රාජකීය විද්‍යාලයට අහිමි වෙමින් දැවීගිය රනිල් ගේ “මාලිගාව”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ(09) රාත්‍රියේ ගිනි තබන ලදී.එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කියයි.

මෙම සිදුවීමත් සමඟ අප රටේ මාධ්‍ය ආයතනයක් සෘජුවම සම්බන්ධ බවක් ද පැවසෙයි. අවසාන ප්‍රතිඵලය වූයේ කොළඹ රාජකීය විද්‍යාලයට අනාගතයේ හිමිවීමට තිබූ බුද්ධිමය ගබඩාවක් බඳු දැවැන්ත පුස්තකාලයක් සහිත නිවසක් අහිමිව යාමය.
ගෝඨා ගෝ හෝම් කියා පැමිණි පිරිස අතරට මාධ්‍ය ආයතනයක් හා විපක්ෂ දේශපාලන කණ්ඩායමක් එක්ව රනිල් ගෝ හෝම් හා ආණ්ඩුව ගෝ හෝම් කියන මතය ද එක් කළේය. ගෝඨා ගෝ හෝම් කියා කීමේ අරමුණ නොදන්නා පිරිස රනිල් ගෝ හෝම් කියා ද කියන්නට වූයේ ඔහුගේ නිවස අසලට පැමිණ ය. ගෝඨා ගෝ හෝම් යනුවෙන් සටන් පාඨයක් නිර්මාණය වූයේ ඔහු ඇමරිකානු පුරවැසියෙකු වූ නිසා ය. ජනපතිවරණය වෙනුවෙන් එය අතහැරිය ද ඔහු ගේ බොහෝ දේපල තිබුණේ ඇමරිකාවේ ය.

නමුත් කාලාන්තරයක් තිස්සේ මුල් බැසගෙන ඇති දේශපාලන එදිරිවාදිකම් වෙනුවෙන් එම මාධ්‍ය ආයතනය මුල් වී එය රනිල් දෙසට ද යොමු කළේය. කිසිවක් නොදත් අරමුණක් නැති ආර්ථික අමාරුකම්වලින් හෙම්බත්ව සිටින ජනතාව එය හිස් මුදුනින් පිළිගත්තෝය. ඔවුන් රනිල් කාලයක් තිස්සේ පදිංචිව සිටින පාරම්පරික නිවස අසලට පැමිණ රනිල් ගෝ හෝම් යැයි කීවෝය. ඒ රනිල් වෙනුවෙන් වන වෙනම විරෝධාතා පාඨයක් වත් සකස් වී නොතිබූ බැවිනි. මැයි 09 දා ගෝල්ෆේස් අරගල බිමට දියත් වූ දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් පසු ජනතාව නීතිය අතට ගෙන තිබුණි.ඔව්හු නිවාස දේපොල ගිනිබත් කළෝය. නමුත් එය සාධාරණීකරණය කිරීමට ද පිරිස් කටයුතු කරමින් සිටියේ එසේ විනාශ වූයේ හොරකම් කරපු මහජන ධනයෙන් ඉදිවූ නිවාස බව කියමිනි. එම නිසා කවුරුත් එම විනාශය වෙනුවෙන් කම්පා වූයේ නැත. මහජන ධනය හොරකම් කළ ඉදිකළ ද නිවසක් යනු යම් මුදල් ආයෝජනයකි. එහි පදිංචිකරුවන්ගේ ජීවිතයෙන් කොටසකි. එය තමන්ගේ ඇස් පනාපිට විනාශ වෙනවා දැකීම තරම් වේදනාවක් මිනිසෙකුට නොමැති බව ලියුම්කරුගේ මතයයි.

කෙසේ නමුත් මහජනයාගේ කෝපය ඉන් නිවි ගිය ද එම මාධ්‍ය ආයතනය හා දේශපාලන කණ්ඩායමක් ජනතාවගේ කෝපය නිවී යනවාට කැමැති වූයේ නැත. ඔවුන් දිගින් දිගටම නැවත මහජන කෝපය අවුලුවන ලෙස කටයුතු කළෝය. ඔවුන් කීවේ රාජපක්ෂවරුන් හා ඔවුන්ට උදව් කරන සියළු පාර්ශව රටින් පැන්නිය යුතු බවකි. මැයි 09 දා සිද්ධියෙන් පසු අගමැති ධූරය බාර ගැනීමට රටේ කිසිදු දේශපාලන පාර්ශවයක් කැමැති වූයේ නැත. ඔවුන් කොන්දේසි දමමින් කල් මරන්නට වූ අතර රනිල් වික්‍රමසිංහ එම අභියෝගය බාර ගත්තේය.ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක එය හඳුන්වන ලද්දේ “මාලිගා කුමන්ත්‍රණය”යන නමිනි. නාගරික ඉහළ මධ්‍යම පාන්තික පරම්පරා සඳහා නිවෙස් මිස මාලිගා ඉදිව ඇති බවක් මුල් වරට කියැවුණේ අනුර කුමාරගේ මුවිනි.මෙසේ නාගරික ඉහළ මධ්‍යම පාන්තිකයන් “මාලිගා වල” ජීවත් වන බව පැවසීමෙන් සාමාන්‍ය ජනතාව තුළ ඉහළ මධ්‍යම නාගරිකයන් කෙරෙහි වෛරයක් මෝදු කර විය හැකි බව ඇත්තකි.එහෙත්, එබඳු කටයුතු සඳහා අනුර කුමාර තුළ විමල් වීරවංශගේ හැකියාවෙන් දහයෙන් පංගුවක් වත් නැත.

ඒ කෙසේ හෝ ජනකාන්ත වාදයට “ෂෝට් කට්”එකක් වූ මධ්‍යම පාන්තික පාන්තික නිවෙස් මාලිගා යනුවෙන් හැඳින්වීමේ කතාවේ වලිග කොණ ඕමල්පේ සෝභිත හිමියන්ගේ අතට ද පත්ව ඇති බවක් පෙනෙයි.ඒ අනුව අද වන විට ගිනි බත් කොට ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ නිවස නොව මාලිගාව ය. නමුත්,මේ කියුම් කෙරුම් ගණනකට නොගත් රනිල් රටේ ආර්ථික කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් උනන්දු වී කටයුතු කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක ආහාර වැඩසටහන සමග මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සමඟ ද එක්ව රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන්නට විය..

ගෑස් ප්‍රශ්නය විසදීමට කටයුතු කළ ඔහු මෙම මස 11 දා සිට මාස 4 ක් යනතුරු අඛණ්ඩව ගෑස් සැපයීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කළේය. රසායනික පොහොර හිඟයට පිළියමක් ලෙස ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ යූරියා මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කරන්නට පියවර ගත්තේය. ඉන්ධන හිඟය පියවීම වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් සිටි අතර එය ද මෙම සතියේ සිට අවසන් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබුණි.
බැරි වෙලාවත් රට සාමාන්‍ය තත්ත්වයට පත්වුහොත් තමන් නියෝජනය කරන කණ්ඩායම්වලට බලයට පැමිණිමට නොහැකි වනු ඇතැයි එම මාධ්‍ය ආයතනය මෙන්ම දේශපාලන නියෝජිතයෝ ද කල්පනා කරන්නට ඇත. ඔවුහු ඊට අදාළ සැලසුම් සකස් කරමින් ඉන්ධන පෝලිම්වල සිටින ජනතාව උසි ගන්වමින් වෛරය වපුරවන්නට කටයුතු කළහ. නැවත ගෝටා ගෝ හෝම් සටන් පාඨය එළියට ගත් අතර ඔහු ධූරයෙන් ඉවත් වන තෙක් ජනාධිපති මන්දිරය අසලට පැමිණ අඛණ්ඩව එහි රැදී සිටින බවට ප්‍රකාශ විය..

