100% ස්වාධීන රටක් පැතීම මනෝ රාජික විකාරයක්

අපේ රට හැම අතින්ම,ඒ කියන්නේ 100% ස්වාධීන විය යුතුයි කියන ආකල්පය මේ සමාජය පුරාම සැරිසරනවා.ඒ අතරේ අපේ රටේ ආහාර සුරක්ෂිතතාව ගැනත් මේ දවස්වල වැඩියෙන් කතාකරනවා.රටේ ආහාර සුරක්ෂිතතාව කියන කාරණය බොහොම,වැදගත්.ආහාර සඳහා වෙනත් රට වලින් යැපෙන්නෙ නැතුව තම රටෙන්ම ජනතාවට අවශ්‍ය ආහාර සම්පාදනය කරගන්න තියෙන හැකියාව ආහාර සුරක්ෂිතතාවය කියල අපිට හදුන්වන්න පුලුවන්.අපේ රටේ ප්‍රධාන අහාරය බත්.මේ සඳහා වී වවන්න ඕන.වී වගාවට ම වෙන්කරපු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක් විතර අපේ රටේ තියෙනවා.සාමාන්‍යයෙන් අවුරුද්දෙ යල මහ කන්න දෙකක් වවනවා.මේ හෙක්ටෙයාර් ලක්ෂ පහම මාස් කන්නෙදි වගාකරල යල කන්නෙදිත් ලක්ෂ හතරක්වත් වගා කරනවා.

අවුරුද්දට වී ටොන් ලක්ෂ තිස් අටක් හතලිහක් විතර අස්වැන්න ගන්නවා.ඒකෙන් ලැබෙන හාල් ටොන් ලක්ෂ විසි හය අපේ රටේ පාරිභෝජනයට හොඳටම ඇති.එතකොට අපි සහලෙන් ස්වයංපෝෂිතයි.ඒ වුණාට සහල් අරබයා අපට ස්වාධීනතාවයක් නම් නෑ.ඒක පහුගිය කාලෙ හොඳටම ඔප්පු වුණා.අපි අවුරුද්දකට හාල් ටොන් ලක්ෂ විසි පහක් නිෂ්පාදනය කරද්දී ඒකට යෙදවුම් හැටියට රසායනික පෝර වල්නාශක සහ පලිබෝධ නාශක අත්‍යාවශ්‍යයි.ඒවා සියල්ලම ගෙන්වන්නෙ පිටරටවලින්.ඒවිතරක්ද?මේසැරේ යලේ ෆොවිතැනට එල්ලවුණු ප්‍රධාන බාධකය පොහොරවලටත් වැඩිය බිම් සැකසීමයි.බිම් සැකසීම යාන්ත්‍රිකව කරන නිසා ඒයන්ත්‍ර වැඩ කරන්න ඉන්ධන,අවශ්‍යයි.ඉන්ධන ගේන්නෙ වෙනත් රටවලින්.

ඒ යෙදවුම් නැතිවුණාම අපේ සහල් නිෂ්පාදනය ටොන් ලක්ෂ පහලොවට විතර අඩු වෙනවා.එතකොට තුන්වේල වෙනුවට කන්න වෙන්නෙ දෙවේලයි.නැත්නම් එක වේලයි.අන්න එතකොට අපේ ආහාර සුරක්ෂිත භාවය නෑ.ඒකෙන් තේරෙන්නෙ මොකක්ද? ඉඩම්,බීජ ජලය හා ශ්‍රමය හා කැපවීම තිබුණට අපේ ප්‍රධාන ආහාරයෙන් ස්වයංපෝෂිත තත්වෙට පත්වෙන්න නම් අපිට විදේශීය රාජ්‍යයන් සමඟ සම්බන්ධතාවය පවත්වාගන්නම වෙනවා; ගනුදෙනු කරන්නම වෙනවා.කියන එකයි.අනිකුත් බෝග වර්ග ගත්තම වී වලටත් වැඩිය අපිට විදේශවලින් යෙදවුම් සඳහා යැපෙන්න වෙන්නෙ බීජ පවා ගෙන්වන්නෙ විදේශ වලින් වීම නිසයි.මේක ගැන අවබෝධයක් නැතුව පටු විදියට හිතන කාබනික ගොවිතැන ගැන පොත්වලින් කියෝල සුන්දර කතන්දර කියන උන්නැහැල දීපු ලණුවක් කාපු රටේ ජනාධිපතිට කඹයක් පහරන්න වුනු හැටි දැක්කනෙ. මේ අපේ ආහාර වල තත්වය.එතකොට අනිකුත් දේවල් බලමු .

මේ හුඟ දෙනෙක් කියනව ;දේශපාලන ලොක්කො බෙරිහන්දෙනවා මට ඇහිල තියෙනව අපි බලශක්‍ති ස්වාධීනතාවයක් සුරක්ෂිත භාවයක් තියාගත යුතුයි; ජාතියක් හැටියට කියල. ඒ නිසා බලශක්ති ක්ෂේත්‍රය අපේ රටේ ආණ්ඩුවම කළ යුතුයි;නැත්නම් දේශීය අය පමණක් කළ යුතුයි කියලත් මේ අය කියනවා.අපි බලමු බල ශක්තියේ තත්වය.අපි බලශක්තිය ලෙස පොසිල ඉන්ධන භාවිතා කරනවා.පොසිල ඉන්ධන අපේ රටේ නෑ.ඒවා අපිට ගන්න වෙන්නෙ විදේශීය බහු ජාතික සමාගම් වලිනුයි.එහෙමනම් බලශක්තිය අපේ ආණ්ඩුවෙන්ම කරන්න පුලුවන්ද?දේශීය ව්‍යාපාරිකයට විතරක් කරන්න පුලුවන්ද.?.කෙනෙක් කියයි අපේ බලශක්‍ති ප්‍රභවයන් වුණු සූර්‍යබලය, සුලං බලය, ජලය, භාවිතා කළොත් ඒ ස්වාධීනත්වය හදා ගත හැකියි කියල.මේ සෑම ප්‍රභවයක්ම ශක්තිය බවට හරවන තාක්ෂණය තියෙන්නෙත් උපකරණ නිපදවන්නෙත් විදේශීය රටවල.ඒනිසා දේශීය ප්‍රභවයන් භාවිතා කිරීමටත් විදේශ මත යැපෙන්න වෙනවාමයි.එහෙම නම් එතනත් ඔය කියන ස්වාධීනත්වයක් පවත්වා ගෙනයන්න බෑ .

මේවාගේ බොහෝ දේවල් ලබා ගැනීමේදී විදේශීය ආයතන හා රාජ්‍යයන් සමග සුහදව හා වාණිජ වශයෙන් ගනුදෙනුවල යෙදෙන්න අපට සිදු වෙනවා.ලෝකෙ කොපමණ බලවත්‍ රාජ්‍යකට වත් 100%තමන්ගේ ස්වාධීනත්වයක් මොනම කරුණකදිවත් පවත්වා ගන්න බෑ.වෙනත්‍ රටක තාක්ෂණය ශ්‍රමය භූමිය හෝ ව්‍යවසායකත්වය අවශ්‍ය වෙනවමයි.ඒනිසා රටක් හැටියට අපිට තියෙන සම්පත් සංවර්ධනය කර ගැනීමට අපිට නැති තාක්ෂණය ,ප්‍රාග්ධනය,ව්‍යවසායකත්වය වගේ දේවල් ඒවා තියෙන රටවලින් ගන්න අවශ්‍ය වෙනවා.ඒකට විරුද්ධව බහු ජාතික සමාගම් අධිරාජ්‍යවාදී රටවල් විදේශීය ධනපතියන් සම්බන්ධ කරගන්න එපා කියල කෑගහන දේශපාලන ව්‍යාපාර වලින් මතු වෙන්නෙමේ සරල යතාර්ථය වත් නොදන්නා මනෝ රාජික විකාර හඬක් කියල තමයි කියන්න තියෙන්නෙ.

සුනිල් කන්නන්ගර,

විශ්‍රාමික – ශ්‍රී ලංකා පරිපාලන සේවය

හිටපු අම්පාර, රත්නපුර සහ කොළඹ දිසාපති

එතෙර - මෙතෙර