හෝමදොල මූකලාන වැනසීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ට ඉඩ දෙන්න බැහැ

homadola

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී. එම්. සුනේත්‍රා තෙන්නකෝන් ප්‍රමුඛ ආචාර්ය මහාචාර්යවරු කණ්ඩායමක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද සහභාගී කර ගෙන වටවල වැවිලි සමාගමේ අවශ්‍යතාවය මත හෝමදොල මූකලානේ වනාන්තර අක්කර 40 ක් එළි කිරීමට සැලැසුම් සකස් කරමින් සිටීම කණගාටුවට කරුණක් බවත් පවුල් සිය ගණනක පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්නා හෝමදොල මූකලාන වැනසීමට පිඹුරුපත් සැකසීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ට හා වටවල වැවිලි සමාගමට ඉඩ දිය යුතු නැති බවත් සඳහන් කරමින් ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නීති සහ පරිසර නිලධාරී පරිසරවේදී සජීව චාමිකර මහතා ලිපියක් සම්පාදනය කොට තිබේ.

එම සම්පූර්ණ ලේඛනය මෙලෙසිනි                                                                                                                                                                                                                 අපි කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය රක්ෂිත වනාන්තර වටා පිහිටි රක්ෂිත නොවන වනාන්තර ඉඩම් එම රක්ෂිතවලට සම්බන්ධ කිරීමට ඇති හැකියාව සොයා බැලීමට දිවා රෑ නොබලා මෙම වනාන්තරවල සෑම අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් එම වනාන්තර සිතියම්ගත කිරීම, වීඩියෝගත කිරීම සහ එම වනාන්තරවල වාර්තා වන ජීවි විවිධත්වය පිළිබඳ ව අධ්‍යයනය කිරීම සිදු කරන අතරතුර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී. එම්. සුනේත්‍රා තෙන්නකෝන් ප්‍රමුඛ ආචාර්ය මහාචාර්යවරු කණ්ඩායමක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද සහභාගී කර ගෙන වටවල වැවිලි සමාගමේ අවශ්‍යතාවය මත හෝමදොල මූකලානේ වනාන්තර අක්කර 40 ක් එළි කිරීමට සැලැසුම් සකස් කරමින් සිටීම කණගාටුවට කරුණකි.

පසුගිය කාලය පුරා ම හෝමදොළ මූකලානේ වනාන්තර මහ පරිමාණයෙන් එළි කරමින් කටු පොල් වගා කළ මෙම සමාගම පහතරට වැසි වනාන්තර විශාල ප්‍රමාණයක් රටට අහිමි කළේ ය.

මේ වන විට මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙම පර්යේෂණ කණ්ඩායම තොරතුරු එක් රැස් කරන්නේ සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් මෙම වනාන්තර එළි කිරීමෙන් පාරිසරික ගැටළු ඇති නොවන බවට පූර්ව නිගමනයන් මත ය. ඔවුන් සමඟ සිදු කළ සාකච්ඡාවක දී මෙය ඉතා ම හොඳින් තහවුරු විය.

ඔවුන් ජනතාව සමඟ සිදු කළ සාකච්ඡාවක දී සඳහන් කළේ ජනතාවට ඇහුම්කන් දීමට ඔවුන්ට වැඩි කාලයක් ලබා දිය නොහැකි බව ය. එපමණක් නොව බොහෝ සාවද්‍ය කරුණු ජනතාවට පැවසූ ඔවුන් මධ්‍යම පරිසර අධිකාරියේ අවශ්‍යතාවය මත මෙම වාර්තාව සකස් කිරීමට ඔවුන්ට භාර කළ බව ඒත්තු ගැන්වීමට ද දැඩි උත්සාහයක නිරත විය.

එපමණක් නොව මෙම වනාන්තර එළි කර කටුපොල් වගාව වෙනුවට කුරුදු වගාව සිදු කරන බව ද එම වගාවෙන් සිදුවන හානිය අවම බව ද සඳහන් කරමින් යෝජිත වනාන්තර එළි කිරීම සාධාරනීකරණය කිරීමට හා ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට උත්සාහ දරන ආකාරය අප ගේ නිරීක්ෂණයට ලක් විය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා අසම්පූර්ණ හා ඉතා ම දුර්වල පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කළේ ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් පිරිසකි. අද වන විට එම ව්‍යාපෘතියෙන් අවතැන් වූ 17500 ක් වන ජනතාවගේ ජීවිතවල වගකීම වාර්තාව සකස් කළ කණ්ඩායම භාරගෙන නොමැත.

එපමණක් නොව එම වාර්තාව පදනම් කර ගෙන ව්‍යාපෘතියට අනුමැතිය ලබා දුන් මධ්‍යම පරිසර අධිකාරිය ද එහි වගකීම භාර ගෙන නොමැත. එවන් තත්ත්වයක් තුළ පවුල් සිය ගණනක පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්නා හෝමදොල මූකලාන වැනසීමට පිඹුරුපත් සැකසීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ට හා වටවල වැවිලි සමාගමට ඉඩ දිය යුතු නැත.

සජීව චාමිකර

 

එතෙර - මෙතෙර