2023, 2024 ජනප්‍රියත්වයට පත් කෘති වලින් පැවසෙන ලෝක සාහිත්‍ය රුචිකත්වයේ ඉදිරි ගමන් මඟ

Fourth Wing කෘතිය

විසිපස් වැනි වරටත් පවත්වන්නට යෙදුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය 6 වැනිදා නිමාවට පත් විය. සාමාන්‍යයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ සම්මානයට පාත්‍ර වූ කෘති සොයා පැමිණෙන සහෘද රසික ජනතාවක් වුව ද එය මෑත වර්ෂයක දෙකක සිට යම් වෙනසකට බඳුන් වී ඇති බවක් දක්නට ලැබේ. ඒ වෙනත් ආකාරවලින්, නිදසුනක් ලෙස ගතහොත් සමාජ ජාලවලින් ප්‍රවර්ධනයට ලක් වූ, එහෙත් සම්මාන නොලද කෘති සොයා පැමිණෙන ප්‍රවණතාවකි. මෙය පසුගිය වසරේ යම් පමණකින් දක්නට ලැබුණු අතර මෙවර එය වඩාත් කැපී පෙනෙන අයුරින් දකින්නට ලැබිණි. සම්මානයට පාත්‍ර වූ පොත් සොයා එන්නන් හා සමානවම වෙනත් ආකාරයකින් සහෘද රසික ජනතාව අතරට පිවිසි පොත් සොයා ඒම ද පැහැදිලිව දකින්නට හැකි විය. මේවා සමාජ මාධ්‍ය ඔස්සේ පූර්ව ප්‍රචාරණයට පත් ව තිබූ බැවින්, ඇතැම් ඒවා මිල දී ගෙන කතුවර සමරු සටහන් ලබා ගැනීම සඳහා දීර්ඝ පෝලිම් ද දකින්නට හැකි විය.

2023 සහ 2024 වසරවල ජාත්‍යන්තර වශයෙන් ද සාහිත්‍ය ලෝකය තුළ මේ ආකාරයට කතුවරු බිහිවීම්, සාහිත්‍ය කෘති සාර්ථකත්වයට පත්වීම් ආදිය බෙහෙවින් දකින්නට හැකිවිය. සංස්මරණ (Memoirs), ත්‍රාසජනක, මායාවී (fantasy) ආදර සහ ප්‍රබන්ධ නොවන ෂානරයන් ලෝක සාහිත්‍යය තුළ වැජඹෙනු දක්නට හැකි විය.

2023 සහ 2024 වසරවල ජාත්‍යන්තර වශයෙන් ද සාහිත්‍ය ලෝකය තුළ මේ ආකාරයට කතුවරු බිහිවීම්, සාහිත්‍ය කෘති සාර්ථකත්වයට පත්වීම් ආදිය බෙහෙවින් දකින්නට හැකිවිය. සංස්මරණ (Memoirs), ත්‍රාසජනක, මායාවී (fantasy) ආදර සහ ප්‍රබන්ධ නොවන ෂානරයන් ලෝක සාහිත්‍යය තුළ වැජඹෙනු දක්නට හැකි විය.

A Court of Thorns, Roses සහ Crescent City කෘති ත්‍රිත්වය
The Woman in Me කෘතිය

2023 සහ 2024 වසරවල සාහිත්‍ය ලෝකය තුළ සංස්මරණ කෘති බොහෝ කතාබහට ලක් වනු දකින්නට හැකි විය. මේවා තුළින් ප්‍රසිද්ධ චරිත පිළිබඳ වඩාත් කුලුපග අත්දැකීමක් ලබා ගත හැකි වෙයි. මේවා අතරින් බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු විසින් රචිත, 2023 වසරේ ප්‍රකාශිත Spare කෘතිය ඉහළතම ස්ථානයක පසු වෙයි. මෙය ප්‍රකාශයට පත් වූ මොහොතේ සිටම ජාත්‍යන්තර ආශ්චර්යයක් බවට පත් විය. මේ කෘතිය තුළින් බ්‍රිතාන්‍ය රාජකීය පවුල, මානසික සෞඛ්‍ය ගැටලු සහ හැරී කුමරු රාජකීය වගකීම්වලින් බැහැර වීම නිසා ඇති වූ මතභේද කතාබහට ලක් විය. එහි සාර්ථකත්වයට රාජකීය පවුල සමග ජනතාවගේ ඇති උන්මාදය පමණක් නොව පෞද්ගලික ජීවිතය පිළිබඳ අව්‍යාජ විවරණය ද හේතු විය. මේ කෘතිය ප්‍රකාශයට පත් වී මාසයක් තුළ ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් පිටපත් මිලයන 1.43 ක් අළෙවි විය.

එමෙන්ම 2023 වසරේදී ම ප්‍රකාශයට පත් වූ බ්‍රිට්නි ස්පියර්ස්ගේ The Woman in Me කෘතිය ද සංස්මරණ ෂානරයන් අතර කැපී පෙනෙන්නක් විය. සහෘද රසික ජනතාව බොහෝ කාලයක සිට බ්‍රිට්නිගේ චරිතය ඇතුළත් කෘතියක් අපේක්ෂාවෙන් සිටි අතර මෙය එය ඉටු කිරීමක් වූ බැවින් එයට ඉතා ඉහළ පිළිගැනීමක් හිමි විය. පොප් ගායන ශිල්පිනියකගේ සාර්ථකත්වය කරා පැමිණි ගමනේ අව්‍යාජ පැතිකඩක් මේ කෘතිය තුළින් පිළිබිඹු විය.

මායාවී ෂානරයෙන් ප්‍රකාශයට පත් වූ කෘති ද ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් වූ බව පෙනෙන්නට තිබේ. වර්තමාන මායාවී ෂානරයන් අතර සාරා ජේ. මාස්ගේ කෘති 2023 සහ 2024 යන වසර දෙක මුළුල්ලේ ම මහත් ජනප්‍රියත්වයට පත් විය. ඇය විසින් රචිත A Court of Thorns, Roses සහ Crescent City කෘති පොත් මාලාව සහෘද රසිකයන් මහත් ආදරයෙන් වැළැඳගත් බවක් පෙනුණි. සංකීර්ණ චරිත ගොඩනැගීමට ඇති හැකියාව, ඒ තුළින් මවන සංකීර්ණ ලෝකය, කෘතියට හේතු වූ ඉහළ මට්ටමේ වස්තු බීජය වයස් භේදයකින් තොරව ජනතාවගේ පිළිගැනීමට ලක් විය.

Spare කෘතිය

2023 වසරේ ප්‍රකාශයට පත් රෙබෙකා යාරොස්ගේ Fourth Wing එම වසරේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ මෙන්ම බොහෝ කතාබහට ලක් වූ කෘතියක් විය. 2024 වසරේ දී ප්‍රකාශයට පත් වූ එහි දෙවැනි කොටස වූ Iron Flame කෘතිය මේ ෂානරය ඔස්සේ නැගී එන කතුවරියක ලෙස යාරොස්ගේ නම සාහිත්‍ය ලෝකය තුළ ස්ථාපිත විය. ලෝක සාහිත්‍ය තුළ මෑත වර්ෂවල මායාවී ෂානරයන් අතිශය ජනප්‍රිය වීම තුළින් සහෘද රසික ජනතාව යථාර්ථයෙන් පළා යන්නට ඇති දැඩි කැමැත්ත පිළිබිඹු කරන බව විචාරකයෝ පවසති.

ලෝක සාහිත්‍ය තුළ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ තවත් ෂානරයක් වන්නේ ත්‍රාසජනක කෘතීන්ය. මේ ෂානරය තුළ ස්ථාපිත ලේඛකයන් සේම නව ලේඛකයන් ද එකසේ ජනප්‍රියත්වය පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. මේවා අතරින් ඈෂ්ලි වින්ස්ටඩ්ගේ The Last Housewife යන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක කෘතිය ලෝක සාහිත්‍යය තුළ කැපී පෙනෙන්නක් විය. බලය, පාලනය සහ පළිගැනීම වැනි ජීවිතයේ අඳුරු විවරණයන් සහෘද රසික ජනතාවගේ සිත් බැඳගත් බව පෙනෙන්නට තිබේ.

එමෙන්ම රයිලි සේගර් විසින් රචිත The Only One Left කෘතිය සහෘද රසික ජනතාව ත්‍රාසයෙන් සහ භීතියෙන් මුසපත් කරවූවක් බව පෙනෙන්නට තිබිණි.

Heart Bones and Too Late කෘතිය

ප්‍රේම ෂානරය ඔස්සේ ලියැවුණු කෘති ද සහෘද රසික ජනතාව සාහිත්‍ය නිර්මාණ තුළින් නිබඳවම අපේක්ෂා කරන නිර්මාණයන් ය. මෑත කාලීන ලේඛිකාවන් අතර කොලින් හූවර් ප්‍රේමනීය ෂානරය තුළ ඉහළ නමක් හිමි කරගෙන සිටින්නියකි. ඇය 2023 වසරේ දී Heart Bones and Too Late කෘතිය ලෝකයේ වැඩියෙන්ම අළෙවි වූ කෘති ලැයිස්තුවට ඇතුළත්ව තිබිණි. ආදරය සම්බන්ධ සංකීර්ණ මිනිස් මනෝභාවයන් වඩාත් සිත්ගන්නා ආකාරයෙන් පවසන්නට කොලින් හූවර් සිය කෘතිය තුළින් උත්සාහ දරා තිබේ. සෙසු කෘති පරදවා කොලින් හූවර්ගේ කෘති මේ තරමට ජනප්‍රිය වන්නට හේතු වන්නේ ඇය නව කෘතියන් සහෘද රසික ජනතාව අතට ලබා දෙන්නට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා ජනප්‍රිය කරවීම බව විචාරකයෝ පවසති.

2023 සහ 2024 වර්ෂ තුළ ප්‍රබන්ධ නොවන ෂානරය, විශේෂයෙන් සෞඛ්‍යය, නීරෝගීබව සහ නිර්මාණාත්මක බව යන කාණ්ඩ ඔස්සේ ලියැවුණු කෘතින් ද බොහෝ ජනප්‍රියත්වයට පත්ව තිබිණි. පීටර් අටියාගේ Outlive: The Science and Art of Longevity කෘතිය ඉහළතම අළෙවි වාර්තාවට හිමිකම් කීවේය. ජීවන ශෛලිය වෙනස් කිරීමෙන් නීරෝගීබව සහ දීර්ඝායුෂ ලබා ගන්නේ කෙසේද යන්න ඔහු මේ කෘතිය තුළින් පැහැදිලි කරයි. එමෙන්ම රික් රූබින්ගේ The Creative Act: A Way of Being by Rick Rubin කෘතිය ද මෙහිදී කැපී පෙනුණි.

ළමා සාහිත්‍යය ද ලෝකය තුළ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ කාණ්ඩයක් වූ අතර ඩේව් පිල්කාල් ගේ Dog Man: Twenty Thousand Fleas Under the Sea කෘතිය ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට ලක් වූ කෘතියක් විය. දරුවන් වෙනුවෙන් ඔහු ලියූ කතා මාලාව ද අතිශය ඉල්ලුමක් ඇත්තකි. එමෙන්ම ඔහුගේ Dog Man කෘති මාලාව ද අතිශය ජනාදරය දිනා ගත් ඒවා විය. එමෙන්ම ජෙෆ් කිනීගේ Diary of a Wimpy Kid පොත් මාලාවේ No Brainer කෘතිය ද ද ඉහළ අළෙවියක් හිමි කරගත්තකි.

Diary of a Wimpy Kid: No Brainer කෘති මාලාව
The Only One Left කෘතිය
The Last Housewife කෘතිය

 

 

 

 

 

 

 

 

 

 

ළමා සාහිත්‍යය ද ලෝකය තුළ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ කාණ්ඩයක් වූ අතර ඩේව් පිල්කාල් ගේ Dog Man: Twenty Thousand Fleas Under the Sea කෘතිය ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට ලක් වූ කෘතියක් විය. දරුවන් වෙනුවෙන් ඔහු ලියූ කතා මාලාව ද අතිශය ඉල්ලුමක් ඇත්තකි. එමෙන්ම ඔහුගේ Dog Man කෘති මාලාව ද අතිශය ජනාදරය දිනා ගත් ඒවා විය. එමෙන්ම ජෙෆ් කිනීගේ Diary of a Wimpy Kid පොත් මාලාවේ No Brainer කෘතිය ද ද ඉහළ අළෙවියක් හිමි කරගත්තකි.

2023 සහ 2024 වර්ෂවල ජනප්‍රියත්වයට පත් වූ සාහිත්‍ය කෘති ඔස්සේ ලෝක සාහිත්‍ය රුචිකත්වයේ අනාගතය දෙස බලන කල පෙනෙන්නේ ගෝලීය සහෘද රසික ජනතාව ජනප්‍රිය පුද්ගලයන්ගේ ඕපාදූප, සමාජ මාධ්‍ය ප්‍රවණතා, යථාර්ථයෙන් පළායාමට ඇති කැමැත්ත සහ ස්වකීය ජීවිතය තමා විසින්ම ගොඩ නගා ගැනීම යන සංස්කෘතික බලවේගයන් මත හැඩගැසෙමින් පවතින බවය. සාහිත්‍ය ලෝකය තුළ නියතව පවතින්නේ ලොව පුරා සහෘද රසික ජනතාව ඇදබැද තබා ගැනීමට, ආස්වාදයක් ලබා දීමට සහ අභියෝග කරන්නට ඇති බලය පමණි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

අරුමැසි පුවත්