ලිංගිකත්වය ගැන ඔබේ දැනුම නිවැරදි නොවෙන්නත් පුළුවන් – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

සම ලිංගික විරුද්ධ ලිංගික, සංක්‍රාන්ති ලිංගික, වැනි වචන දැන් අප සමාජයේ ව්‍යවහාරයට එකතු වී තිබීම සාමාන්‍ය දෙයක්. අප මේ ලිපියෙන් උත්සහ කරන්නේ මේ වචන වලට එකතු වී තිබෙන නොයෙක් මිත්‍යා මත බැහැර කොට එම සංකල්පවල විද්‍යාත්මක සත්‍ය ගැන කතා කිරීමටයි. ලිංගික කියන වචනය හරියට බල්බයක් දැල්වෙනවා වගේ වචනයක්. එම වචනය ඇසූ පමණින් අප මනස තුළ දැල් වෙන්නේ සංසර්ගය කියන බල්බයයි. නමුත් මා අර කලින් කී වචන වලින් කී සංකල්පවලට අදාළ ලිංගිකත්වය එවැනි පටු ක්‍රියාවකට සීමා නොවේ. අපි වඩාත් සුදුසු වචනය ලෙස, ලිංගිකත්වය කියන සංකල්පය ගෙන යමු.

එවිට ලිංගිකත්වය සංකල්පය දෙකක් නිර්වචනය කරයි. එනම් ස්ත්‍රි පුරුෂ ලිංග භේදය සහ ස්ත්‍රී පුරුෂ භාවය (gender ) නැමැති සංකල්පයයි. ලිංගිකත්වයෙන් අදහස් කරන ස්ත්‍රී පුරුෂ භේදය නම් හුදු ස්ත්‍රී පුරුෂ ස්වභාවය නිර්වචනය කරන ශාරීරික ලිංගික වෙනසයි. ශිෂ්ණයක් සහ වෘෂණ කෝෂ ඇති නම් ඔහු පුරුෂයෙක්; යෝනි මාර්ගයක් සහ පියයුරු ඇත්නම් ඇය ගැහැණියක් යනුවෙනි. නමුත් මෙවැනි සරල සංකල්පක් පවා ඇත්තෙන්ම ගලෙන් කෙටූ දෙයක් නොවේ. හේතුව එවැනි ස්ත්‍රි පුරුෂ ලිංග ඇති පුද්ගලයින් ද බිහි වන නිසයි. ඔවුන්ට අපි අන්තර් ලිංග (inter sex) යන නම පාවිච්චි කරමු.

මෙහිදී අපට වැදගත් වන්නේ ලිංගිකත්වයේ දෙවැනි නිර්වචනයයි. එනම් ස්ත්‍රී පුරුෂභාවය (gender) නැමැති සංකල්පයයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට තේරුම් ගැනීමට අපහසු සංකල්පයයි. එනම් පිරිමි ලිංග තිබෙන කෙනෙක් ගැහැණියක් විදියට ජීවත් වෙන්න උත්සහ කරන්නෙත්, ගැහැණු ලිංග තිබෙන කෙනෙක් පිරිමි පිරිමි පුද්ගලයෙක් විදියට ජීවත් වීමට උත්සහ කරන්නෙත් ඇයි කියන ප්‍රශ්නයයි. මෙය තේරුම් ගන්න නම් අපි ස්ත්‍රි පුරුෂභාවය නැමැති සංකල්පය ගැන කරුණු දැන ගත යුතුයි. අපගේ XY ජාන සහ XX ජාන මගින් අප පිරිමි සහ ගැහැණු ලෙස බිහි වුණත් තමා පිරිමිද ගැහැණුද යන වැදගත් තීරණය ගන්නේ වයස අවුරුදු 3 වැනි ඉතා කුඩා කාලයේදීයි.

ඔහු හෝ ඇය එදාට ගන්නා තීරණය අනුව සමාජයේ පිළිගත් ස්ත්‍රී පුරුෂ භාවයේ භූමිකාවට අනුව වැඩෙන්නට බලයි. උදාහරණයක් වශයෙන් ගැහැණු ළමයින් බෝනික්කෝ සමග සෙල්ලම් කරන අතර, පිරිමි ළමයින් කාර් සමග සෙල්ලම් කරති. ඉතිං අර වයස අවුරුදු 3 දී ගනු ලබන වැදගත් තීරණය තමන් ගේ ජාන සහ ශාරීරික ලිංගිකත්වයට වඩා වෙනස් වුවහොත් අපි ඔවුන්ව හදුන්වන්නේ සංක්‍රාන්ති ලිංගිකයින් (trans sexual) යනුවෙන්. එනම් ගැහැණු සිරුරක් ඇති අයෙක් තමන් පිරිමියෙක් යැයි සිතනවා. පිරිමි සිරුරක් ඇති අයෙක් තමා ගැහැණියක් යැයි සිතනවා.
එවැනි තීරණකෙතරම් ජීවිතයට බලපානවාද?

එවැනි ස්ත්‍රී පුරුෂභාවය තීරණය වීමට ජානවලින් බලපානවා වාගේ 98% ක් බලපාන්නේ නැහැ. තමන් ගේ ස්ත්‍රී පුරුෂභාවය ගැන ගන්නා තීරණ අයිති වන්නේ වර්ණාවලියක ( spectrum )ටයි. එනම් පිරිමි සිරුරක් ඇති ළමයෙක් 10% ක් වැනි සුලු ප්‍රමාණයක් පිරිමි ලිංගිකත්වයක් සමග ජීවත් වෙනවා යැයි තීරණය කළ හැකියි. එනම් තමන් 90% ක් ගැහැණියක්, නමුත් මට ඕනෑ පිරිමි ළමයින් කරන බොක්සිං වැනි ක්‍රීඩා කිරීම දේවල් කරන්නැයි යනුවෙන් සිතනවා විය හැකියි. තවත් ළමයෙක් තමන්ට, 59% ක් ගැහැණු චරිතයක් වෙන්න ඕනෑ යැයි සිතා සතුටු වෙනවා වෙන්න පුලුවනි.

ඔහු පිරිමි පාසැලකට ගිහින් ඇවිත් ගෙදර සිටින විට ගවුමක් හැද ගෙන ඉන්න කැමති වන්නේ එවිටයි. ගැහැණු ළමයින් කරන සෙල්ලම් කරන්නේ එවිටයි. නමුත් සමහර ළමයින් තමා සියයට සියයක්ම ගැහැණු ළමයෙක් වෙන්න ඕනෑ යැයි තීරණය කරනවා. ඔය ලිංග වෙනස් කර ගැනීමට ශල්‍යකර්ම වලට යන්නේ එවැනි අයයි. මෙයින් මා ඔබට පෙන්වන්නට උත්සහ කලේ ස්ත්‍රී පුරුෂභාවය යන්න ඉතා කුඩා කල තීරණය වූ දෙයක් වුණත් එය ගලේ කෙටූ ඉර වගේ දෙයක් නොවේ යන්නයි. දැන් බලන්න අප සමාජයේ ඕනෑ තරම් ගැහැණු ඇදුම් අදින පිරිමි දැකිය හැකියි. එසේම ගැහැණු සෑම විටම කලිසම්, ටී ෂර්ට් , කමිස අදිනවා. ඒ අය අර මා කලින් කී විදියේ ස්ත්‍රී පුරුෂභාවයේ අර්ධ ( partial) වෙනස්කම් ඇති අයයි.

මෙවැනි සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට ප්‍රතිකාර තිබේද?

මීට දශක 4කට පෙර මෙවැනි අයට නොයෙක් විදියේ ප්‍රතිකාර සිදු කොට වෙනස් කිරීමට උත්සහ කළා. නමුත් අද සංක්‍රාන්ති ලිංගිකත්වය රෝගයක් ලෙස සලකන්නේ නැහැ. එය කුඩා කල සිට ඇති වූ ස්වභාවික සිද්ධියක් සේ අප බාර ගන්නවා. වෛද්‍ය විද්‍යාවේ කරන්නේ ඔවුන්ට කෙතරම් දුරට ස්ත්‍රි පුරුෂභාවයේ භූමිකාව වෙනස් කිරීමට ඕනෑ ද කියා විනිශ්චය කොට එයට ආධාර දීමයි. ඉහත කී 100% ක්ම වෙනස් ලිංගිකත්ව ජිවිතයක් ගත කළ යුතුයි කියා තීරණය කළ අයට නම් හෝමෝන මගින් ශල්‍යකර්ම මගින් තම ශාරීරික ලිංගිකත්වය වෙනස් කිරීමට උදව් කරනවා. එනම් පිරිමියෙකුට සම්පූර්ණයෙන්ම ගැහැණියක් වීමට අවශ්‍ය නම්, සහ ගැහැණියකට සම්පූර්ණයෙන්ම පිරිමියෙක් වීමට අවශ්‍ය බව තීරණය කර ඇත් නම් ඒ සදහා උදව් කරනවා.

අප රටේ රෝහල්වල මෙවැනි අයට සායන පවා දැන් තිබෙනවා. මෙහිදී මෙය කියවන ඔබ ගේ අවධානයට යොමු කළ වැදගත් දෙයක් වන්නේ ඔබ ගේ සහ ඔබ පවුලේ උදවිය ගේ මුදල් ගසා කෑමට උත්සහ අයට හසු වෙන්න එපා. සමහර වෛද්‍යවරු පවා අද සම ලිංගිකත්වය ‘සුව කරන්න ‘ ප්‍රතිකාර කරනවා. සංක්‍රාන්ති ලිංගිකයන් ගේ හිත වෙනස් කිරීමට ප්‍රතිකාර කරනවා. ඒ කරන්නේ ප්‍රෝඩාවක්. එසේ කළ නොහැකියි. ඔවුන් වෙනුවෙන් කළ හැක්කේ ඔවුන්ට තමා තීරණය කළ පැත්තට යාමට උදව් කිරීම පමණයි.

වෛද්‍ය උදව් නොලැබුණහොත්?

මෙවැනි පුද්ගලයින් ට තම ජීවිතය තමන්ට අවශ්‍ය විදියට යොදා ගැනීමට නොලැබුණහොත්, සිදු වන්නේ ඔවුන් මානසික රෝගවලට ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩි වීමයි. විශේෂයෙන්ම ඔවුන් විෂාදය (depression ) සහ සියදිවි නසා ගන්නා පැත්තට යොමු වෙනවා.

ඉතින් අපිත් මේවා ගැන දැනුවත් වී සිටිය යුතුයි. එවිට අපේ පවුලේ කෙනෙකුට මෙවැනි ප්‍රශ්නයක් ඇති වුණහොත් හෝ මෙවැනි කෙනෙක් ගැන කියවන විට හෝ අපිට නිසි දැක්මක් ඇති වෙනවා. එසේ නැති නම් අපිත් අර පුවත්පත් වල පල වෙනවා වගේ ‘පාරේ ගැහැණියක් විදියට හැද පැළද ගිය පිරිමියෙක් පොලිස් අත් අඩංගුවට” ” රාත්‍රී කාලයට කාන්තා ඇදුම් ඇද පාරේ සිටි තරුණයාට පහර දී මරා දමා ඇත” වැනි ශෝචනීය සිද්ධීන් ගැන නිසි දැක්මක් නොමැති අය වෙනවා. ඒ නිසා මේ සම්බන්ධව නිසි විද්‍යාත්මක දැණුමක් ඇති විය යුතුයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

ඉරා අදුරුපට