එහි ප්‍රතිඵලය තීව්‍ර වූයේ 08 දා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ අඥාන උපදෙස් මත ඇදිරි නීතිය පැනවීම නිසාවෙනි. එහි ප්‍රතිඵලය වූයේ 09 දා කොළඹට පැමිණිමට නියමිතව සිටි පිරිස දෙගුණ තෙගුණ වීමය. සැබෑ අරගලකරුවන් ගමන් කළේ ජනාධිපති මන්දිරයටය. එහිදී පැමිණි ජනතාව පාලනය කිරීමට නොහැකිවූයේ ආරක්ෂාවට සිටි පිරිස් ප්‍රමාණවත් නොවූ නිසාවෙනි. රාජ්‍ය බුද්ධි සේවයේ සමීක්ෂණ වාර්තාවන්ට අනුව උදේ වන විට 30,000 ක පිරිසක් ද සවස් වන විට එය 60,000 ක පිරිසක් දක්වාද වර්ධනය වී තිබුනි. පැමිණි පිරිස ඉහළ යාම නිසා ජනාධිපති මන්දිරියේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට කැදවා තිබූ ආරක්ෂක බල මුළු ප්‍රමාණවත් වූයේ නැත. ආරක්ෂක ආමත්‍යාංශයේ තොරතුරු අනුව එම ආයතන දෙකේ ආරක්ෂාවට කැඳවා තිබුනේ 8000 ක පමණ පිරිසකි. මේ නිසා ඔවුහු තමන්ගේ ශක්තිය අතහැරියහ..

ඉන් පසු පිරිස ජනාධිපති මන්දිරියට හා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කඩා වැදුනහ. එහෙත්,එම මාධ්‍ය ආයතනයේ හා එක් දේශපාලන කණ්ඩායමක අවශ්‍යතාවය ඉන් සම්පූර්ණ වූයේ නැත. ඔවුන්ගේ අවශ්‍යතාවය වූයේ අගමැති රනිල්ගේ පෞද්ගලික නිවස වෙත ද අරගලකරුවන් කැඳවා ගැනීමය. එම නිසා එම මාධ්‍ය ආයතනය විසින් අගමැති ඉවත් නොවන බව පුන පුනාම ප්‍රකාශ කළ අතර ඔහුගේ පෞද්ගලික නිවස ඇත්තේ තර්ස්ටන් විද්‍යාලය අසල බවද කියා සිටියේය.

එසේම එහි ගිය මාධ්‍යවේදීන් ද රනිල්ගේ නිවස අසල රැඳී සිටිමින් ඔවුන් එහි සිටින බව සජිවි දර්ශන විකාශය කළේය. පසුව කොළඹට පැමිණි ජනතාවගෙන් කොටසක් එහි ගෙන්වා ගැනීමට ඔවුන් සමත් වූ අතර එහි පැමිණි පිරිස් උත්සාහ කළේ ආරක්ෂක වැටවල් කඩා ගෙන ඇතුලට යාමටය. එය පාලනය කිරීම වෙනුවෙන් කදුළුගෑස්, ජල ප්‍රහාර එල්ල කළ අතර පිරිස විසිරී යද්දී අදාළ මාධ්‍ය ආයතනයේ පිරිස ආරක්ෂක අංශ සමඟ ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ කළ අතර මාධ්‍ය ආයතනයේ උගුලට හසුවූ ආරක්ෂක නිලධාරිහු ස්ථානෝචිත ප්‍රඥාව භාවිතා නොකර මාධ්‍යෙව්දීන්ට පහර දුන්හ.

එම ප්‍රහාරය සජීවිව දෙමින් රට කැළඹූ මාධ්‍ය ආයතනය තවත් පිරිස් එතනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. අවසානයේ 5000 ක පමණ පිරිසක් එහි පැමිණි අතර ආරක්ෂාවට සිටි නිලධාරීන් ඉන් ඉවත්වූයේ පැමිණි පිරිසට මුහුණ දී ගත නොහැකිවය. අවසානයේ වඳුරන්, රිලවුන්සේ තාප්ප මතින් නිවසට පැනගත් පිරිස් දේපලවලට අලාභහානි කරමින් අගමැති රනිල්ගේ නිවස ගිනිබත් කළහ..

මෙයට රනිල් ද ඒකාන්ත වශයෙන්ම වැරදිකරුවෙකි. පක්ෂ නායක රැස්වීමේදි ඔහු කියා සිටියේ සර්වපාක්ෂික ආණ්ඩුවකට බලය පවරන තෙක් තමන් අගමැති තනතුරේ රැදී සිටින බවය. ඊට හේතු ලෙස ඔහු කීවේ ඒ වන විටත් ගෑස් හා ඉන්ධන ප්‍රශ්නය වෙනුවෙන් ගෙන ඇති පියවර අවසන් අදියරේ පවතින බැවින් අලුත් ආණ්ඩුවකට එහි ඉදිරි කටයුතු බාරදිය හැකි බවටය. එසේම ලෝක ආහාර සංවිධානයේ පිරිසක් මෙම සතියේ ලංකාවට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවක් මේ සතියේ යොමු කිරීමට නියමිත බවත් ඔහු කියා සිටියේය. අගමැතිත්, ජනාධිපතිත් එකවර ඉල්ලා අස්වුවහොත් එය රටේ අනාගතයට ගැටළුවක් බැවින් සර්වපාක්ෂික ආණ්ඩුව පත්වූ පසු තමන් ඉවත්වීමෙන් එයට ගැටළුවක් මතු නොවන බව ඔහු පක්ෂ නායකයන් දැනුවත් කළේය.

තමන් අයින් වෙන මොහොතේත් ඔහු රටේ අනාගතය ගැන සිතූ බව පැහැදිලිය. එය හරියට කුලී නිවසින් යන්න සුදානම් වන්නකු එම නිවස නවීකරණය කොට හිමි කරුට කටයුතු කිරීමට සමානය. යන යකා කොරහත් බිඳගෙන යන පිළිවෙතේ ඔහු සිටියේ නැති බව පැහැදිලිය. නමුත් ලියුම්කරුගේ මතය නම් ඕන දෙයක් රටට වෙන්න කියා ඔහුට ධූරයෙන් සමුගැනීමට තිබූ බව ය. එසේ වුවා නම් ඔහුට වෙන මොනවා නැතත් තම දෙමාපියන්ගෙන් උරුම වූ නිවස හෝ ඉතිරිවන්නට තිබුණි.රාජකීය විද්‍යාලයට පැවරූ නිවස හෝ ඉතිරිවන්නට තිබුණි. අනාගත ජනතාවකට පරිහරණය කිරීම ඔහුගෙන් පසු මහගු පොත් පත් රාශියක් ඉතිරිවීමට තිබුණි. තවත් පිරිසක් කියන්නේ හැමෝම දැන් රනිල්ගේ පුස්තකාලය පරිහරණය කර ඇති බවකි. රටේ විශ්ව විද්‍යාල කිහිපයක් විසින් පෞද්ගලික පුස්තකාල ගැන හෙළිදරව් කර ඇති අතර එම ලේඛන වල පවා මෙම පුස්තකාලය ගැන සඳහන් වන බව ඒ අය දන්නේ නැත. පොත පත කියවන පිරිස් එම හෙළිදරව් කිරිම් ගැන නොදනිති..

නිවස ගිනි ගැනීමෙන් පසු සිය මිතුරන් සමඟ රනිල් කියා තිබුණේ ඒ විනාශ වී ගියේ රාජකීය විද්‍යාලයට හිමිවීමට තිබූ නිවසක් බවය. තමන්ට නිවස ගැන දුකක් නැතත් විනාශ වූ පොත් පත් ගැනනම් දුකක් ඇතැයි ඔහු කියා තිබුනි. ඒ රනිල් ගේ හැටිය. ඔහු රට ගැන සිතුවා මිස තමන් ගැන සිතුවේ නැත. ඔහුගේ “පිස්සුව” තවමත් සුව වී නැත. තවමත් සිතන්නේ රට ගැනය. මේ ලියුම් කරු රනිල්ට කියන්නේ දැන්වත් තමන්ගේ දෙයක් බලාගන්නා ලෙසය. මේ රටත් මේ රටේ මිනිස්සුත් දියුණු කළ නොහැකිය. ඔවුන් සිතන්නේ අද ගැන පමණකි. එවැනි රටක් එවැනි ජාතියක් දියුණු කිරීමට රනිල්ට තබා ශක්‍රයාටවත් බැරිය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර