රුධිර නාලවල ලේ කැටි ඇතිවී නාල අවහිර වීම විවිධ හේතු මත සිදුවිය හැකිය. එවිට ලේ කැටි වර්ධනය වීම වළක්වා ගැනීමට වෛද්‍යවරුන් දෙන ඖෂධයක් වන්නේ වෝෆරින් (warfarin) ය. මේ වන විට බොහෝ දෙනෙකු මෙවැනි රෝගාබාධවලින් පෙළෙන නිසා වෝෆරින් ඖෂධය භාවිතා කරනු විය හැකිය. එනිසාම වෝෆරින් ඖෂධය ගැන ඔබ මනාව දැන සිටීම වැදගත් වේ.
අපේ ශරීරයෙහි සුළු කැපුමක් ඇති වූ විට පවා ලේ කැටි ගැසීම අත්‍යවශ්‍ය ය. නැතහොත් ඒ සුළු කැපුමෙන් වුව නොනවත්වා ලේ ගලා ගෙන යනු ඇත. නමුත් යම් රෝගියකුගේ නහරයක ලේ කැටියක් වර්ධනය වුවහොත් වෛද්‍යවරයා විසින් වෝෆරින් ඖෂධය නියම කරන්නේ ලේ කැටි ගැසීම අඩු කිරීම සඳහාය. මේ අනුව වෝෆරින් ඖෂධය ලබා ගන්නා රෝගියකු කැපුම් කෙටුම් වැනි තුවාල සිදුවීම වළක්වා ගන්නට ප්‍රවේශම් විය යුතුය. ඒ, එවැනි අනතුරක් සිදු වුවහොත් දිගින් දිගටම ලේ ගලා යාමට ඉඩ තිබෙන නිසා ය.
යම් හෙයකින් වෝෆරින් වැඩි වී ලේ කැටි ගැසීමේ ගුණය මුළුමනින්ම ඇණ හිටියොත් එයද ගැටලුවක් වේ. මෙවැනි අවස්ථාවකදී ශරීරයේ කැපුමක් වැනි තුවාලයක් නොතිබුණත් විදුරුමස, නාසය වැනි ස්ථානවලින් නිකන්ම ලේ ගලන්නට ඉඩ ඇති නිසා ය. එබැවින් වෝෆරින් මගින් ලේ කැටිගැසීම කොතරම් දුරට අඩපණ කර තිබේද යන්න
PT/INR වැනි පරීක්ෂණයකින් සොයා බැලිය හැකිය. වෝෆරින් ගන්නා රෝගියකු විටින් විට මෙම පරීක්ෂණය කරවා ගැනීම ඉතා වැදගත් වේ.
එක් අතකින් බලන විට වෝෆරින් භාවිතා කරන රෝගියකුගේ ලේ කැටි ගැසීම ඉතා අඩු විය හැකි නිසා සැහැල්ලුවෙන් ජීවිතය ගෙන යාමට පුළුවන.
නමුත් මෙහිදී තවත් ගැටලුවක් ඇතිවීමට ඉඩ තිබේ. එනම් වෙනත් රෝගවලට ගන්නා විවිධාකාර ඖෂධ වෝෆරින් සමග ගැටීමට හැකියාවක් තිබෙන නිසා ය. මෙහි ප්‍රතිඵලය වන්නේ එක්කෝ වෝෆරින් තවත් බලගතු වීම ය. නැතහොත් දුර්වල වීමය. වෝෆරින් බලගතු වුවහොත් එහි ප්‍රතිඵලය වන්නේ ශරීරයේ කොතැනක හෝ ඇතිවන දැඩි ලේ ගැලීමකි. එය අපට පෙනෙන තැන්වල මෙන්ම ශරීරය ඇතුළත අපට නොපෙනෙන තැන්වල ද සිදුවිය හැකිය. ආහාර මාර්ගයේ ලේ ගැලීමක් ඇති වුණොත් ලේ ද ආහාරයක් ලෙස දිරවා කළු පැහැති මල පිට වෙයි. ඒ එක උදාහරණයක් පමණි.
යම් හෙයකින් රෝගියා ගන්නා අනෙක් ඖෂධ වෝෆරින් සමඟ ගැටීමෙන් වෝෆරින් දුර්වල වුවහොත් ලේ කැටි ගැසීමේ අවදානමක් ඇති රෝගියෙකුට එය ජීවිත අවදානමක් වන්නට පුළුවන.
සමහර රෝගීන් විසින් කරනු ලබන ලොකු වරදක් වන්නේ තමා ගනු ලබන වෝෆරින් අවසාන වී දිනක් දෙකක් පමණ ඉකුත් වූ පසු වෛද්‍යවරයා වෙත යාම ය. මෙහි ඇති අවදානම රෝගීන් අවබෝධ නොකර ගැනීම අවාසනාවට කරුණකි. දිනක් දෙකක් හෝ ඔබ වෝෆරින් නොගෙන සිටියොත් ඔබේ ශරීරයේ වෝෆරින් නොමැත. මෙම ඖෂධය නොකඩවාම ගත්තේ දැයි වෛද්‍යවරයා විමසන විට ඔබ දෙන පිළිතුර ද “ඔව්” යන්න වීමට බොහෝ විට ඉඩ තිබේ. මෙහිදී ඔබේ PT/INR පරීක්ෂණය සිදුකරන විට එහි අඩු මට්ටමක් පෙන්වනු ඇත. නමුත් ඔබ නොකඩවා වෝෆරින් ගත්තේ යැයි වෛද්‍යවරයාට පවසා තිබුණොත් එහිදී වෛද්‍යවරයා තීරණය කරන්නේ ඔබ වෝෆරින් අරගෙන තිබියදීත් ශරීරයේ වෝෆරින් මට්ටම අඩුවී තිබෙන්නේ ඔබට ලැබෙන වෝෆරින් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසා බව ය. ඒ අනුව මේ අවස්ථාවේ දී වෛද්‍යවරයා ඔබට ලැබිය යුතු වෝෆරින් ප්‍රමාණය දශමයකින් හෝ වැඩි කළහොත් එය විශාල ලේ ගැලීමක් බවට පත් වන්නට බැරිකමක් නැත. එය වෛද්‍යවරයාගේ වරදකින් සිදුවූවක් නොවේ. වෛද්‍යවරයාට සත්‍යය වසන් කර ඔබම කර ගත් දෙයකි. එබැවින් ඔබ වෛද්‍යවරයා වෙත යා යුත්තේ ඔබ ළඟ තිබෙන වෝෆරින් සම්පූර්ණයෙන්ම අවසන් වීමට පෙර ය.
සමහරු වෝෆරින්
මි. ග්‍රෑ.2.5ක් ගන්නා ලෙස නියම කළ විට මි.ග්‍රෑ. පහේ පෙත්ත දෙකට කඩා පානය කරති. මෙයද ඉතා අහිතකර වීමට පුළුවන.ඊට හේතුව හරියටම 2.5 කට පෙත්ත වෙන්කර ගැනීම සාමාන්‍යයෙන් කළ නොහැකි නිසා ය. නමුත් මි. ග්‍රෑ. 1ක පෙත්තක් දෙකට කඩා දශම 5 බැගින් වෙන් කර ගැනීමට සිදුවුවහොත් එයින් එතරම් ලොකු ගැටලු මතුවන්නේ නැත.
වෝෆරින් ගන්නා රෝගියකු වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා කවර හෝ වෛද්‍යවරයකු වෙත ගිය විට තමා වෝෆරින් ඖෂධය භාවිතා කරන බව අමතක නොකරම වෛද්‍යවරයාට පැවසිය යුතුය. අඩුම තරමින් සෙම්ප්‍රතිශ්‍යාවක්, තුවාල වීමක් වැනි දෙයක් සඳහාවත් කිසිදු අලුත් ඖෂධයක් හිතු මනාපයට ගැනීම එවැනි අයකු නොකළ යුතු වේ.
මෙවැනි විස්තර පැවසුවේ වෝෆරින් ගන්නා රෝගීන් බිය වැද්දීමට නොවේ. ඔබ නහරයක ලේ කැටියක් හටගත් රෝගියෙකු නම්, එයට වෛද්‍යවරයා ඔබට වෝෆරින් නියම කළහොත් ඒ එම ඖෂධය ඔබේ රෝගයට වඩාත් සුදුසුම ඖෂධය වන නිසා ය. නමුත් වෝෆරින් භාවිතා කරන ඔබ ඉහත කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම ද අවශ්‍ය ය.
කායික රෝග විශේෂඥ
වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා