක් මතු වූ විට ජනතාව සහ මාධ්‍යවේදියා අතර සම්බන්ධීකරණයක් ඇති කොට එම ගැටලු විසඳීම, මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම, අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම වැනි කාරණාවල දී සහාය ලැබෙයි. අනෙක එවැන්නක සාමාජිකයකු වූ පසු මාධ්‍යය නම් වෘත්තිය හෑල්ලුවට ලක් වීමේ ක්‍රියාවන්වලට සම්බන්ධ වීමේ හැකියාවක් නැත. අප රටේ ඇතැම් මාධ්‍යවේදී එසේ හෑල්ලු කරමින් හැසිරෙන්නේ අප රටේ එවැනි වෘත්තිය මට්ටමක් ඇති කරන ක්‍රමවත් ආයතනයක් නොමැති වීමත්, මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා බොහෝ දෙනෙක් එවැනි ආයතනයක සාමාජිකත්ව ලබා නොගෙන සිටීමත් නිසා ය. ඔවුන්ට මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවබෝධයක් හෝ වගකීමක් නොමැත්තේ එබැවිනි.

ජමාල් ඛෂොග්ගි

ලෝකයේ දියුණු රටවල මාධ්‍යවේදීන් මුදල් උපයන්නේ සිය මාධ්‍ය ආචාර ධර්ම යන රාමුව තුළ සිටිමිනි. ඔවුන්ගේ මූලික ආදායම වන්නේ ඔවුන් සේවය කරන මාධ්‍ය ආයතනයෙන් ඔවුනට ගෙවනු ලබන වැටුප සහ අනෙකුත් දීමනා පමණි. මාධ්‍ය වරප්‍රසාද උපයෝගී කර ගනිමින් අප රටේ ඇතැම් මාධ්‍යවේදීන්, අල්ලස් ලෙස නොපෙනුණත් බාහිර පාර්ශ්වයන්ගෙන් විවිධ ලාබ ප්‍රයෝජන, එනම් නොමිලේ සිනමා ප්‍රවේශ පත්‍ර, විචාරය කෙරෙන්නේ යැයි පොරොන්දු පිට පොත්පත් වැනි දේ ලබා ගන්නා බව පෙනේ. ලෝකයේ දියුණු යැයි සැලකෙන රටවල මාධ්‍යවේදීන්ට බාහිර පාර්ශ්වයන්ගෙන් කිසිවක් ලබාගැනීමේ හැකියාවක් නැත. කෙසේ නමුත් අප රටේ කෙසේ වෙතත් දියුණු රටවල නම් ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් ඉටු කරන මාධ්‍යවේදීන් අගැයීම ජනතාව විසින්ම සිදු කරන අවස්ථා ඕනෑ තරම් දකින්නට පුළුවන. එවැනි අවස්ථාවල දී මාධ්‍යවේදීන්ට ජනතාවගෙන් ධන පරිත්‍යාග හිමි වේ. ඒ ජනතාව වෙනුවෙන් සිට ගැනීම වෙනුවෙනි. අප රටේ මාධ්‍යවේදියා හෝ ජනතාව තුළ එවැනි නැඹුරුවක් ඇත්වන්නට තරම් දියුණු තත්ත්වයකට පත්ව නැත. මීට අමතරව ඩිජිටල් මාධ්‍යකරණ පැමිණීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍යකරණයේ නිරතවීම වීම මගින් ආදායම් උපයන මාධ්‍යවේදීන් ද දියුණු රටවල පමණක් නොව අප වැනි රටවල පවා දකින්නට හැකිය.

හමුදාව, පොලිසිය වැනි වෘත්තයක් හැරුණු විට දිවිහිමියෙන් සිය වෘත්තිය වෙනුවෙන් කැපවීම මාධ්‍ය ක්ෂේත්‍රයට ආවේණික ලක්ෂණයකි. අපට එවැනි අතීතයක් තිබිණි. ඒ නිසාම තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, රිචඩ් ද සොයිසා, ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන්ට සිය ජීවන ගමන අවසන් කරන්නට සිදු විය. ජාත්‍යන්තර වශයෙන් ගතහොත් මෑතක සිදුවීමක් ලෙස සවුදි මාධ්‍යවේදියකු වූ ජමාල් ඛෂොග්ගිගේ ඉරණම සඳහන් කළ හැකිය. ඔහු ඉස්තන්බුල් හි සෞදි තානාපති කාර්යාලය තුළදීම මරා දමන ලදී. මාධ්‍යවේදීන් සුරුකීම සඳහා ජාත්‍යන්තර කමිටුව (Committee to Protect Journalists – CPJ)පවසන පරිදි පසුගිය කාලය පුරාම ලොව පුරා සිය ගණනක් මාධ්‍යවේදීන් සිය වෘත්තිය නිසාම ජීවිතයට සමු දී තිබේ. කෙසේ නමුත් එවැනි දිවි පරදුවට තබන, නිර්භය මාධ්‍යවේදී සංස්කෘතියක් වර්තමානයේ දකින්නට ලැබෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් සිය මාධ්‍ය ආයතනය පක්ෂපාතිත්වය දක්වන දේශපාලන මතවාදයට හිස නවමින් හුදෙක් රැකියාවක් ලෙස පමණක් මාධ්‍යකරණයේ නියැලෙන බව පෙනේ.

මාධ්‍යකරණය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුණු යැයි පවසනු ලබයි. රටක යහපැවැත්මට එය කෙතරම් වැදගත් ද යන්න අවබෝධ කරගන්නට එයට වඩා සුදුසු කියමනක් නැත. කෙසේ නමුත් මෙය වඩාත් ගැළපෙන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන රටවල ය. එසේ නොවන රටවලට අවංක ජනමාධ්‍යවේදීන් ගැළපෙන්නේ ද නැත. එසේ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම ගැන බොහෝ මාධ්‍යවේදීන්ට අදහසක් නැත. ශ්‍රී ලංකාව වැනි රටක සමාජක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙද්දී මාධ්‍යය පමණක් ඉතිරි වේ යැයි සිතීම ද විහිළුවකි. බිඳ වැටෙන රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා ජනතාව වෙත ශක්තිය ලබා දිය හැක්කේ ඔවුන්ටය.

මාධ්‍යකරණය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුණු යැයි පවසනු ලබයි. රටක යහපැවැත්මට එය කෙතරම් වැදගත් ද යන්න අවබෝධ කරගන්නට එයට වඩා සුදුසු කියමනක් නැත. කෙසේ නමුත් මෙය වඩාත් ගැළපෙන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන රටවල ය. එසේ නොවන රටවලට අවංක ජනමාධ්‍යවේදීන් ගැළපෙන්නේ ද නැත. එසේ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම ගැන බොහෝ මාධ්‍යවේදීන්ට අදහසක් නැත. ශ්‍රී ලංකාව වැනි රටක සමාජක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙද්දී මාධ්‍යය පමණක් ඉතිරි වේ යැයි සිතීම ද විහිළුවකි. බිඳ වැටෙන රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා ජනතාව වෙත ශක්තිය ලබා දිය හැක්කේ ඔවුන්ටය. රටක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තීරණ ගැනීමට ජනතාවට අවස්ථාවක් ලැබෙන මෙවන් කාලයක ඒ වෙනුවෙන් ජනතාවට මග පෙන්වීමේ වගකීම ඇත්තේ මාධ්‍යවේදීන්ටය. ඔවුන්ට මාධ්‍යය නම් වෘත්තියේ ගෞරවය රැක ගනිමින් ඉදිරියට ගමන් කළ හැක්කේ එ් ඔස්සේය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර