ගාලු මුවදොරට පහර දීමේ යටි අරුත කුමක්ද ?

ජනාධිපති රනිල් වික්‍රම සිංහගේ පාලනයේ වැඩ ඇල්ලීම සේ සැලකෙන ජනාධිපති ලේකම් කාර්යාලය මුදවා ගැනීමේ මෙහෙයුම අවසන් වූයේ ශ්‍රී ලංකාව තවත් වටයකින් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් කරමිනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ගේ පත්වීම ජාත්‍යන්තර ප්‍රසිද්ධියට ලක් වූ පළමු අවස්ථාව වූයේ 1960 ජුලි මාසයේදී ය. ඒ ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වු නිසා ය. එදා සිට හරියටම අවුරුදු හැට දෙකකට පසුව ලොව පුරා යළිත් ශ්‍රී ලංකාව ගැන කතා බහක් ඇති වුණේ නව රාජ්‍ය නායකයෙකු පත්ව පළමු කාර්ය ලෙස නිරායුධ
උද්ගෝෂණ කරුවන්ට සන්නද්ධ හමුදාව යොදාගෙන මධ්‍යම රාත්‍රියේ පහරදී පලවා හැර ස්වකීය කාර්යාලය මුදවා ගත් සිද්ධිය නිසාය. මෙය විස්තර කල හැක්කේ කල යුතුව තිබූ කාර්යයක් එය නොකල යුතුව තිබූ ක්‍රමයට කල අවස්ථාවක් ලෙස ය. ශ්‍රී ලංකාවාසී ප්‍රජාව අති මහත් බහුතරයකටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්වකීය කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීමට තිබූ අවශ්‍යතාව පිළිබඳව ගැටලුවක් නොමැත. රජයක් ලෙස ස්වකීය රාජ්‍ය පාලනයේ කේන්ද්‍රස්ථානයක් අරගලකරුවන්
ගේ සන්තකයේ දිගටම තිබෙන්නට හැර පාලනය පවත්වා ගෙන යාම රාජ්‍යයේ ප්‍රතිරූපය කෙරෙහි අහිතකර බලපැම් එල්ල කරන්නක් බවට පාලකයින් සිතුවේ නම් එය සාධාරණ ය.

රාජ්‍ය කේන්ද්‍රස්ථාන වන ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මැදුර යන ගොඩනැගිලි වැදගත් වනුයේ අංශ කිපයකිනි. ජනාධිපති ලේකම් කාර්යාලය යනු ජනාධිපතිවරයාගේ කාර්යාල සංකීර්ණයයි. පූර්ණ විධායක බලය සහිත මහජනයා විසින් ස්වකීය පරමාධිපත්‍ය බලතල ප්‍රකාරව පත් කෙරෙන ජනාධිපතිවරයා ගේ පාලන කේන්ද්‍රස්ථානය වනුයේ ජනාධිපති ලේකම් කාර්යාල සංකීර්ණයයි. ජනාධිපතිවරයා ගේ කාර්යාලයත්, ජනාධිපති ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් පවතින කාර්යාල සංකීර්ණයත් පිහිටා ඇති මෙය රාජ්‍යයේ ප්‍රධාන බල කේන්ද්‍ර ස්ථානය වෙයි. ජනාධිපති මන්දිරය යනු ජනාධිපතිවරයාට පදිංචිය සඳහා වෙන්කරදී ඇති ස්ථානයයි. ජනාධිපතිවරයා ගේ පදිංචි ස්ථානය වීම නිසාම දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පවත්වා ගෙනගිය මෙම ස්ථානය රටේ ප්‍රධානතම මර්මස්ථානයකි. අරලියගහ මන්දිරය යනු අග්‍රාමාත්‍යවරයා ගේ නිල නිවාසය හා කාර්යාලය පිහිටි ස්ථානයයි.

ජනාධිපති ලේකම් කාර්යාලය මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ද අරලියගහ මන්දිරයට නුදුරු කොල්ලුපිටියේ මල් පාරේ පෞරාණික ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇත. මේ ස්ථාන හතරම රාජ්‍ය පාලනයේ මර්මස්ථාන වන අතර අතිශය වැදගත් පෞරාණික වටිනාකමකින් ද යුක්තය. ජනාධිපති මන්දිරයේ ඉතිහාසය ලංදේසි පාලන සමය දක්වා යන දීර්ඝ එකකි. ලංදේසි, බි්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ වලින් අනූන මේ ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික උරුමයක් ද වන්නේය. බි්‍රතාන්‍ය ආණ්ඩුකාර වරුන්ට ද වාසස්ථානය වූ මේ ස්ථානය නිදහස් ලංකාවේ ආණ්ඩුකාර වරුන් වන සෝල්බරි සාමි, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, විලියම් ගොපල්ලව යන තිදෙනා ගේම වාසස්ථානය වූ අතර ඉන් පසු ජනාධිපති ලෙස විලියම් ගොපල්ලව මැතිතුමා ගේ වාසස්ථානය බවට පත් විය.

එතෙක් රජ ගෙදර ලෙස ජන ව්‍යවහාරයේ වූ මෙම ස්ථානය විධායක ජනාධිපති ක්‍රමය යටතේ ජනාධිපති මන්දිරය බවට පත්විය. මෙය ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස යන ජනාධිපතිවරුන් සිය රාජ්‍ය තාන්ත්‍රික රාජකාරි වලට යොදා ගත්තත් පදිංචිය සඳහා භාවිතා කළේ නැත. ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග යන ජනාධිපතිවරු මෙහි පදිංචිව සිටි අතර මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරු පදිංව් වීමෙන් තොරව රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරි වලට මෙම මන්දිරය භාවිතා කලෝය. යළිත් මෙහි පදිංචියට ඒමට සිදු වූ රාජ්‍ය නායකයා වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා ය.

පෘතුගීසීන් 1505දී කොළඹට ගොඩබට අවස්ථාවේ කොළඹ වරාය අසල ගලක කෙටවූ පෘතුගීසි ලාංඡනය ආරක්ෂිතව ඇත්තේ ජනාධිපති මන්දිරයට අයත් ගෝඩන් උද්‍යානයේදී ය. ජනාධිපති ලේකම් කාර්යාලය යනු යටත් විජිත යුගයේ මහජන පාලන කේන්ද්‍රස්ථානය වූ රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස් වූ ගොඩනැගිල්ලයි. බි්‍රතාන්‍ය වාස්තු විද්‍යාත්මක හා ගෘහ නිර්මාණ සම්ප්‍රදායන්ට අනුව ගොඩනඟා ඇති මෙම ස්ථානය 1947 සිට ලංකා පාර්ලිමේන්තුව රැස් වූ ගොඩනැගිල්ල විය. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, විජයානන්ද දහනායක ආදී අග්‍රාමාත්‍යවරුන් අසුන් ගත් මේ පාර්ලිමේන්තු මන්දිරයේ ප්‍රථම වතාවට කාන්තාවක් අග්‍රාමාත්‍යවරිය ලෙස අසුන් ගත්තේ 1970 මහ මැතිවරණයෙන් පසුවය. ඒ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියයි.

එතුමිය ඊට පෙර 1960-1965 දක්වා අගමැති ධුරය දැරුවේ පාර්ලිමේන්තුවේ අසුන්ගෙන නොවේ. එවකට ද්විතියික මන්ත්‍රණ සභාව වූ සෙනට් සභාවේ අසුන් ගෙනය. ඉන්පසු ජේ. ආර්. ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරු ලෙෂ මෙම ගොඩනැගිල්ලේ පාර්ලිමේන්තුවේ අසුන් ගත්හ. පාර්ලිමේන්තුව වර්තමාන දියවන්නා දූපතට ගෙන ඒමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය බවට පත්කල මේ ගොඩනැගිල්ල පෞරාණික වැදගත් කමක් ඇති වටිනා ස්ථානයක් වන්නේ එසේ ය. අරලියගහ මන්දිරය ද ලංදේසි සමය තෙක් දිවෙන ඉතිහාසයක් සහිත යටත් විජිත යුගයෙන් ලද දායාදයකි. නිදහස් ලංකාවෙ සෑම අග්‍රාමාත්‍ය වරයෙකු ගේම පදිංචිය හා කාර්යාලය ලෙස පවත්වා ගෙන ගිය මෙහි කටයුතු නොකළ අගමැති වරුන් වූයේ ජේ.ආර්. ජයවර්ධන, ඩී. බී. විජේතුංග, දි.මු. ජයරත්න යන අගමැතිවරුන් පමණි.

මේ නිසාම පෞරාණික අගය අතින් අනූනය. අගමැති ලේකම් කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ මල් පාරේය. එම ස්ථානය ද පෞරාණික වශයෙන් වැදගත් බ්‍රිතාන්‍ය ගොඩනැගිලි සම්ප්‍රදායට ඉදිකල පැරණි ප්‍රභූ මන්දිරයකි. මෙම ස්ථාන හතරම බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම තුළින් සංකේතවත් වන්නේ රාජ්‍ය පාලනයේ බලය පාලකයා ගෙන් ගිලිහීමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ ධුර කාලය තුළ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති මන්දිරය ද ජනාධිපති ලේකම් කාර්යාලය ද අගමැති කාර්යාලය සහිත අරලියගහ මැදුර ද අරගල කරුවන් ගේ ග්‍රහණයට පත් වුණේ පසුගිය ජූලි නමවෙනිදා ය. ලක් ඉතිහාසයේ රජ සමයෙන් පසුව රාජ්‍ය පාලන කේන්ද්‍රස්ථාන වලින් පාර්ලිමේන්තුව හැර ඉතිරි ස්ථාන සියල්ල රජයට විරුද්ධව උද්ගෝෂණය කල අරගල කරුවන් අතට පත්වීම රාජ්‍ය පාලනයේ අනිවාර්ය බලපෙරලියක ආරම්භය විය. මේ බල පෙරලිය අරගල කරුවන් ගෙන් කුඩා කොටසක් වූ වාමාංශික දේශපාලන බලවේග බලාපොරොත්තු වූ දිසාවට යොමුකර ගත නොහැකි වූයේ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබූ ශක්තිමත් ප්‍රතිපාදනයන් හා මහජනතාව ස්වකීය පරමාධිපත්‍ය සහතික කර තිබූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පිටින් ක්‍රියා කිරීමට අනුකූලත්වයක් නොදැක් වූ නිසාය.

අර්බුදය උත්සන්නවෙද්දී ගෝඨාභය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විපක්ෂයට අගමැති ධුරය භාර ගන්නා ලෙස ඇරයුම් කළත් ඒ පිළිගැනීම සඳහා විපක්ෂයේ නායකයින් විවිධ කොන්දේසි ඉදිරිපත් කිරීම එක් මන්ත්‍රී අසුනකට සීමාවී දුර්වලව සිටි පරිණත පලපුරුදු කෘතහස්ත දේශපාලකයෙකු වූ රනිල් වික්‍රමසිංහට ලැබුණු මහඟු අවස්ථාවක් විය. ඔහුට රට වෙලා ගනිමින් තිබුණු අර්බුදය පිළිබඳව හොඳ වැටහීමක් තිබූ අතර ඊටත් වඩා හොඳ වැටගීමක් තමා පිළිබඳව තිබුණි. ඔහුට අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස ඇරයුම ලද සැනෙන් ඔහු එය පිළිගත්තේ ය. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ වාර්තාවක් තබමින් තනි මන්ත්‍රී ධුරයක් සහිත දේශපාලන පක්ෂයක් ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සටහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත් කෙරිණි.

අරගල කරුවන් විසින් ජුලි නම වෙනි දින පාලන කේන්ද්‍රස්ථාන අල්ලා ගත් පසුව ගෝඨාභය ජනාධිපතිට රටින් පලා යාමට සිදුවිය. එසේ පලා යද්දී ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය වරයා ජනාධිපති පදවියේ වැඩ බැලීමට පත් කිරීමට ඔහු අමතක නොකළේය. රනිල් වික්‍රමසිංහට ජනාධිපති පදවියේ වැඩ බැලීමට සිදුවූයේ අනාථයෙකු ලෙසය. ඒ ඔහුගේ පෞද්ගලික නිවස පවා අරගලය අස්සේ ගිනි තබා විනාශ කිරීමට ක්‍රියා කර තිබුණු බැවිණි. මේ වන විට රාජ්‍ය පාලන කේන්ද්‍රස්ථාන සිය භාරයට ගැනීමෙන් සාමකාමී අරගලය නීත්‍යානුකූල සීමාවෙන් පිටතට පැන
කැරැල්ලක් දක්වා වර්ධනය වී තිබුණි. රාජ්‍ය භාරයේ තිබූ එකම බලකේන්ද්‍රය වූයේ පාර්ලිමේන්තුව පමණි.

පාර්ලිමේන්තුවට කිරීම සඳහා ලහි ලහියේ අරගල කරුවන් කැඳවීම ඒ වන විට ද ආරම්භ වී තිබුණි. ඒ අනුව රාජ්‍ය නායක පදවියේ වැඩ බැලූ රනිල් වික්‍රමසිංහට ගත යුතුව තිබුණේ වසර හතලිස් පහක් වූ ඔහුගේ දේශපාලන ජීවිතයේ සංකීර්ණම තීරණය බව නිසැකය. කෙසේ වුවද රන්ල් වික්‍රමසිංහ සිය සුපුරුදු තීරණ ගැනීමේ කෞශල්‍යයෙන් යුතුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ප්‍රමුඛ හමුදාපතිවරුන්ටත් පොලිස්පති වරයාටත් පාර්ලිමේන්තුවත් ඇතුලු රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ක්‍රියා මාර්ගයක් ගන්නා හැටියට වැඩ බලන, රාජ්‍ය නායකයා ලෙස පැහැදිලි නියමයක් නිකුත් කළේය. ඒ නියෝගය ප්‍රකාරව පාර්ලිමේන්තුව වට කල අරගල කරුවන්ට දැඩි ප්‍රහාරයක් එල්ලකර ඔවුන් පලවා හැරීමට ආරක්ෂක අංශ සමත් වූ අතර පනහකට වැඩි පිරිසක් තුවාල සිදුවීමත් හමුදා භටයින් දෙදෙනෙකු ද බරපතල ප්‍රහාරයකට ලක්ව සිය ගිනි අවි හා උණ්ඩ ගැබ් අහිමි වීමත් සිද්ධියේ බරපතලකම කියා පාන්නක් වෙයි.

මේ ප්‍රහාරය පිළිබඳව පුදුම නිහැඬියාවක් රටේත් ජාත්‍යන්තරයේත් තිබීම පුදුම සහගතය. අඩුම තරමින් පාර්ලිමේන්තුව වට කිරීම සංවිධානය කල අය පවා සිය සමාජ මාධ්‍යය හරහා යැවූ කැඳවුම් පණිවුඩ සංශෝධනය කරමින් කර ඇරියා මිස ප්‍රහාරය ගැන ප්‍රබල විරෝධයකට ගියේ නැත. සංවිධායකයින් අරගලකරුවන්, මානව හිමිකම් ක්‍රියාධරයින්, තානාපතිවරුන් නොදන්නා සේ සිටි එම ප්‍රහාරය රනිල් වික්‍රමසිංහව ජනාධිපති ධුරයට ගෙන ගිය ප්‍රහාරය මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ආරක්ෂා කල ප්‍රහාරය බව කිසිවෙකුට තේරී නැත. ඒ වන විට ස්වකීය ගෙවල් දොරවල් ගිනි තබනු ලැබ ගම් වලට පය තැබීමට නොහැකිව නායකත්වයක් ද නොමැතිව අනාථව අසරණව සිටි දූෂිත, අදූෂිත, වංක. අවංක, උගත්, නූගත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ඇස් ඇර වූ ප්‍රහාරය වූයේ එම ප්‍රහාරයයි. තමන්ට නායකත්වය දිය හැකි ශක්තිමත් දේශපාලකයා රනිල් වික්‍රමසිංහ බව ඔවුන් තීරණය කළේ මේ ප්‍රහාරයෙනි. එහි ප්‍රතිඵලය වූයේ රනිල් වික්‍රමසිංහ අටවන විධායක ජනපති වීමයි.

රනිල් අගමැති වීම තර්ජනයක් ලෙස දුටු අරගලකරුවන් ඇතමෙක් ගෝඨා ගෝ හෝම් යන්න රනිල් ගෝ හෝම් කරන්නට උත්සාහ කල ද ඊට ජන සහායක් නොවූ බව පෙනුණි. ජුලි නමවෙනි දින රජ්‍යයේ බලකේන්ද්‍රස්ථාන අත්පත් කරගත් අරගල කරුවෝ ඇතමෙක් තම තමන්ගේ දේශපාලන මත ගැටුම් මත ගුටි බැට පවා හුවමාරු කර ගනිමින් අරගලය තුළ අරගලයක් අරඹා එකිනෙකා පරයා මුදුනා වීමේ සටනකට ද පිවිස තිබුණි. එතෙක් නීත්‍යානුකූල පසුබිමක් වූ අරගලයට සහාය දුන් නීතිඥ සංගමය හා යම් යම් සිවිල් සංවිධාන රාජ්‍ය කේන්ද්‍රස්ථාන අත රඳවා ගෙන සිටීමේ හා ඒවාට බලවත් හානි වන අන්දමින් පරිහරනයට ඉඩ සැලසීමේ මෝඩ තීරණයේ ප්‍රතිඵල දැන වහාම ඒවා අතහැර ගෝඨා ගෝ ගම දක්වා පසුබසින ලෙසත් තම සහය දෙන්නේ සාමකාමී විරෝධයන්ට පමණක් බවත් පැහැදිලිව පෙන්වා දුන්නත් අරගලයේ දේශපාලන න්‍යායාචාර්යවරු ඒවා ගණනකට ගත්තේ නැත.

ඔවුන් උත්සාහ කළේ ව්‍යවස්ථාවට පිටින් මහජන සභාය පිහිටුවා ඒ හරහා රාජ්‍ය බලයට සම්බන්ධ වී ක්‍රියාකාරී වීමටයි. ඒ වන විටත් අරගලයේ නම කියා රාජ්‍යයේ යම් යම් කොටස් භීතියට පත් කිරීමට ශක්තිය ගොඩනගා ගෙන තිබුණි. ජනාධිපති මන්දිරයේ පෞරාණික දේවලට සිදුව තිබූ මහත් වූ හානිය ගැන කෙලින් ප්‍රකාශයක් කිරීමට වග කිවයුතු රාජ්‍ය නිලධාරීන් පැකුළුනේ අරගලේ කට්ටිය අපේ ගෙවල් ගිනි තියන්න පුළුවන් බව කිව්වොත් කියමිනි. මේ වන විට අරගලයට බැඳී තිබුණු මහජන බලය අරගලයෙන් විවිධ හේතුන් මත ඉවත් වෙමින් තිබුණි. බොහෝ දෙනකුගේ අදහස වූයේ ගෝඨා ගිය නිසා අරගලයේ අරමුණ ඉටු වූ බවය. තවත් පිරිසක් අරගලයෙන් ඉවත් වුණේ ඒ තුළ වූ දේශපාලන ගැටුම නිසාය. තවත් කොටසක් නීති විරෝධී කාර්යයන් වන රාජ්‍ය දේපල අල්ලා ගෙන සිටීමට එරෙහිව ඉවත් විය. මධ්‍යස්ත මතධාරී මධ්‍යම පාන්තික තරුණ කොටස් ආණ්ඩුවට අවස්ථාවක් දිය යුතුය යන මතයෙන් නිහඬ විය.

මෙසේ ජන සහය දුර්වල වෙද්දී ජනපති මැදුර, ලේකම් කාර්යාලය, අරලියගහ මැදුරට වන හානි ගැන මහජන විරෝධයක් ද මතුවෙමින් තිබුණි. ඒ මත අරලියගහ මැදුර හා ජනපති මැදුර ආපසු භාර දුන්න ද ජනපති ලේකම් කාර්යාලය දිගටම තමන් භාරයේ තබා ගෙන සිටීමට ඉතුරුව සිටි අරගල කරුවෝ ක්‍රියා කලහ. මේ අතර රනිල් ජනපති පදවියේ දිවුරුම් දී ආරක්ෂක අමාත්‍යංශට ගිය ගමනත් ඊට පෙර වැඩ බලන ජනපති ලෙස ආරක්ෂක අංශ වලට කල දිරි දීමත් නිරීක්ෂණය වූ නිසා දෝ අරලිය ගහ මන්දිරය අසල සිටි අරගල කරුවන් සිය අරගලය නිමා කලෝය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අරගලකරුවන් ද පසුදින තමන් එම ස්ථානය භාර දෙන බව දන්වා තිබූ සැරසිලි ඉවත් කර යම් සූදානමක් ප්‍රදර්ශනය කලෝය. ඒ අතර අරගල දේශපාලන නායකයින් රනිල් වික්‍රමසිංහට බය නැති බවත් ගෝඨා ගිය පාරේම යවන බවටත් කෑ ගැසීම ද දිගටම කලෝය. ඒ කාලේ ඇතැම් විට කනත්ත ළඟින් රාත්‍රියේ යන විට යකාට බයේ කුණු හරුප කියනවා වැනි දෙයක් වන්නට ද පුළුවන. මේ වන විට රජයට ඉතුරුව තිබුණේ අරගල කරුවන් අතේ තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය බලය යොදා ගන්නවා ද ඔහුන් සාමකාමීව භාරදෙනතුරු ඉන්නවා ද යන්න තීරණය කිරීමටයි. එසේත් නැති නම් ජනාධිපති ලේකම් කාර්යාලය අත හැර දමා වෙනත් තැනක සිට රට
පාලනය කරනවා ද යන විකල්පය ද රජයට තිබුණි. විසි දෙවන දින අලුයම රජයෙන් සිදු කල ජනාධිපති ලේකම් කාර්යාලය මුදවා ගැනීමේ මෙහෙයුම විග්‍රහ කල යුත්තේ ඒ පසුබිමේය.

මේ වන විට වැඩ බලන ජනාධිපති ලෙසත්, ජනාධිපති ලෙසත් අරගලය පිළිබඳව වූ සිය මතය රනිල් වික්‍රමසිංහ පැහැදිලිව ප්‍රකාශ කර තිබුණි. ඔහු කීවේ සාමකාමී අරගලයට සහය දෙන බවත් බලහත්කාරීත්වය රාජ්‍ය දේපල අත්පත් කර ගැනීම හා ඒවාට හානි කිරීමට එරෙහිව උපරිම පියවර ගන්නා බවත්ය. ආරක්ෂක අංශ වලට ඔහු පැහැදිලි උපදෙස් දී තිබුණේ රාජ්‍යයේ ආරක්ෂාව සැපයීම ඔහුන් ගේ වගකීම බවත්, ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග වලදී ආරක්ෂක අංශ වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ය. ඔහු කැරලි කරුවන් සමග අතර මැද එකඟතා වලට සූදානම්
නැති බව පෙන්නුයේ අගමැති කාර්යාලය ළඟදී අරගල කරුවන්ට වෙඩි නොතබන බවට සහතික වූ බි්‍රගේඩියර් වරයා ධුරයෙන් ඉවත් කිරීමෙනි.

එමෙන්ම තම පෞද්ගලික නිවස අසලදී අරගල කරුවන්ට පහරදීම නිසා වැඩ තහනම්ව සිටි පොලිස් අධිකාරිවරයා යළි සේවයේ පිහිටුවීමෙනි. ජනාධිපති ලේකම් කාර්යාලය අරගල කරුවන් ගෙන් ලබා ගැනීම තීරණය වන්නට ඇත්තේ ඔය පසුබිමේය. ආරක්ෂක අංශ වලට පැහැදිලි නියෝග රාජ්‍ය නායකයාගෙන් ලැබී තිබියදී අරගල කරුවන් සමග නීති විරෝධී කාර්යන්හි දී අතර මැද එකඟතා වලට එළඹීමට ඉඩක් නොමැති බවත් පැහැදිලි වෙද්දී ආරක්ෂක අංශ ස්වකීය බලය යොදවා ජනාධිපති කාර්යාලය ආපසු ගැනීමට තීරණය කළ බව පැහැදිලිය. ආරක්ෂක හමුදා මෙහෙයුමකදී සාකච්ඡා කරමින් සම්මුති වලට එළඹෙමින් කටයුතු කිරීමට වඩා හැකි ඉක්මණින් කාර්ය නිම කිරීම අරමුණු කරගන්නා බවත් එහිදී මතු වන බාධා ඉවත් කිරීම සිදුකරන්නේ ස්වකීය බලය යොදා ගනිමින් බවත් පැහැදිලිය.

මේ අනුව සිය බලය යොදවා ජනාධිපති වරයාගේ කාර්යාලය මුදවා දීම ආරක්ෂක අංශවල වගකීම බව ආරක්‍ෂක අංශ තේරුම් ගත්තා විය යුතුය.
මේ මුදවා ගැනීමේ ක්‍රියාමාර්ග වලින් ජනාධිපතිවරයා ලෝකයට දෙන්නට හදන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ ශක්තිමත් භාවය පිළිබඳ තහවුරුවයි. අරගලයේ ක්‍රියාකාරීත්වයත් ගෝඨාභය ජනාධිපතිවරයා ගේ දුර්වල ක්‍රියාකාරීත්වයත් මහජන කැලඹිලි හා ආර්ථික අර්බුදයත් නිසා ශ්‍රී ලංකාව නූතන සෝමාලියාව, සුඩානය බවට පත් වෙමින් තිබුණි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව නීතියේ පාලනය ස්ථාපිත කළ නොහැකි දුර්වල රාජ්‍යයක් ය යන මතය ලොව පුරා ප්‍රබල ලෙෂ පැතිර යමින් තිබුණි. ජනාධිපති වරයා තම පාලනයේ ප්‍රමුඛතාව ඇත්තේ රට තුළ නීතියේ
පාලනය ස්ථාපිත කිරීමට බවට වූ පණිවුඩය ලෝකයට දීමට අදහස් කර ඇති බව පෙනේ. එසේම රාජ්‍ය තුළ තම ප්‍රතිපත්තීන් ශක්ති මත්ව ස්ථාපිත කළ හැකි බලයක් තමා සතු බව ද ලෝකයට තහවුරු කිරීමට ඔහුට අවශ්‍යව ඇත්තේ ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබීමත් ඒ සඳහා විදේශීය ආයෝජකයන් ගේ ආකර්ෂණය ඇති කර ගැනීමටත් අවශ්‍යව ඇති නිසාය.

ආයෝජකයෝ අරගල කරුවන්ට ජනාධිපතිව එලවා දැමිය හැකි අන්දමේ රාජ්‍යන් වල සිය මුදල් ආයෝජනය නොකරති. ජනාධිපති වරයා ලොවට පෙන්නන්න යන්නේ ගෝඨාභය ගේ ඉවත්වීම ඔහුගේ දුර්වලතාවය මත සිදුවූ දෙයක් මිස අරගලකරුවන් ගේ ශක්තිය මත වූ දෙයක් නොවන බවය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හයෙන් පහක බලයක් තබා ගෙන ස්වකීය මන්ත්‍රී වරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි ද සන්තකයේ තබා ගෙන පෙන්නූ ශක්තිය ශ්‍රී ලාංකීය රාජ්‍ය පාලන ව්‍යුහය භාවිතා කර ස්වකීය අත්දැකීම් සමග යොදා ගනිමින් පෙන්වීමේ යෝධ උත්සාහයක නව ජනාධිපති වරයා නිරත වන බව මෙයින් පැහැදිලි වෙයි.

අරගලයට පක්ෂ පාත බලවේග වල දරුණු විවේචනයට මෙම ජනාධිපති කාර්යාලය මුදා ගැනීමේ මෙහෙයුම ලක්ව ඇත. සාමකාමී නිරායුධ ජනයා ඉදිරියට සන්නද්ධ හමුදා එවීම ම වැරදිය යනුවෙන් කීර්තිමත් හමුදා නායකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ද කියා ඇත. මහජනතාවගේ සාමකාමී උද්ගෝෂණ අයිතියට ඉඩදිය යුතු බව ඇමරිකා, බි්‍රතාන්‍ය තානාපතිවරුන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය ද පෙන්වා දී ඇත. අරගල කරුවන්ට අනුව මේ ප්‍රහාරය ම්ලේච්චය තුච්ඡය ඔවුන් සාමකාමීව ඉවත් වන්නට සිටියදී පහරදීම වැරදිය. නීතීඥ සංගමය සිය සාමාජිකයින් සිය ගණනක් සමග යළි අධිකරණය ඉදිරියේ අරගල කරුවන් වෙනුවෙන් පෙනී සිටීම ආරම්භ කළේය. ජනාධිපතිවරණයෙන් තුෂ්නිම්භූතව සිටි විපක්ෂයට එක්ව පහර දීමට ලැබුණු හොඳ පුට් බෝලයක් ලෙස මේ මෙහෙයුම යොදා ගැනේ.

ජාත්‍යන්තරය මේ සිද්ධිය දෙස කවර ඇසකින් බලයි ද මේ සිද්ධිය රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට කෙසේ බලපෑම් කරයි ද යන්න පිළිබඳව අනාවැකි පල කළ නොහැකිය. එක් දෙයක් කිව යුතුය. ඒ පුරවැසියන් සිය මූලික අයිතිවාසිකම් භුක්තිවිඳී මේදී නීතියේ සීමාවන් තුළ රැඳී සීටීමටත් එසේ නීතිමය සීමාවන් තුළ පසුවෙමින් ජනතාව දක්වන අදහස් සලකා බැලීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට රජයත්. ජනතාවගේ අයිතීන් වලට ගරු කිරීමට ආරක්ෂක අංශත්, ව්‍යවස්ථාවෙන් අනුදැන ඇති ක්‍රම ඔස්සේ පමණක් බලයට පත්වීමට දේශපාලන පක්ෂත් ක්‍රියා
කරන්නේ නම් රටේ අර්බුදය අපට ජයගත හැකි වනු ඇත යන්නයි.

සුනිල් කන්නන්ගර,

හිටපු කොළඹ,රත්නපුර සහ අම්පාර මහ දිසාපති

එතෙර - මෙතෙර