අපේ රටේ දිළිඳු පවුල් කබලෙන් ලිපට ඇද දමන්නේ කවුද?

ශ්‍රී ලංකාවේ පවුල් ජීවිත වල යහපැවැත්මට ආර්ථික අර්බුද ප්‍රධාන තර්ජනයක් ව පවතින බව අනාවරණය වී තිබේ.මෙම තත්වය කොතෙක් බරපතල ද යත් මෙරට ජනගහනයෙන් අඩකටත් වඩා එනම් 52%ක් තරම් ප්‍රමාණයකගේ පවුල් ජීවිත වල යහපැවැත්මට ප්‍රධාන තර්ජනය වී ඇත්තේ ආර්ථික සාධක බව හඳුනාගෙන ඇතැයි අලුත්ම සමීක්ෂණ වාර්තාවක දැක්වේ.නිවසේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට මෙරට ජනගහනයෙන් 22.7%කට නොහැකි වී ඇති අතර, තවත් 17%ක ප්‍රමාණයකට බලපා ඇත්තේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ ඒ ආශ්‍රිත ගැටළු බව ද එම වාර්තාවේ සඳහන් වේ.යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජර්මානු තාක්ෂණික සහයෝගිතා ආයතනය, ශ්‍රී ලංකා බැරෝමීටරය සහ ශ්‍රී ලංකා රජය රජයේ ඒකාබද්ධ සහයෝගයෙන් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.මෙරට ජනගහනයෙන් 13%ක තරම් ප්‍රමාණයක ජනතාවක් විරැකියාවෙන් පෙළෙන බව ද එම සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත. “ශ්‍රී ලංකාවේ 2022 අර්බුදය සහ සමාජ ඒකාබද්ධතාවය” යන මැයෙන් සිදු කර ඇති එම සමීක්ෂණයේ වාර්තාව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පසිගිය 08 වන දා කොළඹ දී එළිදැක්විණ.2021 වසරේ දී ශ්‍රී ලාංකිකයන් දරිද්‍රතාවයෙන් ඉහළම මට්ටමකට පත්ව තිබූ බව ද ඔවුන්ට එම වසරේ දී බොහෝ විට මූලික අවශ්‍යතා නොමැතිව පවා ජීවත් වීමට සිදු වූ බව ද එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.                                                                                                                                                                                                                                ශ්‍රී ලාංකේය ජන සමාජය හා දිළිඳුකම සම්බන්ධ මෙම ගැටළුව විවිධ ද්‍රෂ්ඨි කෝණ ඔස්සේ වරින් වර විමසුමට ලක් වන්නකි.මිනිසා සම්බන්ධයෙන් වන පොදු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන ආර්ථික ශක්තිය නොමැති වීම මෙම දිළිඳුකම සම්බන්ධ මූලික පදනම සේ සළකනු ලැබේ.අප සමාජය තුළ මෙම ජනතාව පෙළන දිළිඳුකම සම්බන්ධයෙන් වැඩිම හඬක් නැගෙනුයේ දේශපාලන වේදිකා මතිනි.ජනතාවට ජීවත්වීම පිණිස අවශ්‍ය මූලික යටිතල පහසුකම් සළසාදීම පාලකයන් සතු පරම යුතුකමක් සහ වගකීමක් ය යන සත්‍යය අපි ද එක හෙළා පිළිගනිමු.නමුදු අප සමාජයේ අඩු ආදායම් සේම නොවිධිමත් ආදායම්ලාභී කොටස් වල ආර්ථික විෂමතා ඇති කරවන විවිධ බලවේග මඟින් එම සමාජමය කොටස කබලෙන් ලිපට ඇද දමන අන්දම නිසි විශ්ලේෂණයකට ලක් ව ඇති බවක් නොපෙනෙයි. ලෝක වාසී ජනතාවගේ දිළිඳු බව අර්ථ නිරූපනය කෙරෙනුයේ ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව(International poverty line ) යන අර්ථ නිරූපණය මඟිනි.සරල ලෙසින් අර්ථ නිරූපණය කළ හොත් ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව යනු දරිද්‍රතාවයෙන් යුතුව ජීවත් වන පුද්ගලයෙකු සති ලෙස සැලකෙන මුදල් සීමාවකි. එය ගණනය කරනු ලබන්නේ එක් එක් රටවලින් දරිද්‍රතා සීමාව ලබාගෙන එක් වැඩිහිටියකුගේ පැවැත්මට අවශ්‍ය භාණ්ඩවල වටිනාකම ඩොලර් බවට පරිවර්තනය කිරීමෙනි. වර්තමාන ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව දිනකට ඇමරිකානු ඩොලර් 1.90 කි.දැනට දිනකට ඩොලර් 1.90 ක් වන ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව, යමෙකු දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ ද? යන්න තීරණය කරන පොදු සාධකය වේ.කෙසේ වෙතත්, මෙම ප්‍රමිතිය මඟින් සනීපාරක්ෂාව, ජලය සහ විදුලිය සඳහා ප්‍රවේශය සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය කෙරෙහි ඇති කරන බලපෑම සැලකිල්ලට නොගනී.ඒ අනුව එය “කෙසේ හෝ ජීවත්වීම” යන පදනම මත සිට විමසා බැලෙන්නක් බව කිව යුතු ය.එමෙන්ම යම් රටක ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙන ආර්ථික උද්ධමනය මත ජනතාව මුහුණ දෙන අසීරු අමාරුකම් ද මෙම නිර්නායකයට හරි හැටි ඇතුලත් නොවේ. ඒ අනුව පසුගිය සමයේ හටගත් ආර්ථික අර්බුදය මත විවිධ අසීරු අමාරුකම් වලට ලක් වූවන් මෙම ගණයට අයත් නොවේ.                                                              සාමාන්‍යයෙන් අප සමාජයේ නැති බැරිකම යන්න විස්තර කෙරෙන පොදු නිර්නායකයක් තිබේ.එනම්”කන්න අඳින්න-අඳින්න පළඳින්න,දේ සේම ඉන්න හිටින්න තැනක් නැති වීම”ඒ නිර්නායකය වේ. එහෙත්, අප ජන සමාජයේ දිළිඳුකම වර්ධනය වීමට තමන් වෙත ලැබෙන සීමිත ආදායම මත වියදම් කළමණාකරණයේ පවත්නා නොවිධිමත් බව ද හේතු වන බව කිව යුතු ය.නිදසුනක් ලෙස අද වන විට අප රටේ සෑම අඩු ආදායම් ලාභී පවුලකම ආදායමින් සැලකිය යුතු කොටසක් විද්යුත් සන්නිවේදන කටයුතු උදෙසා වැය කරන බව නොරහසකි.ඒ සඳහා වන අනේක විධ පෙළඹවීම් ද අතිශය සුලබ මට්ටමකට පත් වී තිබේ.මේවා පොදුවේ අධි පරිභෝජනවාදී සමාජයක් තුළ ඉතා ස්වභාවික ලෙස දක්නට ලැබෙන ව්‍යාපාරික හා ජාවාරම්කාර ඇස් බැන්ඳුම් ලෙස විස්තර කළ හැක.එමෙන්ම තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගනු වෙනුවට මෙවන් නොවිධිමත් පරිභෝජනයන්හි යෙදෙන ජනතාව ඉන් පත් වන අසීරු අමාරුකම් හමුවේ විවිධ ව්‍යාපාරිකයන් සහ ජාවාරම් කරුවන් විසින් ඔවුන් පිපාසයට ගිනි වතුර පොවන්නාක් මෙන් ඔවුන් කබලෙන් ලිපට ඇද දමනු ලැබේ.ඊට අමතරව”ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල්”ආදියෙන් අප සමාජය තුළ පවුල් අර්බුද සේම ජීවිත හානි ද බොහොමයක් සිදු වෙමින් තිබේ.එමෙන්ම මත්පැන් මත් ද්‍ර‍ව්‍ය දුම් වැටි ආදිය නිසා මේ වන විට අප රටේ අඩු සහ නොවිධිමත් ආදායම් පවුල් වල ආදායමින් තුනෙන් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නිකරුණේ නාස්ති වන බව ද මේ වන විට අනාවරණය වී තිබේ. මේ සකල විධ තත්වයන් නිතිපතා එලෙසින් සිදුවන අතරේ ජනතාව ගේ නැති බැරි කම් සම්බන්ධ සම්පූර්ණ වගකීම පවත්නා රජයට පවරන විපක්ෂ දේශපාලන කණ්ඩායම් අඩුම තරමින් මෙම සත්‍ය සමාජමය ඛේදවාචකය හමුවේ ඉන් අත් මිදෙන මංපෙත් පිළිබඳව ජනතාවට කිසිවක් නොකියති.ඒ ඔවුන් සතු දේශපාලනමය කුහකකම බල ලෝභීත්වය ඊට හේතුව බව අපගේ වැටහීම ය.ඒ අනුව ඔවුන් මෙරට දුක් විඳින ජනතාවගේ සැබෑ ගැලවුම් කරුවන් වනුයේ කෙසේද? යන්න වෙනම විමැසිය යුතු පැනයකි.                                                                                                                                                                                                              දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර