මීහරකා කියන්නේ අපේ ජාතියේ ගෞරවය හිමිවිය යුතු සතෙක්-ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

“මීහරකා” යන වදන අද වන විට මිනිසුන් සඳහා වැඩිපුරම යෙදෙන අවභාවිතාවක් බවට පත්ව තිබේ. එහෙත්, එය බරපතල දෝෂ දර්ශනයට ලක් කෙරෙන විද්වතකු අපට හමුවිය.

ඒ ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා විද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ය. ඔහු පවසනුයේ සිංහල ජාතිය සංකේතනය කිරීම පිණිස සිංහ සංකේතයක් යෙදීම අරුත් සුන් දෙයක් බවත් ඒ සඳහා අතිශය උචිත සත්වයා වනුයේ මීගවයා හෙවත් මීහරකා බවත් ය. ආචාර්ය ලක්දුසිංහයන් ගේ ඒ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙලෙසිනි.

**************
එක් දහස් නවසිය අසූ එක අවුරුද්දේ මම නෙදර්ලන්තයේ රොට්රඩම් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කටයුත්තක යෙදී ඉන්න අතරේ අපේ රටේ කීර්තිමත් පුරා විද්‍යාඥයෙක් වුණු මහාචාර්ය සේනක බණ්ඩාරනායක ‘සීගිරිය’ ගැන කරපු වාර්තා චිත්‍රපටියක් බලන්න ලැබුණා.

ඒ කාලේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක තමයි කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශය භාරව හිටියේ. ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතිය භාරව කටයුතු කළෙත් එතුමා ම තමයි.

ඒ වාර්තා චිත්‍රපටිය පටන් ගන්නේ සී සෑමක යෙදෙන මීහරකෙකු ගේ පාදයක සමීප රූපයකින්. පස්සේ ඒ ගවයාව සම්පූර්ණයෙන් දර්ශන තලයට හසු වෙනවා. ඊට පස්සේ ඒ කුඹුර හාත්පස සදාහරිත පරිසරය දර්ශනය වෙලා ඊට පස්සේ තමයි සීගිරි ගලේ දර්ශනයක් මතු වෙන්නේ. මේක දැකපු මගේ ඇස් දෙක කඳුළින් පිරුණා. මේ රූප රාමු පෙළ ඔස්සේ සීගිරිය හැඳින්වීම මොන තරම් විශිෂ්ට කාරියක් ද කියලා මට හිතුණා.

අපේ සිංහල ජාතිය සිංහයෙකු ගෙන් පැවැත එන කතාව අමූලික බොරුවක්; මිථ්‍යාවක්. තමන් ගේ ගෝත්‍රයේ සංකේතය විදිහට මොකෙක් හරි සතෙක්, සර්පයෙක් යොදා ගන්න එක මිනිස්සු ශිෂ්ටාචාර ගත වෙන්න කලින් ඉඳලම කරපු දෙයක්. ඉස්සර අපේ රටේ ජීවත් වුණු නාග ගෝත්‍රිකයන් ගේ සංකේතය නයා. ලම්භකර්ණ ගෝත්‍රිකයන්ගේ සංකේතය එළුවා.

ඉන්දියාවේ මෞර්ය රාජවංශයේ සංකේතය මොනරා. ඔය සත්ව සංකේත මුල් කරගෙන ගෝත්‍ර හඳුන්වන එකට කියන්නේ ගෝත්‍ර විහ්නවාදය (Totemism) කියලා. නමුත් ඇත්තෙන්ම කියනවා නම් අපේ සිංහල ජාතියට ඔය සිංහයා කියන සතා එක්ක මොනම සම්බන්ධයක් වත් නැහැ. එහෙම සම්බන්ධයක් ඇති වෙන්න නම් සිංහයකුයි මිනිස් කාන්තාවකුයි ලිංගිකව එකතු වීමෙන් ඒ කාන්තාවට මිනිස් දරුවන් උපදිනවා කියන විහිළුවත් අපි පිළිගන්න ඕනේ.

අපේ රට බහු වාර්ගික ජනතාවක් ජීවත් වෙන රටක් හින්දා අපේ ජාතිය ශ්‍රී ලාංකික කියලා හඳුන්වා ගන්න පුළුවන්. ඒකේ කිසිම වරදක් නැහැ. නමුත් අපේ ශ්‍රී ලාංකේය ජාතියේ කේන්ද්‍රීය ජන කොටස තමයි රටේ සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකකටත් වඩා ඉන්න සිංහල ජනතාව; ආගම ගත්තොත් බුද්ධාගම. අපේ ජන සමාජයේ කේන්ද්‍රීය සමාජ ආර්ථිකය පදනම් වෙන්නේ කෘෂිකර්මය මත. අපේ රට සාම්ප්‍රදායිකවම ගොවි රටක්. අද රටේ ඉන්න සිංහල ජනතාවගෙන් තුනෙන් දෙකක් විතරම ගොවි කුලයේ අය වීමෙන් ඒක තවත් තහවුරු වෙනවා.

අපේ රටේ කෘෂිකර්මාන්තයෙන් හැම වෙලාවේම ප්‍රධානත්වයට පත් වුණේ වී ගොවිතැන. ඒ ගොවිතැනේ දී මිනිසා එක්ක එකතු වෙලා ඒ වගා සංග්‍රාමවලට යාවජීව විදිහට උරදීපු සත්වයෙක් හිටියා නම් ඒ තමයි මීහරකා. අපේ රටේ හීලෑ අලි ඇත්තු හිටියා. ඒ රාජකීයයන් ඇතුළු ප්‍රභූන්ගේ සේවයට; අපේ රටේ අශ්වයෝ හිටියේ නැතත් රටින් අශ්වයෝ ගෙනාවා.

උනුත් රාජකීය යුද කටයුතුවලට යොදා ගත්තා මිසක් රටේ සාමාන්‍ය ජනතාවට මොනම විදිහකින් වත් සම්බන්ධ කළේ නැහැ. නමුත් මීහරකා ඒ වගේ නෙවෙයි. මේ රටේ දුගී දුප්පත් මනුස්සයා ගේ ඉඳලා සෑම තරාතිරමකම මිනිස්සුන් ගේ හදවත් වලට පුදුම විදිහට සමීප වෙලා හිටියා. ඒ යාවජීව සම්බන්ධයෙන් තමයි අද අපි බොහොම ආඩම්බරයෙන් කතා කරන අතීත ශිෂ්ටාචාරය, සංස්කෘතිය වගේ දේවල් නිර්මාණය වුණේ. මීහරකා නොහිටියා නම් අපිට මෙච්චර වටිනා සංස්කෘතික උරුමයක් හිමි නොවෙන්න හොඳටම ඉඩ කඩ තිබුණා.

අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය අදත් හඳුන්වන්නේ මහා ථූපය කියලා. ඒ වගේම අනුරාධපුර, පොළොන්නරු වගේ යුගවලදී ඉදි කෙරුණු දා ගැබ්, විහාරාරාම වගේ හැම දෙයකම පදනම ඒ කාලවල තිබුණු ආර්ථික සමෘද්ධිය. ඒ සමෘද්ධියේ පදනම තමයි ගොවිතැන. ඒ ගොවිතැන් අතරිනුත් වී ගොවිතැන, ඒ වගේම ඉස්සර මේ වී ගොවිතැන් වලදී අද වගේ යන්ත්‍ර සූත්‍ර භාවිතයක් තිබුණේ නැහැනේ. සීයට සීයක්ම යොදා ගත්තේ මිනිස් ශ්‍රමයයි මීහරකුන්ගේ ශ්‍රමයයි.

එහෙම නම් අනුරාධපුර, පොළොන්නරු යුගවල ඔය කියන පෞරාණික ආගමික සංස්කෘතික උරුමයන් ගොඩනඟන්න මීහරකා ගෙන් මොන තරම් නම් දායකත්වයක් ලැබෙන්න ඇතිද? ඒත් අද නිකමට හරි කිසි කෙනෙක් ඒ ගැන හිතනවද? කතා කරනවද? අඩු ගාණේ ඒවා වඳින්න පුදන්න යන අපේ බෞද්ධයෝ උන්ව සිහිපත් කරනවද?

