2,000 ක් පණ පිටින් මිහිදන් කළ පැපුවා නිව් ගිනියාවේ බිහිසුණු නාය යාම

මෑත කාලයේ අසන්නට ලැබුණු බිහිසුණුම නාය යාමක් ගැන පසුගිය දා පැපුවා නිව් ගිනියාවෙන් වාර්තා විය. එයට හසු වීමෙන් මිය ගිය ගණන මුලින්ම අනුමාන කෙරුණේ සියයක් පමණ විය හැකි බවකි. පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබුණේ මිය ගිය ගණන 670 ක් පමණ විය හැකි බව යි. නමුත් මේ වනවිට පැපුවා නිව් ගිනියාවේ ආපදා කළමනාකරණය ආයතනය පවසා ඇත්තේ 2,000 ක පමණ පිරිසක් පස් යට වැළලී ඇතැයි විශ්වාස කරන බවකි.

පැපුවා නිව් ගිනියාව ඕස්ටේ්‍රලියාව ආසන්නයේ ඊට උතුරින් පිහිටා ඇති රටකි. ඉහත කී බිහිසුණු නාය යාම සිදුව තිබුණේ එරට අගනුවර වන පෝට් මොස්බි නගරයේ සිට කි.මී. 600 ක් පමණ දුරින් පිහිටි එන්ගා නැමැති  පිටිසර කඳුකර ප්‍රදේශයක ය. නායෙන් වැඩිම හානියක් සිදුව තිබුණේ කාඔකලාම් නැමැති ගම්මානයකට යි. විශාල පාපන්දු පිටි හතරක තරම් ප්‍රමාණයක් නායට යට වී ඇති බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
නාය යාම සිදුව තිබුණේ පසුගිය සිකුරාදා අළුයම 3 ට පමණ ය. එය බොහෝ දෙනා නිවෙස් තුළ නින්දෙහි පසුවන වේලාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මරණ සංඛ්‍යාව ඉහළ යාමට එය ද හේතුවක් වූ බව පැහැදිලි ය. මෙම බිහිසුණු සිද්ධියෙන් පසු එම ස්ථානයට ගිය ජාත්‍යන්තර සංවිධානයක නිලධාරියකු පවසා තිබුණේ මහා රාත්‍රියේ ගම්වැසියන් නිදා සිටිය දී කන්ද ඔවුන් මත කඩා වැටී ඇතුවාක් මෙන් දිස් වන බවයි. මෙම සිද්ධිය සිදුව ඇති ප්‍රදේශය 4,000 ක පමණ ජනතාවක් වාසය කළ ප්‍රදේශයක් බව ද සඳහන් ය.

මාධ්‍ය සමග අදහස් දැක් වූ එක් කාන්තාවක පවසා තිබුණේ තම පවුලේ 18 දෙනෙකු පණ පිටින් මිහිදන්ව ඇති බව ය. ඇතැම් තැන්වල මීටර් 10 ක්  තරම් උසට පස් සහ ගල් තැන්පත්ව ඇති බව ද සඳහන් වේ.

මෙම දුර බැහැර ප්‍රදේශය වෙත ළඟා වීම සඳහා ඇති මාර්ග ද නාය යාම නිසා හානියට පත්ව ඇත. මේ නිසා ගලවා ගැනීමේ කණ්ඩායම්වලට මෙහි සේන්දු වීම අතිශයින් දුෂ්කර වී තිබිණි. නායට යට වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය වන විශාල යන්ත්‍ර සූත්‍ර මෙම ප්‍රදේශයට ගෙන යාමට ද නොහැකි වූ නිසා එම ප්‍රදේශයේ වැසියන්ට මිහිදන්ව සිටි පුද්ගලයන් සොයන්නට සිදු වූයේ ඔවුන් ළඟ ඇති උදලු, සවල් සහ ලී දඬු ආදිය උපයෝගි කර ගනිමිනි. තවමත් සොයා ගැනීමට හැකිව ඇත්තේ මළ සිරුරු 6 ක් පමණක් බව වාර්තා වේ.

ඒ අවට කඳු වැටිය තවමත් අස්ථාවර තත්ත්වයක පවතින බව සඳහන් වේ.  මළ සිරුරු සෙවීමේ කටයුතුවල නිරතව සිටින කණ්ඩායම්වලට ද මේ නිසා යම් අනතුරක් එල්ල වී තිබේ. “ඉඳහිට තවමත් පස් සහ ගල් කඳුවැටිය දිගේ පහළට එනවා. මේ අවට වාසය කරන 7,000 ක් පමණ දෙනාට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස රජය දැනුම් දී තිබෙනවා” යයි එක් නිලධාරියකු පවසා තිබිණි.

නායට යට වූ කිසිවකු පණ පිටින් සොයා ගැනීමට හැකි වනු ඇතැයි මේ වනවිට විශ්වාස කෙරෙන්නේ නැත.

ප්‍රදේශයේ විවිධ රෝග පැතිරීමට ඇති ඉඩකඩ ගැන ද මේ වනවිට එන්ගා හි නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත. මළ සිරුරු නරක් වීමත් සමග විෂබීජ ජල මාර්ගවලට එක් වීමට ඉඩ ඇති බැවිනි. ”මළ සිරුරු 2,000 ක් විතර නරක් වීමෙන් ඇති විය හැකි බලපෑම ගැන සිතාගන්න පිලිවන් නේද?” යයි එක් නිලධාරියකු විමසා තිබිණි.

නායට හේතු වූයේ යයි සැක කරන කාරණා කිහිපයක් ගැනම සඳහන්ව තිබේ. මෙම සිද්ධිය වීමට ටික දිනකට පෙර එම ප්‍රදේශයේ සිට කි.මී. 100 ක් පමණ බටහිර දෙසට වන්නට භූමිකම්පාවක් සිදුව තිබිණි. ඒකක 4.5 ක ප්‍රබලත්වයකින් යුතු වූ මෙම භූමිකම්පාව සිදුව තිබුණේ පොලොව මට්ටමේ සිට කි.මී. 125 ක් පමණ ගැඹුරෙනි. නාය යාමට හේතුව මෙය විය හැකි යයි ද අදහස් පළ වී තිබිණි. නමුත් රතු කුරුස සංවිධානය පවසා තිබුණේ භූමිකම්පාව නිසා මෙය ඇති වූ බව පිලිගත නොහැකි බවයි. ඔවුන් පවසන්නේ ප්‍රදේශයේ රන් ආකරවල කටයුතු නිසා හෝ දින ගණනක් තිස්සේ ඇද හැලෙමින් තිබූ අධික වර්ෂාව නිසා හෝ මෙය සිදු වන්නට ඇති බව ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර