2023 ෆිල්ම්ෆෙයාර් සම්මාන දිනා ගත්තෝ

ඉන්දියාවේ ජනප්‍රියම සිනමා සම්මාන උළෙල වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පසුගිය දා පැවැත්විණි. මෙවර පැවැත්වුණේ 68 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලයි. 2022 වසරේ නිර්මාණය වූ හොඳම හින්දි සිනමාපටවලට සහ ඒවායේ දක්‍ෂකම් දැක් වූ නළු නිළියන් ඇතුළු ශිල්පීන් ශිල්පිනියන්ට මෙහි දී සම්මාන පිරිනැමිණි.

මෙම සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම නිළිය වැනි අංශ වෙනුවෙන් විචාරක සම්මාන ද පිරිනැමේ.

මෙවර හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘ගංගුබායි කතියාවාදි’ චිත්‍රපටය යි. හොඳම චිත්‍රපටය සඳහා පිදෙන විචාරක සම්මානය ‘බධායි දෝ’ චිත්‍රපටය විසින් දිනාගන්නා ලදී. එය හර්ෂ්වර්ධන් කුල්කර්නිගේ අධ්‍යක්‍ෂණයකි.

‘ගංගුබායි කතියාවාදි’ චිත්‍රපටය සත්‍ය චරිතයක් පසුබිම් කරගෙන නිර්මාණය වූ සිනමාපටයක් වීම විශේෂත්වයකි. එහි ප්‍රධාන චරිතය නිරූපනය කළේ ජනප්‍රිය නිළි ආලියා භාත් ය.

ගංගා යනු මධ්‍යම පන්තික පවුලකට අයත්ව ඉතා සුව පහසු ජීවිතයක් ගත කළ තරුණියකි. සිනමා නිළියක බවට පත්වීම ඇයගේ එකම සිහිනය යි. 16 වැනි වියෙහි පසුවන ගංගා ඇයගේ පෙම්වතා සමග නිවසින් පලා යන්නේ බොම්බාය වෙත පැමිණ නිළියක වීමේ බලාපොරොත්තුව ද සිත දරාගෙන ය. නමුත් ඇයගේ පෙම්වතා කපටියෙකි. ඔහු ගංගාට සැබැවින් ආදරය කරන්නෙකු නොවේ. ගංගා නිළියක බවට පත් කරන බව පවසා ඔහු ඇය බොම්බාය වෙත රැගෙනවිත් ගණිකා නිවාසයකට විකුණයි.

චිත්‍රපටයෙන් නිරූපනය වන්නේ ගණිකාවක ලෙස ජීවත්වන ඇය අවසානයේ ගණිකා නිවාස පාලිකාවක බවට මෙන්ම ඉතා බලවත් චරිතයක් බවට ද පත්වන ආකාරය යි. අන්තිමේ ඇය දේශපාලනයට ද පිවිසෙන අතර ලිංගික ශ්‍රමිකයන්ගේ මෙන්ම අනාථ දරුවන්ගේ ද සුබ සාධනය සහ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරයි. මෙහි දී රහීම් ලාලා නැමැති මාෆියා නායකයකු ඇයට උදව් කරයි. එම චරිතය රඟපාන්නේ අජේ දේව්ගන් ය.

හොඳම චිත්‍රපටය ලෙස විචාරක සම්මානය දිනාගත් ‘බධායි දෝ’ චිත්‍රපටය ද අපූරු කතාවක් රැගත් නිර්මාණයකි. එය සමාජ ප්‍රහසනයක් ( Social Comedy) ලෙස හැඳින්විය හැකි වේ. මෙහි ප්‍රධාන චරිත දෙක වන්නේ ෂාර්දුල් ඨකූර් සහ සුමන් සිං ය. ෂාර්දුල් පොලිස් නිලධාරියකු වන අතර සුමන් ශාරීරික අධ්‍යාපනය පිලිබඳ ගුරුවරියකි. මේ දෙදෙනා පිලිබඳ විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනාම සමරිසි පුද්ගලයන් වීම යි. නමුත් ඒ බව නොදන්නා ඔවුන්ගේ මව්පියෝ ඔවුන්ට විවාහ වීම සඳහා බල කරමින් සිටිති. අවසානයේ ෂාර්දුල් සහ සුමන් විවාහ වීමට තීරණය කරන්නේ හුදෙක් වැඩිහිටියන් රවටනු පිණිස ය. බධායි දෝ චිත්‍රපටය විකාශනය වන්නේ මෙම විවාහයෙන් පසු ඔවුන් මුහුණ දෙන ගැටලුකාරී අත්දැකීම් ඔස්සේ ය.

ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී හොඳම නළුවා සම්මානය හිමි වූයේ ද ‘බධායි දෝ’ චිත්‍රපටයේ ෂාර්දුල්ගේ චරිතය නිරූපනය කරන රාජ්කුමාර් රාඕට ය. හොඳම නළුවා ලෙස විචාරක සම්මානයෙන් පිදුම් ලැබුවේ සංජේ මිෂ්රා යි. ඒ ‘වාද්’ නැමැති සිනමාපටයේ කළ රංගනය වෙනුවෙනි.
හොඳම නිළිය ලෙස ආලියා භාත් (ගංගුබායි කතියාවාදි ) සම්මාන දිනාගත් අතර හොඳම නිළිය විචාරක සම්මානය නිළියන් දෙදෙනෙකුට හිමි විය. ඒ ‘බධායි දෝ’ චිත්‍රපටයේ සුමන්ගේ චරිතය නිරූපනය කළ භූමි පෙද්නකාර්ට සහ භූල් භූලයියා-2 චිත්‍රපටයේ අංජුලිකා සහ මංජුලිකා යන ද්විත්ව චරිත නිරූපනය කළ තාබුට ය.

හොඳම සහය නළුවා ලෙස අනිල් කපූර් ද, හොඳම සහය නිළිය ලෙස ෂීබා චද්දා ද සම්මානයෙන් පිදුම් ලැබූහ. ඒ පිලිවෙලින් ‘ජුග්ජුග් ජීයෝ’ සහ ‘බධායි දෝ’ චිත්‍රපට වෙනුවෙනි. හොඳම කතාව සහ හොඳම තිරනාටකය යන සම්මාන දෙකම හිමි කරගත්තේ ‘බධායි දෝ’ චිත්‍රපටය යි.

හොඳම අධ්‍යක්‍ෂ ලෙස මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන දිනාගත්තේ ගංගුබායි කතියාවාදි චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ සංජේ ලීලා බන්සාලි ය.

filmfr

හින්දි සිනමාවේ කේන්‍ද්‍රස්ථානය ලෙස සැලකෙන මුම්බාහි නුවර දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු සම්මාන උළෙලේ නිවේදන කටයුතු කරමින් එය ඉදිරිපත් කළේ සල්මාන් ඛාන් වීම තවත් ආකර්ෂණීය කාරණයක් විය. සල්මාන් ෆිල්ම්ෆෙයාර් උළෙලක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. ජැක්ලීන් ෆර්නැන්ඩස්, විකී කෞෂාල්, ගෝවින්දා, ජන්වි කපූර්, ටයිගර් ෂ්රොෆ් වැනි ජනප්‍රිය නළු නිළියෝ සිය ප්‍රසාංගික ඉදිරිපත් කිරීම් තුළින් ෆිල්ම්ෆෙයාර් වේදිකාව වර්ණවත් කළහ.

නිහාල් පීරිස්

රසගඟුල