පහුගිය කාලේ මං දැක්කා අනුරාධපුරේ මහා විශාල පින්කමක් කරනවා, එදා මෙදා තුර අපේ රට බේරා ගත්තු රණවිරුවන් සිහි කරලා පින්පෙත් දෙන්න. ඒ පින්කමේ දී රට වෙනුවෙන් දිවි දීපු අලි ඇතුන්ට, අශ්වයන්ට පවා පින්පෙත් දෙන්න ඒ අය කාරුණික වෙලා තිබුණා.

නමුත් ඒ යුද්දෙට ගිය හැමෝටම බත සපයන්න පුරෝගාමී වුණු ගව මහේෂාදීන් ගැන ඒ අයට වගේ වගක් තිබුණේ නැහැ. මට පේන විදිහට ඕක අපේ ජාතියේ තියන ලොකු අඩුවක්. ඕනෑම හොඳ දෙයක් කරන්නේ පුංචි හරි ‘කොස්සක්’ හිටින විදිහටම තමයි.

සංස්කෘත භාෂාවෙන් මී ගවයාට කියන්නේ මහීෂ කියලා. පාර්වතී දෙවඟනට ලියපු ප්‍රශස්තියක් හැටියට බාණ කියන පඬිවරයා ලියපු ‘චණ්ඩි ශතකය’ කියන කෘතියේ පාර්වතීගේ චණ්ඩි ඒ කියන්නේ දුර්ගා කියන අවතාරය මහා බලගතු අසුරයෙක් මරනවා. ඒ අසුරයාගේ නම මහීෂ; සිංහලෙන් කිව්වොත් මීහරකා. ඒකෙන් මේ සතාට මානව ඉතිහාසයේ විවිධ අවස්ථාවල අති ප්‍රබල බවක් ආරෝපණය කරලා තිබෙන බව කියන්න පුළුවන්.

මී ගවයා ගැන අපේ රටේ බොහෝ දෙනෙක් නිසි සැළකිල්ලක් නොදැක්වුවාට හෙළයේ මහ ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලියූ ‘විරාගය’ නවකතාවේ මී ගවයා ගැන කදිම සඳහනක් කරනවා. වික්‍රමසිංහ මහත්තයා ඒ සඳහන ඉදිරිපත් කරන්නේ ‘විරාගය’ කෘතියේ කතා නායක අරවින්ද ඒ නව කතාවේ එන කුලසූරිය; තැපැල් මහත්තයා දක්වපු අදහසක් හැටියට.

විරාගය නව කතාවේ කුලසූරිය කියන්නේ ලෞකිකත්වය හා බැඳුණු ඇලීම් ගැටීම් වලින් අත් මිදිලා එක්තරා විදිහක ශ්‍රමණ දිවි පෙවෙතක් ගත කරමින් ජීවිතයේ සැබෑ සැනසුම භුක්ති විඳින අති සුන්දර චරිතයක්.

මී හරකා නුවණැති තලතුණා සතෙක් කියා කුලසූරිය කියන බව අරවින්ද තමන් ගේ ආත්ම භාෂණයේ සඳහන් කරනවා. තවුසෙකු මෙන් උදාසීන සතෙකු වන මීහරකා කිපෙන්නේ කලාතුරකින් බවත් උගේ මුහුණත්; ගතියත් තලතුනා මිනිසකු සිහිපත් කරන බවත් කුලසූරිය කියන බව අරවින්ද සිහිපත් කරනවා.

අවුරුදු දාස් ගණනක් කුඹුරු වැඩට යොදා ගැනුණු මීහරකා පරණ මිනිසුන් ගේ සමහර හොඳ ගති උකහා ගෙන ඇති බවට කුලසූරිය කරන අතිශය දාර්ශනික ප්‍රකාශය වික්‍රමසිංහ මහත්තයා අරවින්දගේ ආත්ම භාෂණයට එක් කිරීම සුළු පටු කාරණයක්ය කියලා මම නම් හිතන්නේ නැහැ. ඒ අනුව එයා හරිම මීහරකා කියා යමෙක් කියනු ඇසීමෙන් කිපෙන්නා අමනයෙක් කියා කුලසූරිය කියන බව ද අරවින්ද සඳහන් කරනවා.

ඒ සියලු කතා කියන අරවින්ද කුලසූරිය මීහරක-ුන් ගේ ගුණ කියන්නේ මිනිසුන්ට නින්දා කිරීමේ අදහසින් නොවන බවට තමන්ට විශ්වාස බව ද ඒ ආත්මභාෂණය මගින් ප්‍රකාශ කරනවා. පෙර අපර දෙදිග ඥාන සම්භාරයකින් පිරිපුන් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගේ ‘විරාගය’ නවකතාව කියවා ඇති බොහෝ දෙනෙකුටත් ඒ කොටස මතක නැහැ. ඒකෙන් වික්‍රමසිංහ චින්තනයයි අපේ රටේ පොදු ජන චින්තනයයි අතර තිබෙන පරස්පරතාවක් මතු වී පේනවා.

මීහරකා අපේ ජනතාවගේ හදවත් වලින් ටිකෙන් ටික දුරස් වෙන්නේ අපේ රටේ වී ගොවිතැන සඳහා ට්‍රැක්ටර් වගේ යන්ත්‍ර සූත්‍ර භාවිතය වගේම වී ගොවිතැනට අතීතයේ හිමි වෙලා තිබුණු තැන ටිකෙන් ටික අවප්‍රමාණ වීම වගේ හේතු කාරණා මුල් කරගෙන. අද වෙන කොට බොහෝ විට මීහරකා මී කිරි කර්මාන්තයට කිරි ලබා ගන්න යොදන සතෙක් බවට පත් වෙලා.

ඒ සඳහා මී එළ දෙනුන් යොදා ගන්න හින්දා ඒ එක්කම වැඩෙන මීගවයන් ගැන අතිශය ඛේදනීය කතාන්දරත් අහන්නට ලැබෙනවා. මේ සියලුම කාරණා මුල් කරගෙන මට එක හෙළාම කීමට ඇත්තේ අපේ රටේ, ජාතියේ, සංස්කෘතියේ පැවැත්මට උදාරතර මෙහෙයක් ඉටු කරපු මේ උතුම් සත්වයා ගේ නම අඥාන මිනිසුන්ට පට බැඳීමට විතරක් ප්‍රයෝජනයට අරගෙන මේ සතා ගේ සැබෑ අගය වටිනාකම සාහසික ලෙස යටපත් කිරීම සිංහල ජාතිය සතු බලවත් ගුණ හීන, අකෘතඥ කමක් බවයි.

මී හරකාණෙනි

දොඹ සූරන මහ වැසි ඇද වැටුණත්
ගණන් ගත්තෙ නෑ
ගල් වෙඩි පුපුරා ළඟ ගල් වැටුණත්
ගණන් ගත්තෙ නෑ

සේලෝ යතා ඒක ඝානෝ
වාතේන න සමීරති

වාත වේග වැද
නොසැලෙන ගල ඔබ

හැඩිදැඩි මුත් ගත
පොඩි සතෙකුට නෑ ලොකුකම් පෑවේ
සාගිනි මුත් කුස
පුංචි සතෙකු නෑ මරාන කෑවේ

ඔබ නොසිටින්නට
මොන අස්වැන්නෙන්
අටු පුරවන්න ද
ඔබ නොසිටින්නට
මොන අස්වැන්නක්
රට පටවන්න ද

ඔබ හින්දයි සීගිරියක් සැදුණේ
ඔබ හින්දයි රන්මැලි සෑයක් බැඳුණේ

මගේ හදවතේ කැටපත් පවුරේ
අලුතින් කොඩියක් සැලසුම් කරනෙමි
ඒ කොඩියේ මැද
මම
උඹේ මූණ අඳින්නෙමි
ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් විසින් රචිත සැන්දෑ යාමය (2016) පද්‍ය සංග්‍රහයෙනි

එතෙර - මෙතෙර